Mahaplawa Blog - A Geographical blog space


මහපොළොව මත සිටින අය

Thursday, March 28, 2013

භූගෝලීය තොරතුරු තාක්ෂණය/ විද්‍යාව පිළිබඳ පිවිසුමක් හෙවත් GIS පිළිබඳ මුලික හැඳින්වීමක්

      Geographical Information System  හෝ science  (GIS) එහෙමත් නැත්නම් Geospatial information studies යනුවෙන් හැඳින්වෙන්නේ පරිගණක තාක්ෂණය උපයෝගි කරගෙන භූ දර්ශනයේ විවිධ තොරතුරු digital මාධ්‍යයෙන් ඉදිරිපත් කිරිමේ විද්‍යාව, තාක්ෂණය, අධ්‍යයනය යන ඒවාගෙන් එකක්. GIS සඳහා සංකල්පනාත්මක පදනම වැටුනේ 1830 දි පමණ ඈතක බව විකිපීඩියා සඳහන් කරනවා. නමුත් Coppock හා Rhind දක්වන ආකාරයට 1950 පමණ වන විට පරිගණක භාවිතයෙන් සිතියම්කරණය ආරම්භ වී තිබෙනවා.Mcdonal දක්වන ආකාරයට  GIS ආරම්භ වන්නේ 1984 දී පමණ. ඒ කෙසේ  නමුත් GIS වල එක්තරා පැහැදිලි ආරම්භයක් 1960 දී කැනඩාවේ සිදු විය. ඒ එරට වන හා ග්‍රාම සංවර්ධන වැඩසටහනක් (Canada Geographic Information System)සඳහා සිදු කළ ව්‍යාපෘතියකදි. 

UC2010logo
       
       මේ සඳහා විශයයන් රාශියක දැනුම එක්ව තිබේ. භූගෝල විද්‍යාව, පරිගණක විද්‍යාව හා තාක්ෂණය, සංඛ්‍යානය, සිතියම් විද්‍යාව, මැනුම් විද්‍යාව, දුරුස්ථ සංවේදය, හා විවිධ පර්යේෂණ ක්ෂේත්‍ර ඒ අතර වේ. මේ නිසා අද වන විට ඉතා වේගයෙන් දියුණු වන හා භාවිතයේ ඉතා සුලභ බවක් පෙන්වන විද්‍යාවක් / තාක්ෂණයක් ලෙස GIS හඳුනා ගත හැකියි. යුධ කටයුතු සඳහා වි‍ශාල දායකත්වයක් ලබා දුන් මෙම ක්ෂේත්‍රය තාක්ෂණයේ භාවිතයන් සුලභ වීම හේතු කොට ගෙන පොදු මහජන භාවිතය දක්වා පැමිණ තිබේ. GPS තාක්ෂණය ද එසේ දායාද වුවකි. නමුත් පැහැදිලිවම කිව යුත්තේ GIS  හා GPS යනු දෙකකි. මේ ලිපිය GIS  ගැන වේ.

        භුගෝලීය තොරතුරු පද්ධතියක් යනු පරිගණක ගත තොරතුරු පද්ධතියකි. එයට තෙරතුරු ලබා දුන් විට එම තොරතුරු නැවත බා ගැනීම එක්ලස් කිරීම, ආකෘති ගත කිරීම, හැසිරවීම, විශ්ලේෂණය, දත්ත ඉදිරිපත් කිරීම ආදිය කිරිමේ හැකියාව ඇත.(M.F. Worboy)


       මා GIS යන්න හඳුනා ගන්නේ සිතියම් විද්‍යාවේ තාක්ෂණික දිගුවක් ලෙසයි. මේ නිසා GIS  හොදින් භාවිතා කිරීමට පෙර සිතියම් කියවීමේ සමත්කමක් (Map Reading) හා දැනුමක් ද පරිගණක හෝ නුතන තාක්ෂණික උපාංග භාවිතා කිරීමේ හැකියාවක් ද අනිවාර්යෙන් තිබිය යුතුවනවා. එසේ නොවන විට පුද්ගලයාගේ නොදැනුවත්කම් තාක්ෂණයේ බල මහිමය ඉදිරියේ දි වුවත් ප්‍රදර්ශනය වීම වැලැක්විය නොහැකියි.

GIS වල මුලික කාර්යයන් කිහිපයක් තිබේ.
  • දත්ත ඇතුළත් කිරීම හා දත්ත සැකසීම.
  • දත්ත පාලනය හා ගබඩා කිරීම.
  • අවකාශීය තොරතුරු විශ්ලේෂණය හා සංස්ලේෂණය කිරීම.
  • දෙන ලද දත්ත ඇසුරින් ප්‍රස්ථාර, සිතියම් හා රෑපසටහන් ඉදිරිපත් කිරීම.
  • දත්ත දෘෂ්‍යාත්මක තොරතුරු බවට පරිවර්ථනය කිරීම. 

    භුගෝලීය තොරතුරු පද්ධතියක් නිසි අයුරින් බල ගැන්වීමට අවශ්‍ය ප්‍රධාන සාධක 03 ක් තිබෙනවා.

01). පරිගණක පද්ධතියක් (Computer System) / තොරතුරු පද්ධතියක් (Information System)
          මිනිසා පරිඝණකය නිපද වුයේ මිනිසාට අවශ්‍ය වු නමුත් සිහි තබාගෙන හැසිරවිය නොහැකි තරම් වු තොරතුරු / දත්ත ප්‍රමාණයක් නිවැරදිව හැසිරවීමට යි. මිනිසා විසින් මෙහෙයවන අමතර බුද්ධිමය ඒකකයක්  වශයෙන් පරිඝණකය මේ නිසා හඳුනා ගත හැකියි. පරිගණකයක් ක්‍රියාත්මක වන්නේ ‘දෘඩාංග’ (hardware) හා ‘මෘදුකාංග’ (software)  යන කොටස් දෙක එක් වීමෙන්.
         මේ අතුරින් මෘදුකාංග  කොටස කොටස් දෙකකට නැවත බෙදෙනවා. පරිගණකය ක්‍රියාත්මක වීම සඳහා වු ‘මෙහයුම් පද්ධතියට අදාල මෘදුකාංග’ (system software) හා එදිනෙදා කටයුතු කරගැනීම සඳහා ඇති ‘යෙදුම් මෘදුකාංග’ (application software).
              (*) පද්ධති මෘදුකාංග කියන්නේ XP, Linux,Vista වගේ එව්වා. ඒවා ගැන මට වඩා ඔයා දන්නවා ඇති. සිංහල වචනේ කියපුවාම ඔයාට තේරෙන්නේ නැතිවෙවි කියලායි ලිව්වේ…
             (*) යෙදවුම් මෘදුකාංග කියන්නේ Word, Excel, Photoshop,  වගේ එව්වා.
                  හරි… නේ. දැන් තේරෙන්න ඕනා පැහැදිලිව ම. එත් එහෙමත් තේරුම් ගන්න බැරි නම් ඔයාට සිද්ධ වෙනවා චුට්ටක් පරිගණකය ගැන ‘ඔෆිස් කෝස් ’ එක ගැනවත් හොයලා කියවගන්න. හරිද? ඒක පොඩ්ඩක්වත් අමාරැ නෑ… ඔයාම කරලා බලන්න…

