Mahaplawa Blog - A Geographical blog space


මහපොළොව මත සිටින අය

භූගෝල විද්‍යා ශබ්ද විවරණය



අම්ල වැසි  =  Acid rain
සාමාන්‍ය වැස්සක් මෙන් පතිත වුවත් මෙහි ජලයේ විවිධ රසායනික සංයුතියක් පවතී. මෙම රසායනික සංයුතින් බොහෝ විට ජීවින්ට හිතකර නොවේ. එමෙන්ම පාරිසරික පද්ධති වලට සංවේදී පරිසරික කොටස් වලට (සමුහිත වලට) විශේෂයෙන්ම පසට හා ජලයට එක් වීම නිසා හානි ඇති කරයි. මෙම ජලයෙහි සල්ෆියුරික් ( H2 SO4)  හා නයිට්‍රික් (HNO3) හා නයිට්‍රස් (HNO2) අඩංගු අතර මේ නිසා ඉහළ ආම්ලික මට්ටමක පවතින අතර 70% ක් වත් නිරමාණය වන්නේ සර්ෆර් ඩයොක්ස‍යිඩ් ඔක්සිකරණය වීමෙනි. කාර්මික රටවල / කාර්මික මධ්‍යස්ථාන වල / නාගරික සමුහිත ආශ්‍රීතව ඇතිවන අතර එයින් ඈත ප්‍රදේශශ වලට පවා බලපෑම් කරන උග්‍ර ගැටළුවක් වේ. පර්ස්සොන් (1987) හා මැක්කොමික් (1985) යන  විද්වතුන් මෙය පාරිසරික ගැටළුවක් වශයෙන්  හඳුනා ගනී. වෙල්බර්න් (1988) අනුව මෙම ක්‍රියාවලිය සදු වන්නේ පරිවර්ති ගෝලය තුළදී ය. 1960 ගණන් වලදී මේ පිළිබඳව වඩාත් අවධානය යොමු විය. ෆොසිල ඉන්දන දහනය හා දහන ක්‍රියාවලින් යමහල් විදාරණය නිසා වායු ගෝලීය වර්ෂණ ක්‍රියාවලියට එක්වේ.


අක්ෂාංශය =  
                අක්ෂාංශ යනු පෘථිවිය මතුපිට ලක්ෂයක කොණික දුරයි. ධ්‍රැවය කේන්ද්‍ර කොට ගත් ගෝලයක් තුළ විහිදෙන කල්පිත ඒක කේන්ද්‍රීය වෘත්ත වේ. නමුත් පෘථිවිය පරිපුර්ණ ගෝලයක් නොවන නිසා  මෙම අක්ෂාංශයන් නිවැරදි නොවන බව නුතන විදුවතුන්ගේ අදහසයි.  පුරාණ ග්‍රීකයන් විසින් මෙය සංකල්පයක් ලෙස පෘථිවිය විස්තර කිරීමට ‍මුලින්ම යොදා ගන්නා ලදි. නිරක්ෂය හෙවත් මහා ගෝලය  ඒනම් සමකය, අක්ෂාංශ අංශක 0  විසින් පෘථිවිය අර්ධගෝල දෙකකට බෙදනු ලැබේ. සමකය නම් කල්පිත රේඛාව විශාලතම අක්ෂාංශයයි. ධ්‍රැවය යනු උතුරු හා දකුණු අක්ෂාංශ අංශක 90 වේ. පෘථිවියේ පිහිටීම විස්තර කිරීමට නුතනයේත් මෙය දේශාංෂ සමඟ භාවිතා කරයි. උදාහරණ : ශ්‍රී ලංකාවේ පිහිටිම උතුරු අක්ෂාංශ අංශක 5’ ත්  10’ ත් අතරය.