       පරිගණක පද්ධතියක අඩංගුවනවා තොරතුරු පද්ධති.  තොරතුරු පද්ධතියක් කියන්නේ යම් කිසි වැඩක් කරගන්න කියලා පිළිවෙළකට එකතු කරපු තොරතුරු / දත්ත ගොන්නකට. එහෙම නැත්නම් මෙහෙම කියන්නත් පුළුවන්.
         “කිසියම් අරමුණක් ඉටු කරගැනීම සදහා ක්‍රමානූකූලව එකිනෙකට සම්බන්ධ වු සංරචක රාශියක එකතුව”(02 වන මුලාශුය 36 පිට)

02). භූගෝලීය තොරතුරු පද්ධති/ දත්ත.(Geographical data)
        ‍භූ‍ගෝලීය වශයෙන් විමර්ශනය කර ලබා ගන්නා දත්ත හා එම එකතු කෙරෙන දත්ත තොරතුරු ගබඩාවක්. ඒ ගබඩාවේ තියෙන තොරතුරු විශ්ලේෂණය කළ හැකි සංස්ලේෂණය කළ හැකි හා හැසිරවිය හැකි වගේ ම එවාගේ අවසාන ඵලයන් නිරෑපණය කළ හැකි  පද්ධතියකි. භුගෝලීය තොරතුරු ඉතා විශාල පරාසයක විහිදෙනවා. මේ නිසා එකතු වන තොරතුරු හා දත්ත ද වි‍ශාල ප්‍රමාණයක් මෙවන් පද්ධතියක තියෙනවා.
මේ භූගෝලීය දත්ත ඒවායේ ස්වභාවය අනුව කොටස් දෙකයි.
      01. අවකාශීය දත්ත/ ප්‍රමාණාත්මක දත්ත
                 මේ යටතට උස, දිග, දුර, කාලය ආදි මානයන් පිළිබඳ තොරතුරු ඉදිරිපත්  කෙරේ.

      02. අවකාශිය නොවන දත්ත/ ගුණාත්මක දත්ත (තොරතුරු)
       මේ කියන දත්ත/ තොරතුරු අපිට ප්‍රාථමික මුලාශ්‍ර වලින් හා ද්විතික මුලාශ්‍ර වලින් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ එක්කෝ ඔයාට ම ගිහින් අහලා බලලා තොරතුරු එකතු කරා ගන්න පුළුවන්. නැත්නම් ඔයාට පුළුවන් පොතක් පතක් බලලා විස්තර හොයා ගන්න.

03). ක්‍රියාකරවන්නෙක් (User)
       මෙයා නැතුව වැඩේ කෙරෙන්නේ නෑනේ.  මෙයා විද්‍යාඥයෙක්, පර්යේෂණයෙක්, විද්‍යාර්ථියෙක් වෙන්න පුළුවන්.. ඒ කොහොම උනත්;
  • මේ ක්‍රියාකරවන්නාට පරිඝණකයක් හසුරුවන්න නවීන තාක්ෂණික යෙදවුම් හසුරුවන්න පුළුවන් වෙන්න ඕනා. 
  • මෘදුකාංග ටිකක් හසුරුවන්න පුළුවන් වෙන්න ඕනා…  
  • භුගෝලීය කරුණක් නිසා භුගෝලීය තොරතුරු ටික හසුරුවන්න පුළුවන් වෙන්න ඕනා. එහෙම හසුරුවන්නට බැරිව ගියොත් වැඩේ දෙල් විමට ඇති හැකියාව වැඩියි. මොකද අන්තිමේදි මෙයා දෙන ප්‍රථිඵලය ඒ කියන්නේ out-put එකෙන් ඒ නොදැනීම පෙනෙන්න ගන්නවා.

         GIS පද්ධතියක් තුළින් නිර්මාණය කරන සිතියමක තියෙන තොරතුරු පිහිටන්නේ තට්ටු විදිහට. පැහැදිලි කරන්න ලේසිම ක්‍රමය තමයි ඔයා දන්නවා නම් පොටෝෂොප් වගේ මෘදුකාංගයකින් ‍ග්‍රැෆික් එකක් කරන්න යද්දි  එකේ වෙනස් කම් කරන්නේ එක එක ලේයර් අරන්. GIS වලත්  භූමි පාරිභොගයට වගේ පැතිරුණු ප්‍රදේශ දක්වන්න එක තලයක් (ලේයර් එකක්) පාරවල් ගංගා ඇළ දොළ වලට තවත් ලේයර් එකක්, නගර නාම ගොඩනැඟිලිවලට වෙනම  ලේයර් ගන්නවා. මේ ලේයර් සේරම හරි පිළිවෙළට එක මත එක තිබ්බම ඔයාට එක සිතියමක් පේනවා.
තේරුනේ නැද්ද ලේයර් කතාව ? නොතේරුන අයට මේ කියන්නේ… තේරුණ අය මේ ඡේදය කියවන්න එපා… හරිය…කෙලින් ම ඊලඟ ඡේදය කියවන්න. ඔයා ගන්නකෝ පොත් වලට පිට කවර දාන පොලීතීන් කෑලි තුනක්. තව ඕනා ප්ලැටිග්නම් පැන්සල් ටිකක්. ලංකාවේ (තුත්තුකුඩියේ හරි වෙල්ලමුල්ලිවයික්කාල්වල උනත් කමක්නෑ) භුමි පරිභෝගය පෙන්නන සිතියමක් ඕනා.
1) දැන් පළවෙනි පොලීතීන් එක තියන්න ගත්ත සිතියම උඩින්. එකේ අඳින්න භුමි පරිභෝගය ගැන විස්තර ටික විතරක්. හිතමු ඔයා ගත්ත එකේ තියෙන්නේ වී වගාව කියලා. ඔන්න ඔයා පොලිතින් එක ති‍යනවා සිතියම උඩින්. දැන් කොළපාට ප්ලැටිග්නම් එකෙන් ඒ ප්‍රදේශය ඇඳගෙන පාට කරනවා. ඒ වෙල් මැදින් පාරවල් තිබ්බට කමක් නෑ.. එව්වා වැඩක් නෑ. අදින්නේ වී වගාව විතරමයි. හරි… දැන් ඒක තියන්න පැත්තකින්.
2) දැන් ගන්න ඊ ළඟ පොලිතීන් එක.ඒකත් තියන්න ඉස්සෙල්ලා පොලිතීන් එක තිබ්බ තැනින්ම… ඒකේ අදින්නේ රේඛාවක් වගේ විහිදෙන එව්වා… ඒ කියන්නේ පාරවල්, ගංගා වගේ දේවල්…(වැව් අදින්න එපා රජෝ… වැව් අදින්න ඕනා නම් අදින්නේ පළවෙනි එකේ… ඇයි ඒ කියලා බලන්න මේ ලිපිය අඟටම කියවන්න) ඒ වර්ණ වලින් ඒකත් ඇන්දා… තිබ්බා පැත්තකින්.
3) ගත්තා ඊලඟ එක. ඒකත් තිබ්බා කලින් එක තියාපු තැනින් ම. ඒකේ අදින්නේ අපි තිතක් තියලා ළකුණු කරන දේවල්… ඒ කියන්නේ ගොඩනැගිල්ලක්… එතකොට නගරයක් තියෙන තැන… ඒ වගේ… එව්වා.
                     දැන් ඔයා කරන්නේ මුලින්ම අර වී වගාව ඇන්ද එක තියන්න ‍සුදු පාට කොළයක් උඩින්. දැන් ඒක උඩින් හරියට තියන්න පාරවල් ගංගා ඇදපු එක. ඊලඟට තියන්න ඔය තිත් තියලා ලකුණු ‍කරන්න පුළුවන් කියලා කිව්ව එක. දැන් බලන්න ඔයාට තියෙනවා වි වගාව තියෙන පාරවල් ගංගා තියෙන ඒ අතරින් පතර විහිදෙච්ච ගොඩනැඟිලි එහෙම ලකුණු කරපු සිතියමක්. ලේයර් කියන්නෙත් ඔයා ඔය ගත්ත පොලිතීන් වගේ එව්වා ජාතියක්. ඉතිං වැඩේ හරියට ම තේරුම් ගන්න නම් ඔයා ඔය තිබ්බ පිළිවෙළට අනිත් අතට තියන්න. ඒ කියන්නේ තිත් තිබ්බ එක ඉස්සෙල්ලාම ඊට පස්සේ පාරවල් එක ඊලඟට වී වගාව එක… දැන් බලන්න ඔයාට තිත් පේනවාද? (පෙන්නෑ කියලා කියන්න… ඔය පොලිතීන් වල පෙනුනට පරිඝණකයේ ලේයර් වලින් පෙන්නේ නෑ…)
                 දැන් තේරෙනවා ඇති. ඔයාට දැන් හදිසියේ කිව්වොත් අනේ මේ මෙන්න මෙතන අළුත් පාරක් හදලා නේ කියලා… ගත්තා අර පාරවල් ඇඳපු ලේයර් එක(අපේ කතාවේ නම් පොලීතීන් එක) … ඇන්දා ඒ පාරත්… ආයේ ටිකකින් ඇවිත් කියනවා අනේ  ඒ පාර දිගට ගෙවල් හදලා කියලා… ගත්තා ගොඩනැඟිලි (තිත්) ඇන්ද ලේයර් එක… ඒ ටික ඇඳලා දම්මා. අන්තිමේ ඇවිත් කියනවා අයියෝ අර වී වගා බිමේ පැත්තක පොල් වවලා කියලා ඔයා වී වගාව ලේයර් එකේ ඒ ටික ලකුණු කරනවා… ලේයර් නිසා වැඩේ පහසුයි… නේ
මේ පින්තුරේ තවත් පහසුවක් ලේයර් ගැන අවබෝධයට.

campbell-fig01_0121
     
       මේ නිසා GIS  සිතියමක වෙනත් සිතියමකට වඩා තොරතුරු ඇතුළත් වෙනවා. එහෙම නැත්නම් එවගේ සිතියමක් හදන්න අපිට ගොඩාක් තොරතුරු දෙන්න වෙනවා. නමුත් අපි අතින් සිතියමක් අදිනවාට මේ වැඩේ පිළිවෙළට පිරිසිදුවට කරන්න පුළුවන්.  අනික සිතියම් අඳින්නය කියලා විශේෂ සුදුසුකම් ඕනා නෑ. දන්නවානේ සිතියමක් අදින්න ගිහාම චිත්‍ර අඳින්න දන්නේ නෑ කියයි, පරිමාණයට අඳින්න ඕනා. කිලිටි වෙන්න බෑ.  විකාර ගොඩයි. ඒවා මේකේ නෑ. අපිට තියෙන්නේ මෘදුකාංගය හසුරුවන්න හා අවශ්‍ය දත්ත ලබා දෙන්න විතරයි.