 අසමමිතික නැමි = (Asymmetrical fold)
 නිර්මාණය වීමෙදී වෙනස් ප්‍රතිරෝධකතා සහිත පාෂාණ ස්ථර නැවිමෙන් මේවා සෑදේ. දෙපසින් ලැබෙන පීඩනයේ අසමානතාවය හා පාෂාණ ස්ථරයන්ගේ අසමාන බව නිසා එක් පැත්තක පීඩනයට වඩා අනෙක් පැත්තේ පීඩනය අඩු හෝ වැඩි එකක් විය හැක. එවිට සෑදෙන භූ රෑපයේ බාහු වල අසමාන බවක් දැකිය හැකි වීම විශේෂය යි. එනම් නැම්මේ එක් අංශයක් අනෙකට වඩා බෑවුම් සහිත ය. උදාහරණ:- එංගලන්තයේ පෙනයින් කඳු

අඩතැන්න = 
             අඩතැන්නක් වශයෙන් හඳුනා ගන්නේ භූ විද්‍යාත්මක ඛාදන චක්‍රයේ අවසාන අවස්ථාවේ  තිබෙන භූ දර්ශනයකි. එනම් සුළඟ, වැස්ස, ගලන ජලය ආදීය මඟින් බොහෝ කාලයක් තිස්සේ  භූමිය ඛාදනය කරමින් භූ දර්ශනයන් පරිණාමයේ අවසන් අදියරයන් කරා ගෙන ඒ. ඕනෑම උස් භූමියක් ඛාදනයෙන් මෙවැනි අඩතැනි බවට පත් කරනු ලබන පොදු ගුණයක් ඛාදන චක්‍රයේ  පවතී. ඇඩම්ස් අනුව ලංකාවේ භූ විද්‍යාත්මක අඩතැනි තුනකි.

පළමුවන අඩතැන්න: පහළ අඩතැන්න වශයෙන්ද හඳුනා ගනී. දිවයිනේ වෙරළබඩ තැන්න හා පහත් තැනිතලා පහළම අඩතැන්න වශයෙන් ඇඩම්ස් හඳුනා ගනී. සාමාන්‍ය උස මුහුදු මට්ටමේ සිට අඩි 100 ක් පමණ උපරිමයක් දක්වා විහිදෙන තැනිතලා බිමකි.

දෙවන අඩතැන්න: මධ්‍යම අඩතැන්න වශයෙන්ද හඳුනා ගනී දිවයිනේ අභ්‍යන්තර තැන්න ය. පහළ අඩතැන්නේ සිට අඩි 1000 ක් පමණ උසින් යුතු භූමි ප්‍රමාණයක් අයත් වේ.

තුන්වන අඩතැන්න:  ඉහළ අඩතැන්න වශයෙන්ද හඳුනා ගන්නා මේ අඩතැන්න ශ්‍රී ලංකාවේ කඳුකරයයි. ඇඩම්ස් ගේ අදහසට අනුව පැරණිම අඩතැන්න මෙයයි. මධ්‍යම අඩතැන්නේ සිට අඩි 5000 ක් 8000 ක් පමණ උසට විහිදේ.

  අරිය ජල වහනය = Radial
 කඳුකර ප්‍රදේශයෙන් ආරම්භ වී විවිධ දිශාවන්ට ගලන ගංගා විසින් මේ ජලවහන රටාව නිර්මාණය කෙරේ.


අපසාරි  තැටි මායිම් (නිර්මාණ තැටි මායිම්) = 
                  අපසාරි තැටි දෙකක් එකිනෙකාට විරැද්ධ දිශා වලට ගමන් කිරීම නිසා ඈත් වේ. මෙම ඈත් වීම හේතු කොට ගෙන මැදින් සෑදෙන හිඩසට ප්‍රාවණයේ පිහිටි ද්‍රවීභූත පාෂාණ වන ලාවා මතුපිටට විදාරණය වේ. මතු පිට උෂ්ණත්වය අඩු බැවින් එවා සිසිල් වේ. මෙම ක්‍රියාවලිය අඛණ්ඩව සිදු වන බැවින් අපසාරි චලන සිදු වන තැටි මායිම් වල පෘථිවි කබොල නැවත නැවතත් නිර්මාණය වේ. මධ්‍ය සාගරික වැටිය වාර්ෂිකව සෙන්ටි මීටර 2.5 ක් පමණ වර්ධනය වන අතර වසර මිලියනයක දී එය කිලෝ මීටර 25 ක් පමණ වර්ධනය වන බව සොයා ගෙන ඇත.එමෙන් ම පසුගිය වසර මිලියනය100-200 පමණ කාලයක් තුළ  ඇමරිකාව, යුරෝපය හා අප්‍රිකාවෙන් වෙන් වී නූතන තත්ත්වයට පත්වී ඇති බව ඇති බව විද්වතුන් ගේ අදහසයි. උදාහරණ: මධ්‍ය සාගරික වැටිය