          නමුත් මේ වගේ දෙකින් භුගෝල විද්‍යාඥ‍යෙකුට මෙතෙක් දායාදයෙන් ආපු සිතියම් විශය නිසා ගොඩ නැ‍ඟෙන බොහෝ දේ නැති වෙලා යන්න පුළුවන්. සිතියම් විද්‍යාව හොඳ ගුරුවරයෙක්ගෙන් ප්‍රගුණ කරපු කෙනෙක්ගේ ජිවිතේට ම ඒක පුදුමාකාර බලපෑමක් කරනවා කියන්න මං අත්දැකිමෙන් දන්නවා. හරියට ඒක ඉගෙන ගත්තා නම්, ආයේ ඉතිං ඉරක් ඇන්දත් ඒක මාර නීට්! පැන් එකක ඩොට් එකක් හංදා දවස් ගාණක් ඇඳපු සිතියම එක්ක සිතියම් පොතම චාටර් බැනුම් ගොඩක් එක්ක උඩින් පාවෙනවා දකින එක මොන තරම් දුකක් ද? බිම වැටුණු පොත අහුලලා ආයේ එකේ තැළුණු පිටු මැදලා මැදලා සිතියම් අදිද්දි එන කේන්තිය මොන තරම් ද?  විශ්ව විද්‍යාලේ සිතියම් විද්‍යා පන්තියේ දි අපි හරියට දුක් වින්දා එක සිතියමක් ඇඳ ගන්න… වෙලාවකට සිතියම හරි වටේ ඇඳපු ‍ෆ්‍රේම් එක වැරදි යි. පිටු දෙසීයේ පොතේ පිටු අසුවක් විතර වෙනවා සිතියම් ඇඳපුවා වැරදිලා පිටු කපලා දාලා ම… අන්තීමේ ඒවටත් ලකුණු කැපෙනවා.  මකනේ රොඩු පිහදාලා නැත්නම් සර් ඒක වටේ රතු පෑනෙන් අඳිනවා… පස්සේ බලද්දි මකනයේ රොඩ්ඩ වැටිලා යනවා. සිතියම ඉවරයි. පුදුම තරම් තරහාක් එන්නේ එහෙම උනාම. ඒ දුකෙන් ඒ කේන්තියෙන් පන්නරය ලබන සිතියම්කරු මොන තරම් දක්ෂයෙක්ද කියලා ඉගෙන ගන්න ඕනා නම් ඒවා විඳින්න ම වෙනවා. අපි ඉතිං GIS  ඉගෙන ගත්තෙත් එහෙම ම දුකකින් තමා. පරිගණකය ඒ තරම් ‍නුහුරු අය සේව් කරන හැටි එහෙම ඇහුවාම, කලින් දා වැඩ කරපු මැප් එක හොයාගන්න බැරිව අහලා  හොද ලස්සන කවි ගී අහගන්නවා… දැන් නම් මතක් කර කර හිනා වෙන්න පුළුවන්. එහෙම අපි තමා හැබැයි අද මේවා කියලා දෙන්නේ… හහ්හා… ඒහෙම තමයි… 

      දැන් අපි මෙහෙම හිතමු. අපි ඉන්නවා පරිඝණකයක් ලඟ. GIS ඉගෙන ගන්න කියලා. හරි දැන් මොනාද ඉස්සෙල්ලාම කරන්නේ… ඒ පරිඝණකය ක්‍රියාත්මක කරලා ඊට පස්සේ බලන්න ඕනා GIS වලට අදාල වැඩ කටයුතු කරන මෘදුකාංගයක් තියෙනවාද කියලා. ඒ කියන්නේ එහෙම ඒවා ගොඩාක් තියෙනවා.  නම් වශයෙන් කිහිපයක් මං කියන්නම්. මුදල් ගෙවා ගත හැකි මෙන්ම නිදහස් මෘදුකාංග රාශියක් අද පවතිනවා.
මුදල් ගෙවා ගත හැකි මෘදුකාංග.
    • ArcInfo GIS (GIS කාර්යන් කරගන්නා අයගෙන් 70% කට වඩා භාවිතා කරන්නේ මෙයයි.)
    • Arc View 3.x
    • Arc GIS (ඉහත දක්වන මෘදුකාංග දෙක එක් කොට තනන ලද්දකි.)     
    • IDRSI
    • ILWIS
    • MapInfo

නොමිලේ ලබා ගත හැකි මෘදුකාංග.

       මේ වගේ එකක් තියේ නම් ඒක ඕපන් කරගන්න. එහෙමනේ වැඩේ පටන් ගන්න ඕනා. එත් එහෙම මෘදුකාංගයක් දාලා නැත්නම්… එකක් පරිඝණකයක පිහිටුවන්න ඕනා. ඒ සඳහා මහා සුදුසුකම් අවැසි නෑ. නමුත් මුදල් ගෙවා ලබා ගන්නා මෘදුකාංග විශාල ඉඩකඩකයි හැසිරෙන්නේ. ArcGIS වලට සෑහෙන තරමේ ඉඩක් ගන්නවා. අනිත් එක පිහිටුවීමත් ලේසි නෑ. නමුත් Quantum GIS  නම් පිහිටුවීමත් හා එයින් වැඩ කිරීමත් ඉතාම පහසුයි කියන්න මං දන්නවා. GRASS උනත් හැසිරවීම පහසුයි. නමුත් මං GRASS වලින් වැඩ කරලා නෑ. නිදහස් මෘදුකාංග  වැඩි ඉඩක් ගන්නේ නෑ Arc GIS  වගේ එව්වා එක්ක බලද්දි.

              මෙහෙමයි දැන් ඔයාට GIS  වලින් කරන්න ගොඩාක් ප්‍රාථමික මට්ටමේදි දෙන්නේ ඩේටා ටිකක් එන්ටර් කරලා ඒක ‘සේයා සිතියමක’ පෙන්වන්න. එහෙම නැත්නම් “ජියෝරෙෆරන්සින්” කරන්න. බය වෙන්න එපා ඔව්වා චවන විතරයි. මං අවධාරණයෙන් කියලා හිටිනවා මෙන්න මේක… මේ GIS  කියන මඟුල තේරුම් ගන්න ඕනා කෙනෙක් ඉන්නවා නම් ඉස්සෙල්ලා අර කිව්ව මෘදුකාංගයන් ටිකක් එහෙට මෙහෙට කරලා බලන්න මොනාද තියෙන්නේ කියලා. ඔයාට පාඩමක් දෙකක් එක්ක ඕක ඔළුවට වැටෙද්දි ආයේ ටිචර්ලා ඕනා නෑ. ඔයාට පුළුවන් ඕක ඉගෙන ගන්න. මොකද පරිඝණක එක්ක බද්ධ වෙච්ච මේ තාක්ෂණය දිනෙන් දින නවිකරණය වෙනවා. ඒ නිසා අදාල වු මෘදුකාංගය පවා අළුත් වෙනවා. ඔයා ඉගෙන ගත්ත එකකින් නෙවේ වෙන්න පුළුවන් ඔයාට වැඩ කරන්න වෙන්නේ…
       අපිට දුන්නා කියන්න කෝ 2011 ලංකාවේ දිස්ත්‍රික් ජනගහණය. අපිට කියනවා GIS භාවිතා කරලා සේයා සිතියමක් හදන්න කියලා. අපි දැන් GIS මෘදුකාංගය ට ගිහින් ඒකේ තියෙන ඇට්‍රිබියුට් ටේබල් එකක් කියලා තියෙන වගුවකට (හරියට එක්සෙල් ෂිට් එකක් වගේ) මේ ජනගහණ දත්ත ටික ඇතුල් කරනවා… ඊටපස්සේ අපිට තියෙනවා මොන පාටද අපේ සේයා සිතියමේ තියෙන්න ඕනා වගේ පුංචි තේරිම් ටිකක් සකස් කළාට පස්සේ අපිට සුදු පසුබිමක ව්‍යාප්ති සිතියම පෙන්වනවා. ඊට පස්සේ සිතියමට රාමුවක්, නමක්, දිශාව, යතුරක් වගේ එකතු කරන්න ඕනා තොරතුරු ටික ඒ ඒ අදාල තැන් වලට ඇතුළත් කරාට පස්සේ අපිට ‍සම්පුර්ණ සිතියමක් ලැබෙනවා. මේක හරියට Excel වලින් ප්‍රස්ථාර අදිනවා වගේ වැඩක්.