අභිසරණ මායිම් (කිදා බහින විනාශකාරී තැටි මායිම්) = 
            තැටි දෙක එකම දිශාව ගමන් කරනු ලැබේ. මේ නිසා ඒවා එකිනෙක හා ගැටේ. මෙසේ ගැටීමෙන් ඉතා විනාශකාරී දේ සිදු විය හැක.භූමි කම්පා ඇතිවීම, ගිනිකඳු විදාරණය වීම, දුපත් චාප ඇතිවීම, සාගරික ආගාධ ඇති වීම, නැමි කඳු ඇති වීම, ආදිය සිදු වේ. මෙම තැටි මායිම් ආශ්‍රීතව සිදුවන තවත් විශේෂ සිදු වීමක් වන්නේ එක් තැටියක් යටින් තවත් තැටියක් ගිලා බැසීම ය. ඉහත උදාහරණයක් ලෙස දී ඇති නස්කා සාගරික තැටි මායිම දකුණු ඇමරිකානු තැටි මායිම ඉදිරියේ මෙසේ  මෙසේ කිඳා බසිනු ලැබේ. මෙවැනි තැටි මායිමක සිදු විය හැකි තවත් සිදු වීමක් වන්නේ මහද්වීපික තැටියක් තවත් මහද්වීපික තැටියක් හා ගැටිය හැක. මෙවැනි ගැටිමක් හේතුවෙන් හිමාලය කඳු වැටිය නිර්මාණය වී ඇත. මෙවැනි  මායිම් නිසා ඇති වු  සුප්‍රකට නැමි කඳු රාශියක් ලොව පුරා ඇත. උදාහරණ: දකුණු ඇමරිකානු තැටියේ බටහිර වෙරළ හා නැස්කා තැටියඅතර මායිම 

අකුරු මැටි =  
 මහද්වීපික ග්ලැසියර් ආශ්‍රීතව නිධි සාධිත ක්‍රියාවලිය ඇසුරෙන් නිර්මාණය වේ. 



ආංශික විභේදය = මෙවැනි විභේදයක් නිර්මාණය වන්නේ පාෂාණ තලය තනි විභේද රේඛාවකින් බෙදී එවා සමාන්තර ලෙස එකිවෙකට ප්‍රතිවිරැද්ධ දිශාවන්ට චලනය වීම නිසාවෙනි.


ආනත විභේදය =  
         සාමාන්‍ය විභේදයකට ඉතාම සමාන නමුත් මෙහි කැපී පෙනෙන ලක්ෂණය වන්නේ විභේද රේඛාව ආනතව පිහිටිම ය. සමහර පොත් පත් වල මෙය සරල විභේදය වශයෙන්ම හඳුනා ගනී. උදාහරණ: අප්‍රිකාවේ ඩ්‍රැගන්ස්බර්ග් කඳු වැටියේ පහළ ප්‍රදේශවල දක්නට ඇත. 




උත්කර්ෂි ප්‍රජාව = 
           ස්ථායි ප්‍රජාව ක් ලෙසින්ද මෙය හැදින්වේ. ප්‍රජාවක් උත්කර්ෂ අවස්ථාවට පැමිණෙනවිට  පාරිසරික වශයෙන් සමතුලිත බවක් නිර්මාණය වේ.සංකිර්ණ ජාලයක් සේ විහිදෙන ආහාර දාම දක්නට ලැබේ. මේ අනුව ප්‍රාථමික සන්තතියේ අවසාන අවස්ථාවයි. මෙහි ආකාර කිහිපයකි. ඒක උත්කර්ෂය / භෞම උත්කර්ෂය / ජෛව උත්කර්ෂය / බහු උත්කර්ෂය/ මානව ජනක උත්කර්ෂය