මේ තියෙන්නේ GIS භාවිතයෙන් නිර්මාණය කරපු එවැනි සේයා සිතියමක්.
popudensපිංතුරේ හොයා ගත්තේ ගුගුල් සෙවුමකින්.

           කඳු තැනිතලා ජලාශ වැනි භෞතික සාධක මෙන්ම මිනිසා විසින් ඇති කරන ලද දේ හා පවත්වාගෙන යන දේ පෘථිවි තලය මත පවති. සිතියම් ඇඳිමේ දි මේ සියළු ලක්ෂණ රෑප, සංකේත හා අක්ෂර මඟින් දක්වනු ලැබේ. GIS මඟින් නිර්මාණය කරන සිතියමක් ගොඩනැ‍ඟෙනුයේ ජ්‍යාමිතික ලක්ෂණ වලට අනුවයි. ඒ අනුව සියළුම තොරතුරු දක්වන්න පුළුවන් වෙන්නේ ආකාර තුනකට විතරයි.
1. ලක්ෂ්‍යය (තිත) (point)
2.රේඛාව (Line)
3.කලාප, බහුඅස්‍ර (polygon / Area)
     මේවා මේ පිළිවලටම මතක තියෙන්න ඕනා. මොකද මේකේ මේ පිළිවෙළ නිකං හරි බිඳුනොත් වැඩේ අවුල් වෙනවා. මොකද කලාපයක් (පොලිගන්  හැඩයක්) උඩම තලයට (ලේයර් එකට) ආවොත්  රේඛා (ලයින්), ලක්ෂ්‍ය (පොයින්ට්) පෙන්නේ නෑ වැහිලා යන්න පුළුවන්. රේඛා (ලයින්) යටින් ලක්ෂ්‍ය (පොයින්ට්) තියෙන්නත් බෑ… රේඛා (ලයින්) වලින් ලක්ෂ්‍ය (පොයින්ට්) වැහිලා යනවා නේ…  ඒ නිසා නිතරම ඔයා වැඩ කරද්දි ඔයාගේ වම් අත පැත්තේ දිස් වෙන ලේයර් බාර් එකේ බලන්න ඕනා ලේයර් ටික තියෙන්නේ කොයි පිළිවෙළටද ඔයා වැඩ කරන්නේ හරි ලේයර් එකේද කියලා. මතක තියා ගන්න ම ඕනා කරුණක් තමයි ඔයාට ලේයර් තුනක තමයි ඔය ලක්ෂණ තුන වෙන වෙනම සඳහන් කරන්න ඕනා. ඒත් ලේයර් තුනම ඉඩ දෙනවා ඔයාට පොයින්ට් ලයින් පොලිගන් කියන දේවල් තුනම අඳින්න… ඒ කියන්නේ ඔයාට අමතක වෙලා හරි පොයින්ට් අදින ලේයර් එකේ පොලිගන් අඳින්න උනත් පුළුවන්… එහෙම උනාම ලයින්, පොයින්ට් කියන දෙකම පොලිගන් එකකට යට වෙලා නොපෙනී යන්න පුළුවන්. මේ වැඩේ හරියටම තේරුම් ගන්න පුළුවන් මං කොළ පාටින් ලියලා තියෙන ඡේදය කියෙව්වාහම.

ලක්ෂ්‍යය (point)
         ලක්ෂයකින් නිරෑපණය කල හැකි තොරතුරු මේ මඟින් දක්වනවා. එක් x, y ඛණ්ඩාංකයකින් දක්වන්නේ. මානයක් (දිගක් දුරක් උසක් ආදී වු) නෑ.
         උදා: ළිදක්, නිවෙසක් හෝ ගොඩනඟිල්ලක්, නගරයක් හෝ ග්‍රාමයක්  වැනි ස්ථානීය පිහිටීමක්.
රේඛාව (Line)
        රේඛාව නැතහොත් ලයින් සැදෙන්නේ ලක්ෂ්‍ය හෙවත් පොයින්ට් දෙකක් හෝ කිහිපයක් එකතු වීමෙන්. මේවා වීවෘත හැඩතල. රේඛාව නිර්මාණය වන ආකාරයට අනුව ඛණ්ඩාංක අනුපිළිවෙලින් දැක්වීම මගින් රේඛාවේ විහිද යන දිශාව (රේඛාව විහිදෙන පැත්ත) දක්වනවා. එයින් දිග හෝ දුරක් දක්වනු ලබනවා. ඒ නිසා මෙය ඒක මාන ලෙසින් හැදින්වෙනවා. රේඛාවකින් නිරෑපනය වන සියළු තොරතුරු මෙයින් නිරූපණය ‍කරනවා.
        උදා: මහා මාර්ගයක්, ගඟක්
 කලාප, බහුඅස්‍ර (polygon / Area)
  මේකෙන් පෙන්වන්නේ ආවෘත (අවෘත කියන්නේ විවෘත නෑ කියන එක.) හැඩතල. එහෙම නැත්නම් ඒවට කලාප කියලා කියන්නත් පුළුවන්. යම් ප්‍රදේශයක් පෙන්වන්න තමයි භාවිතා වන්නේ. ලයින් කිහිපයක් එකතු වීමෙන්  මෙවැන්නක් සෑදෙනවා. මේ වර්ගයේ තොරතුරු වල දිගක්, පළලක්, දුර, උස, ගැඹුර ආදි මානයන් කිහිපයක් අඩංගු වෙන්න පුළුවන්.
           උදා: වැවක්, ප්‍රදේශයක් (ගමක්, පළාතක්)

      GIS වල තොරතුරු නිරූපණය කරන්න පුළුවන් එහෙම නැත්නම් තොරතුරු ඇතුළත් කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා.

1.වෙක්ටා ක්‍රමය (Vector)
මේක තමා බහුලවම භාවිතා කරන ක්‍රමය. සරලයි පහසුයි.
untitled
    මේ රෑපයෙන් පේනවා පොයින්ට් කිහිපයක් එක් වෙලා ලයින්, එවැනි ලයින් කිහිපයක් එක් වෙලා පොලිගන් හැදෙන හැටි. 
මේ  වෙක්ටා ක්‍රමයෙදි  භූගෝලීය තොරතුරු ‍හරි මොකක් හරි ස්ථානයක පිහිටීම හරි දක්වන්නේ   x, y, හෝ  x,y,z ඛණ්ඩාංක මගින්. මේ ඛණ්ඩාංක ජාතික ඛණ්ඩාංක තලයට අනුව පිහිටුවනවා. (ඒ කියන්නේ ජාතික අක්ශාංෂ දේශාංෂ එක්ක ඔයා අදින තිතක් ලයින්, පොලිගන් සම්බන්ධ කෙරෙනවා.)

2.රාස්ටා ක්‍රමය (Raster)
         මේක  කොටු දැලක තමයි පිහිටන්නේ.  අදාල තොරතුරු දක්වන්නේ කුඩා කොටු වලින්. කොටු-දැල නිශ්චිත පරිමාණයකට අනුව සැකසුණු කොටු/ ඛණ්ඩංක (cell, pixel) තලයකින් සමන්විත වෙනවා. නිශ්චිතවම ස්ථාන පෙන්වන්නට බැරි දුර්වලතාවය මේ ක්‍රමයේ තියෙනවා.

untitled2
මේ ක්‍රමයෙදි අදාල තොරතුර දක්වන්නේ ඒකටම අදාල වු cell (කොටුවක්/ ඛණ්ඩංකයක්) එකක.   

      
         බලන්න පහත පිංතුරය දිහාව. රාස්ටා වෙක්ටා ක්‍රම ‍දෙක පැහැදිලි කරන්න ඒක ලොකු උදව්වක් වේවි.

gis
උපුටා ගත්තේ ගුගුල් සෙවුමකින් ය.

GIS පද්ධතියක මුලික සංරචක
      ප්‍රධාන සංරචක 5 ක් තියෙනවා.මේ දේවල් මේ ලිපිය පුරා පැහැදිලි කරලා තියෙනවා. නැවත කියන්න දෙයක් නෑ. නමුත් ඔයාට වැඩි දුර විස්තර ඕනා නම් මුලාශ්‍ර ටික බලන්න. එහෙම නැත්නම් මගෙන් අහන්න.

gaaaaaaasis උපුටා ගත්තේ ගුගුල් සෙවුමකින් ය.

  1. ද්‍රෘඪාංග (Hardware)
  2. මෘදුකාංග (Software)
  3. දත්ත (Data)
  4. මානවයා (People)
  5. ක්‍රම (Methods)
 
භූගෝලීය තොරතුරු පද්ධතියක් මඟින් ඉටු කළ හැකි කාර්යයන්.

1. සිතියම් විද්‍යානුකූලව නිවැරදිව සිතියමක් නිර්මාණය කරගැනීමේ කාර්යක්ෂම පහසුවක් ලබා දීම.
            සිතියම් විද්‍යානුකූලව සිතියමක් නිර්මාණය කිරීමට දිගු කාලයක් අවශ්‍ය වේ. විශාල ප්‍රමාණයේ සිතියම් සඳහා යන කාල වේලාව වැඩිය. එමෙන්ම සිතියමක් ඇඳිමේදි වැරදිම් නිසාත් කාලය හා සම්පත් බොහෝවිට අපතේ යයි. ඇදිමේ හැකියාවක් නැති කෙනෙක්ට වුවත් ඉතාම ලක්ෂණ හා පිරිසිදු ගුණාත්මක අතින් ඉහළ මට්ටමේ සිතියමක් පහසුවෙන් නිර්මාණය කර ගත හැකියි.එමෙන්ම සිතියම් නිර්මාණය සඳහා යන වියදම අඩුය. පිටපත් විශාල ප්‍රමාණයක් සඳහා වුවත් වැඩි කාලයක් යන්නේ නෑ. අනෙක් කරුණ වන්නේ මේක ජාතික හා ගෝලිය ඛණ්ඩාංක තලයන් එක්ක පිහිටුවන නිසා ප්‍රදේශයක විමසීමක් වුවත් ගොලීය විමසීමක් වුවත් කරන්න පහසුයි.

2. විවිධ තේමාවන් යටතේ ඇති සිතියම් එකවර භාවිතා කළ හැක.
        GIS  මඟින් සිතියමක් නිර්මාණය කිරීමේදි අප විවිධ තොරතුරු ගබඩා කර ගත යුතුයි. එමෙන්ම භු විෂමතාවය භුමිපරිහෝගය ජලව්‍යාප්තිය හා මාර්ග ජාලයත් ගොඩනැඟිලි ව්‍යාප්තියත් ආදි තොරතුරු දැක්වෙන තේමා ගණනාවකට ආදාල තොරතුරු එකම සිතියමක් සඳහා පහසුවෙන් භාවිතා කළ හැකියි. එමෙන්ම සිතියම් කිහිපයක තොරතුරු එකම සිතියමක වුවත් දැක්වීමේ හැකියාව  මේ නිසා ලැබෙනවා. එමෙන්ම එක සිතියමක අඩංගු තොරතුරු තවත් කාර්යයන් සඳහා ප්‍රයෝජනවත් විය හැකියි.  මේ පහසුකම නිසා සංවර්ධන කටයුතු, අපදා කළමළණාකරණය, යුද කටයුතු සඳහා මේවැනි සිතියම් ඉතාම ප්‍රයෝජනවත් වේ. තොරතුරු රාශියක් අඩංගු  සිතියමක් නිරික්ෂණය කර විවිධ නිගමන හා නිරික්ෂණ කිරීමේ හැකියාවත් ලැබෙනවා.