උළැඟි  විභේදය = 
             උඩුකුරැ විභේදයක් තවත් දැඩිව සිදු වු විට පාෂාණ සුථරය විභේද තලය ඔස්සේ ඉතා ඈතට දීවිමෙන් මෙය නිර්මාණය වේ. විභේද තලයේ ආනත කෝණය ඉතාම අඩුය. මේ අතරින් ද වැඩිම ආනත කෝණයක් සහිත උළැඟිය ලෙස ඇතමෙක් ප්‍රතිවර්තිත විභේදය (Reverse faults) හඳුනා ගනී. සංකිර්ණ නැමි ඇති ප්‍රදේශ වල පමණක් මේ උළැඟි නැමි දක්නට ලැබේ. 




ඔත් නැම්ම, සැතපුන නැම්ම = (Recumbent fold) 
ඔත් නැම්මක් සැතපුන නැම්මක් ලෙසද හඳුන්වයි. එක් පැත්තක පීඩන බලය අනෙක් පැත්තේ පීඩන බලයට වඩා අතිශයින් වැඩි වු විට නැමි අක්ෂය ද බෑවුම් කරමින් උඩු බාහුව යටි බාහුව මත පිහිටන සේ සකස් වේ.   උදාහරණ:-ඇලිප්ස් කඳුවැටියේ  මේ ලක්ෂණ දැකිය හැක.



ගහණය = 
          කිසියම් ප්‍රදේශයක් තුළ ජීවත් වන එකම විශේසයකට අයත් ජීවීන් සමුහයක් ගහණයක් වේ. උදා: චීනයේ පැන්ඩා / ආසියාවේ අලි ගහණය




පරිවර්තන මායිම් / පරිණාමන විභේද =  
           භූ තැටි දෙක ආංශිකව / දෙපසට චලනය වීම මෙහි ලක්ෂණයයි. මේවා බොහොමයක්  පිහිටා ඇත්තේ සාගර පතුල් වල ය. උදාහරණ: පැසිෆික් තැටිය හා උතුරු ඇමරිකානු තැටිය හේතුවෙන් සැන් ඇන්ඩ්‍රියාස් විභේදය ඇති වීම.

ප්‍රතිවර්තිත/උඩුවත්/උඩුකුරැ විභේදය = 
            සම්පීඩනය වීම හේතුවෙන් ප්‍රතිවර්තිත විභේදයක් ඇති වේ . පාෂාණ ස්ථර දෙකටම ලැබෙන පීඩනය සමාන වු විට එක පාෂාණ ස්ථරයක් අනෙක මත නැඟි සිටීම නිසා ඇති වේ. උඩට ගිය කොටසේ යටින් කිසිදු ආධාරකයක් රහිතව පිහිටන හෙයින්  මෙවැනි බිම්  නාය යා හැක. මේ විභේද සමහර අය අධ්‍යයනය කරනු ලබන්නේ උළැඟි විභේදයේම කොටසක් / වර්ගයක් ලෙසය.

ප්‍රජාව = 
         ගහණ සමුහයක එකතුව ප්‍රජාව වේ. ප්‍රජාවට අයත් ගහණ වල යම් කිසි වෙනසක් සිදුවුවහොත් එය සමස්ත ප්‍රජවේ සංයුතිය සඳහා බලපායි. පවතින පාරිසරික තත්ත්වයන්ට ගැලපෙන ප්‍රජාව ස්ථායි ප්‍රජාවක් ලෙසින් හඳුනා ගත හැක. එය උත්කර්ෂි ප්‍රජාව වශයෙන් ද හඳුන්වයි. ප්‍රජාවක් ප්‍රධාන වශයෙන් සත්ත්ව හා ශාක වශයෙන් කොටස් දෙකකි.






බහුවිධ කුට්ටි විභේදය =  
           විවිධ උන්නතාංශ දක්වන ගිලා බැසිම් රාශියක් මෙහි නිර්මාණය වී ඇත. අවස්ථා කිහිපයකදී විවිධ ප්‍රමාණයේ ආතතික බල ක්‍රියාත්මක වීම නිසා මෙය නිර්මාණය වී ඇතැයි විස්වාශ කෙරේ. නමුත් ඇතමෙක් මෙය විග්‍රහ කරන්නේ වරින් වර ඇති වු එසවීම් (උතික්ෂිප්තයන්) නිසා මෙය නිර්මාණය වු බවයි. උදාහරණ:ශ්‍රී ලංකාවේ මධ්‍ය කඳුකරය ම බහුවිධ කුට්ටි විභේදයක (උතික්ෂිප්තයක විය හැකි බව ඇතමෙකුගේ අදහස වේ) ප්‍රතිඵල වේ.

භ්‍රෑණ මරණ =  
              සංසේචිත සජීවි කළලයක් එය ප්‍රතිසන්ධිය ලැබු දින පටන් කළලය ප්‍රසුත කරන දිනය දක්වා කාලය තුළ සිදු විය හැකි ප්‍රාණය නිරැද්ධ වීමක් මෙම කාණ්ඩයට අයත් වේ. මෙම භ්‍රෑණ මරණ;  පුර්ව භ්‍රෑණ මරණ (පිළිසිඳ ගැනීමේ සිට සති විස්ස දක්වා)  හා පශ්චාත් භ්‍රෑණ මරණ (පිළිසිඳ ගැනීමේ සිට සති විස්සත් සති හතළිහත් දක්වා) ලෙස කොටස් දෙකකට බෙදා තිබේ.

මාතෘ මරණ =  
              ගර්භණි භාවය හෝ එම තත්ත්වය හේතු කොට ගෙන සිදුවන මරණ මේ යටතේ හදුනා ගනු ලැබේ.

මොරේන = 
          ග්ලැසිර් ක්‍රියාවලීය ආශ්‍රීත නිධි සාදනය වන්නා වු භාරය මේ නමින් හැදින්වේ. ප්‍රධාන වශයෙන් හඳුනා ගැනෙන මොරේන වර්ග කිහිපයකි. අක්මොරේන/ මැදි මොරේන/ බිම් මොරේන  නමින් ඒවා  හඳුනා ගැනේ. ආන්තික මොරේන හා පිලිගමන් මොරේන යනු වෙන්ද වර්ග දෙකක් ඇත.
මර්ත්‍යතාවය =  
          මර්ත්‍යතාවය යනු මරණ ප්‍රමාණීකරණය කිරීමක් වේ.  එය යම් කාල සීමාවක් තුළ ප්‍රදේශයක සිදුවන මුළු මරණ ප්‍රමාණය හා ඒ පිළිබඳව කරනු ලබන  විද්‍යාත්මක අධ්‍යයනයකි. මර්ත්‍යතාවය මැනීම සඳහා “දළ මරණ අනුපාතිකය” භාවිතා කරනු ලැබේ. ඒ මඟින් යම් නිශ්චිත කාල සීමාවක් තුළ යම් නිශ්චිත ප්‍රදේශයක සිදුවන මරණ සංඛ්‍යාව එහි  මධ්‍ය වාර්ෂික ජනගහනයෙන් බෙදා ප්‍රතිශතයක් ලෙස දක්වනු ලැබේ.  

රෝග මර්ත්‍යතා අනුපාතිකය = 
            යම් රෝගයක් වැළදී මිය යන සංඛ්‍යාව මින් මනිනු ලබන අතර රෝගය වැළදුණු  පුද්ගලයන් 1000 කට හෝ 10000 කට සාපේක්ෂව මනිනු ලබයි.

ළදරු මරණ = 
          සජීවි උපතකින් පසු වයස අවුරැදු 1 දක්වා (සජීවි  උපතකින් පසු  පළමු දින 365 ක කාලය) තුළ සිදුවන මරණ මීට අයත් වේ. සජීවි උපතෙන් පටන් පළමු දින 28 ක කාලය තුළ සිදුවන මරණ නවජ (නවසූත) මරණ ලෙසත් දින 28ත් 365 ත් අතර සිදු වන මරණ පශ්චාත් නවසූත මරණ ලෙසත් බෙදා වෙන් කර තිබේ.
ළමා මරණ = 
           සජීවි උපතකින් පසු පළමු වසර පහ තුළ සිදුවන මරණ මීට අයත් වේ.
ළදරු මරණ අනුපාතය = 
          ළදරු මරණ අනුපාතිකය ගණිනු ලබන්නේ යම් නිශ්චිත ප්‍රදේශයක හෝ රටක දෙන ලද කාලයක හෝ වසරක උපන් සජීවි දරු උපත් සංඛ්‍යාවට සාපේක්ෂව එම කාලය තුළ එම ප්‍රදේශයේ මිය යනු ලැබු දරුවන් සංඛ්‍යාව 1000 න් ගුණ කීරිමෙනි. විශේෂයෙන් ම මෙහි දි ගැනෙන මිය යන දරුවන් උපත ලැබිය යුත්තේ සජිවි දරුවන් ලෙසය.