3. සිතියමක් සැකසීමේදි දත්ත වගු තුළ දත්ත ගබඩා කරනු ලබන නිසා තොරතුරු ‍ද ගොනු ගත කෙරේ. ක්ෂේත්‍ර හා තේමා ගණනාවක දත්ත කාර්යක්ෂමව හැසිරවීමට හා කළමණාකරණයටත් උපකාර කරයි.
         මේ නිසා කලින් පැවති සිතියමකින් ලැබෙන පහසුකමට අමතරව ප්‍රමාණාත්මක තොරතුරු ද පරිශිලකයාට ලැබේ. මේ නිසා පරිශිලකයාට ප්‍රමාණාත්මක දත්ත හා අවකාශීය දත්ත එකවර හැසිරවීමේ පහසුව ලැබේ. එ නිසා දැත මත ඇති කඩදාසි සිතියමකට වඩා මේ සිතියම් තොරතුරු ලබා දීම අතින් ඉහළ හා කාර්යක්ෂම සේවයක් ඉටු කරනාවා. එමෙන්ම යාවත්කාලීන කරන ලද තොරතුරු ඇතුලත් කළ වහාම සිතියම ද වහාම යාවත් කාලීන වේ. එ නිසා සිතියම් ඇඳිම සදහා ‍වෙහෙස වීමට කාලය වැය නොවේ.

4. ප්‍රමාණාත්මක තොරතුරු තවත් කාර්යන් සදහා යොදා ගත හැකිවීම නිසා GIS  මඟින් නිර්මාණය කරන සිතියමක් බහුකාර්ය උපකරණයක් වේ.
        සිතියම හා අදාල වන දත්ත ඇති නිසා නැවත නැවතත් විශලේෂණය හා සංස්ලේශණය කළ හැකි දත්ත ඉතා වටිනා ඒවාය. එමෙන් ම සිතියම් යාවත් කාලීන කිරීම මෙහිදි ඉතාම පහසුය. මේ නිසා සිතියම් මඟින් දැක්වෙන තොරතුරු කාලීන ඒවා වේ. විශේෂයෙන්ම ව්‍යාප්ති සිතියම් අවබෝධය පහසු වුවත් ප්‍රමාණාත්මක තොරතුරු ලබා දීමේදි ඇති කරනු ලබන අඩුපාඩු GIS වලදි දක්නට නොලැබේ.

5. ජාලගත වි‍ශලේෂණයන් සිදු කිරීමේ හැකියාව පවති.
      කලින් පැවසුවා සේ ම ජාතික ජාත්‍යන්තර ඛන්ඩාංක සමඟ මේ සිතියම් පිහිටවනු ලබනවා. එමෙන්ම තේමා රාශියක තොරතුරු සහිත ගොනු මේ හා බැඳි පවතිනවා. මේ නිසා ජාලගත විශ්ලේෂණයන් කිරීම ඉතාම පහසුයි.  එමෙන්ම දත්ත හුවමාරුව පවා අතිශයින් වේගවත්ව සිදු කළ හැක.

6. අතීත පුරොකතන ඇසුරෙන් දත්ත විශ්ලේෂණය කර අනාගත තෙරතුරු ප්‍රක්ෂේපණය කර ගත හැක.
        උදාහරණයක් වශයෙන් අවශ්‍ය දත්ත ලබා දි ඇත්නම් ඒවා විශ්ලේෂණය කර ගංගාවක ජල මට්ටම වැඩි වීමට සාපේක්ෂව එයින් ගංවතුර අපදාව ඇති කරන ප්‍රදේශය ඉතා පහසුවෙන් ක්ෂණිකව සොයා ගත හැකියි. ජනගහණයේ වර්ධනය ව්‍යාප්තිය වගේ තොරතුරු සඳහා මේ වන විටත් එවැනි සිතියම් භාවිතා කරනවා ඔබ දැක ඇති.

7. GIS මඟින් ලබා දෙන්නේ සිතියම් නිර්මාණය කිරිමේ පහසු කම පමණක් නොවේ.
        එය එහි ප්‍රධාන එක් අංගයක් පමණි. GIS  මඟින් සංකිර්ණ විශ්ලේෂණයන් සිදු කර භූගෝලීය වශයෙන් වැදගත් වන්නා වු තොරතුරු ලබා දිය හැක.
       උදාහරණයක් වශයෙන් ඔබ යම් ආකාරයක සමාජීය පර්යේෂණයක් සඳහා ප්‍රදේශයක් සොයනවා යැයි සිතමු. ඔබට අවැසි වන්නේ ලංකාවේ වයස අවුරුදු 15-25 ත් අතර ගැහැණු ළමුන් සිටින ප්‍රධාන පාරේ සිට කිලෝමීටර 5ක් තුළ වාසය කරන ඉඩම් අක්කර දෙකකට වඩා වැඩි ඉඩමක පදිංචි වි සිටින අයය. ඔබ ඒ සඳහා දත්ත සපයා ඇත්නම් ( ඒ කියන්නේ  මීට වසර 25ත් 15ත් අතර කාලයේ සිදුවු ස්ත්‍රී උපත් පිළිබඳ තොරතුරු, ලංකාවේ ප්‍රධාන මාර්ග  ජාලය ගැන තොරතුරු, ප්‍රධාන මාර්ග පද්ධතිය අවට ඉඩම් පරිභොගය ගැන තෙරතුරු සපයනවා නම්) ඔබ සොයන ආකාරයේ අය සිටින පලාත් ඉතා පහසුවෙන් ක්ෂණිකයෙන් සිතියමකින් දක්වන්නට GIS  වලට හැකියාව ඇත.
       පුද්ගල වැරදි වීම් වලින් බෙහෝ දුරට තොරවු සිතියමක් නිර්මාණය කර  ගත හැක. එමෙන් ම සිතියම්කරණයේ දුර්වලතා මඟහරවා ගන්නටද මේ මඟින් හැක. සේයා සිතියම් වැනි ව්‍යාප්ති සිතියම් වල ප්‍රමාණාත්මක තොරතුරු ලබා ගැනිමේ දුශ්කරතාවයද මේ මඟින් නැතිව යයි. තාක්ෂණික නැඹුරුව නිසා බොහෝ දෙනෙක්ගේ අවධානය දිනාගෙන ඇති හෙයින් විශය පෝෂණයටද රුකුළක් වේ.අනෙක් අතට භුගෝලය හදාරන අයගේ තාක්ෂනික නැඹුරුවට හා පරිගණක සාක්ෂරතාවයට ද උපකාරයකි.