 වයස් විශේෂිත මරණ =  
           මෙය තවත් උප බෙදිම් රාශියකින් යුක්ත වේ. සිදුවන වයස අනුව කාණ්ඩ ගත කරනු ලැබේ.


 විභේද =  
            විභේද යනුවෙන් අදහස් කරන්නේ පෘථිවි තලයේ සිදුවන විවිධ පැලීම් නිසා (උදා: සුප්‍රසිද්ධ කිලෝ මීටර 1300 දිගැති සෙන් ඇන්ඩ්‍රියාස් විභේදය, කැලිෆෝනියාව, එක්සත් ජනපදය.  ) භූමිය දැදුරැ වී ඒ වෙන්වු තැන තිබෙන පාෂාණ තල දෙක චලනය වී විතැන් වීම නිසා සෑදෙන භූ රෑප වේ. මේ නිසා සිදු වේ යැයි බලා පොරොත්තු වන ප්‍රධානත ම ක්‍රියාවලිය වන්නේ, බිඳුණු තැනින් වෙන් වන පාෂාණයෙන් එක් කොටසක් ගිලා බැසිය හැකි වීමයි. විභේදයක් කිලෝමීටර සිය ගණනක් දිගු විය හැකි සේම ඉතාම කුඩා ද විය හැකියි. ‍එසේම විභේදයක් යනු පාෂාණයක් කිහිප තැනකින්ම බිඳ දමන දැවැන්ත ක්‍රියාවකි. විභේදයක් පාෂාණ ස්ථර කෙරෙහි ඇති වන ආතතිය (පාෂාණ තලයක් පැලිලා ඒ පැළිම සිද්‍ධ වෙච්ච තැනින් ඈත් වෙනවා) හේතුවෙන් හා සම්පීඩනය ( සම්පීඩනය වීම කියන්නේ පාෂාණ තලයක් පැලී ඒ පැලීම සිදු වු ස්ථානයෙන්  ඉතා ළං වීම. ඕනවට වඩා ළං වීම නිසාත් පාෂාණයක් බිඳි යන්නට ඉඩ තිබේ.) හේතුවෙන් ඇති විය හැක.  පාෂාණයක හංගුර බව අනුව (පහසුවෙන් කැඩෙන සුළු බව අනුව) විභේදය එකිනෙකට වෙනස් වේ. ලෝකයේ පවතින විභේදයන් ඒවා සිදු වු පසු ඒ පාෂාණ ගමන් කර ඇති දිශාව අනුව විවිධ කර හඳුනා ගනී. විභේදයක් සිදුවීම සඳහා විභේද රේඛා එකක් හෝ කිහිපයක් අවශ්‍ය වේ. (විභේද රේඛාවක් යනු භූමියේ සිදුවන පැළිම් රේඛාවකි).



සාමාන්‍ය විභේදය = 
           සරල විභේදයක් ලෙසද හඳුනා ගැනේ. මෙය නිර්මාණය වන්නේ ආතතිය නිසායි. මෙහිදි පාෂාණයක් විභේද රේඛාවක් ඔස්සේ පැළී කොටසක් උඩු අතට (සිරස් අතට ) තල්ලු වීම හෝ යටට ගිලා බැසීම සිදුවී ඇති අතර උඩට ගිය පාෂාණ කොටස උඩු පැන්ම යනුවෙන් ද යටට ගිය පාෂාණ කොටස යටි පැන්ම වශයෙන් ද හඳුන්වනු ලබයි. මේවා මීටර ගණනේ සිට කිලෝ මීටර ගණනාවක් දක්වා දිගු විය හැක. 

සමමිතික නැම්ම.(සාමාන්‍ය නැමි, ) = (Symmetrical fold)
දෙපසින් ලැබෙන පීඩන බලයන් සමාන වු විට සහ පාෂාණ ස්ථරයන්ගේ ඒකීයත්වයක් ඇති වු විට මේ බඳු භූ රෑපයක් සෑදේ. නැමි අක්ෂයන්ගේ දෙපස සෑදෙන බෑවුම් කෝණ වල සමාන බවක් දැකිය හැකි නිසා සමමිතික බෑවුම් යන්න යෙදේ. ද්විමාන වර්ණ රැපය දක්වන්න‍නේ සමමිතික උඩු නැම්මකි. එය යටි නැම්මක වුවද පිහිටිය හැක. උදාහරණ:- හිමාලය කඳුවැටියේ උසින් අඩු සිවලින් කඳු

සෝපාන විභේදය =  
         මෙය ඉතාම දුර්ලභ ගණයේ භූ රෑපයකි. මෙය ඇති වන්නේද විභේද ගණනාවක් පිය ගැට පෙළක ආකාරයෙන් සිදු වු විට ය. දකුණු ඇමරිකාවේ අන්දීස් කඳුවැටියේ පාමුල ප්‍රදේශයේ ද මේ ලක්ෂණ දැකිය හැක. 

සුවිභේදය(ග්‍රාබන්)  = 
            සුවිභේදයක් නිර්මාණය භූමියක් පැළුම් රේඛා නැතහොත් විභේද රේඛා ඔස්සේ බිඳි ඒ පැළුම් රේඛාව නිසා ඇති වු දෙපස බිම් දෙක ස්ථාවරව පවතින විට මැද පිහිටි බිම ගිලා බැසීම නිසා වේ. නමුත් සමහර අයට අනුව මෙය මැද පිහිටි බිම ස්ථාවරව පවතින විට දෙපස භූමි දෙක උතික්ෂිප්ත වීම නිසාද නාර්මාණය විය හැක. මේ ආකාරයේ භූ රෑපයක් දක්නට ලැබිම විරල ය. උදාහරණ: සුප්‍රසිද්ධ රිෆට් නිම්නය මිට උදාහරණ සපයයි.


 ශාකීය ජලවහනය = dendritic
 ප්‍රධාන ගංගාවට අතුගංගා එකතු වන්නේ ගසක අතු ඉති විහිදි ඇති ආකාරයට නම් ඒ ශාකිය ජලවහනය යි.




හෝස්ට් විභේදය =  
          මෙය ගිලා බැසීමක් නිසා මෙන්ම උතික්ෂිප්තයක් (එසවීමක්) නිසාද ඇති විය හැක. මෙම භූ රූපය නිර්මාණය වන්නේ විභේද රේඛා දෙකක් නිසා පැළි යන භූමියේ මද කොටස ස්ථාවරව පවතින විට  දෙපස බිම් දෙක ගිලා බෑසීම නිසා වන අතර තවත් අය මෙහි මැද කොටස එසවීම නිසා නිර්මාණය වී ඇති බව පිළිගනී. උදාහරණ:  එක්සත් ජනපදයේ ඌටා හා ඇරිසෝනා මේ ලක්ෂණය දැකිය හැක. එසේම ප්‍රංශයේ වොස්‍ජස් (vosges Mountains) කඳු ජර්මනියේ බ්ලැක්ෆොරස්ට් මීට උදාහරණ වේ.





5 comments:

  1. ස්තුතියි ඔබට!ඉඩක් ලද මොහොතක නැවත මෙහි ඇවිත් යන්න.

    ReplyDelete
  2. භූගෝල විද්‍යාව norts සහ video, pdf,photo පුලුවන්නම් warunanimal2@gmail.com මේකට එවන්නකෝ a/l ආපහු ලියන්නයි මට උවමනා plzzzzzz උදව් කරන්නකෝ.........

    ReplyDelete

මේ බ්ලොග් ලිපි ගැන ඔබට හිතෙන දේ?

මහපොළොව ගැන දන්න අය ...