8.  GIS දුරස්ථ සන්නිවේදන තාක්ෂණයේ දියුණුවට හා චන්ද්‍රිකා තාක්ෂණයේ දියුණුවටද බෙහෙවින් බලපා ඇත. GPS (Global Positioning System)‍වැනි උපාංග හා උපකරණ ‍GIS  නිසා බිහිව තිබේ. 1970 ගණන්වල සිට දුරස්ථ සංවේදන ක්‍රමවල සිදු වු දියුණුවත් සමඟ GIS වර්ධනය වන්නේ ඒ තාක්ෂණයන් ඇසුරේය. මේ නිසා GIS හා GPS අතර එකිනෙකා පෝෂණය කරන සම්බන්ධයක් පවතින බව පෙනේ.


 *) සමහර වචන වලට අදාල සිංහල තේරුම් මං දන්නේ නෑ. ඉංග්‍රීසි වචන ගෙඩි පිටින් සිංහලට පරිවර්ථනය කරලා දෙන්නත් මට බෑ. මොකද සිංහලෙන් භාවිතා කරන පාරිභාෂික කාලයත් එක්ක ගොඩ නැ‍ඟෙන්න පුළුවන්. එ වගේම ඒවා මං කියන්නාවු අර්ථ වලින් වෙනස් වෙන්නත් පුළුවන්.  සමහර අවස්ථාවලදි භාවිතයේ පහසුව තකා සමහර ඉංග්‍රිසි වචන ඒ ශබ්දයම නැ‍ඟෙන පරිදි සිංහල අකුරු වලින් ලියා තිබෙනවා. ඒ ලිපියේ භාෂාව ඉතාම සරළ කිරීමේ අරමුණත් ඒ මඟින් කියවන්නාට වඩාත් හොඳින්  අවබෝධ වීමට පහසු වේ යන අදහසත් පෙරදැරි කරගෙන.එත් හැකි සෑම විටම ඉංග්‍රිසි වචන දක්වන්න මං උත්සහා කරා. මේ ලිපිය ලියන්නේ උසස් පෙළ මට්ටමට හෝ මේ විශය සදහා ඉතාම ආධුනික මට්ටමේ කෙනෙක්ටයි. තවත් කල් ගියොත් තොරතුරු තව තව වැඩි වෙවි මේක පත්තරයක් වෙනවා… ඒ හංදා මේ මං ටික පබ්ලිෂ් කරන්නයි යන්නේ !

එහෙනම් අදට මේ ලිපිය ඉවරයි තවත් ලිපියක් එක්ක හමුවන තුරු උදාවන සෑම දවසක් වෙනුවෙන්ම  සුබ දවසක් කියා පතනවා !


 ආශ්‍රීත ග්‍රන්ථ:
01).   භෞම විද්‍යා 8 වන කලාපය (නව වන ලිපිය), “භූගෝලිය තොරතුරු පද්ධතියේ භාවිතය”, ඩබ්ලිව්. එන්. දයාන් පීරීස් (මේක කැලණිය විශ්වවිද්‍යාලයේ භුගෝල විද්‍යා අධ්‍යනාංශයේ වාර්ෂික සඟරාව. ඉතා සීමිත පිටපත් ප්‍රමාණයක් තමයි මුද්‍රණය වෙන්නේ.

02). භෞම විද්‍යා 9 වන කලාපය, “ Arc GIS භාවිතයෙන් සිතියමක් Georeferencing කිරීම. ( UTM ක්‍රමයට )” ඩබ්ලිව්. එන්. දයාන් පීරිස්.

03).    “සිතියම්, භූගෝලීය තොරතුරු පද්ධති සහ දුරස්ථ සංවේදය”, චන්දන පී ගුණසේන, ඇස්. ගෙඩගේ ප්‍රකාශන (2008), ISBN -978-955-30-0452-9 (ක්ෂේත්‍රය ගැන සිංහලෙන් ලියවිච්ච පුංචි ගාණකට (200/=) ගන්න පුළුවන් ප්‍රයෝජනවත් පුංචි පොතක්.)

තොරතුරු සඳහන් වෙබ් අඩවි:

සිංහලෙන් විස්තර සඳහන් වෙන අඩවි:
  • http://geonanalowa.blogspot.com/2010/07/blog-post.html මේ සිංහල බ්ලොග් එකේ නම් තොරතුරු සඳහන් වෙනවා ප්‍රමාණවත් ලෙස… නමුත් ඈ කාලෙකින් ලියා නෑ එහි.. එත් තියෙන තොරතුරු ටිකත් ගොඩාක් වටිනවා.

නමුත් රාජ්‍ය අංශයේ සබැඳ වල නම් දැනට තොරතුරු නෑ.එත් මා සබෑඳි සඳහන් කරන්නම්.

26 comments:

  1. අැත්තටම ඉතාමත් ප්‍රයෝජනවත් ලිපියක්.මම මිනුම්දෝරුවෙක් නිසා GPS නම් කරලා කිබෙනවා. නමුත් ඒ පිලිබද ලොතු දැනුමක් නැහැ. බොහෝ වෙලාවට අපි කරන්නේ කන්ස්ට්‍රක්ෂන් නිසා GPS අවශ්‍යය වන්නෙ කන්ට්‍රෝල් නෙට්වර්ක් ඒක හදාගන්න විතරයි.ඔබ ලබාදුන් තොරතුරු ටික ඉතාමත් ප්‍රයෝජනවත්. නිවාඩු වෙලාවක අර මෘදුකාංගයක් බා ගෙන මොනවාහරි කරන්නම්.ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කිර්ති. එක්කෙනෙක්ට හරි ප්‍රයෝජනයක් උනානම් ඒක ලොකු සතුටක්.
      ආයෙත් ඉඩ ලද විටෙක මහපොළොවට එන්න කියලා ආරාධනා කරනවා.

      Delete
  2. කියෙව්වා.. වෙන මහන්සිය සහ කරුණු ඉදිරිපත් කිරීම පිළිබද ස්තූතිය.....

    ReplyDelete
  3. මගේ ඉල්ලීම සැලකු ඔබට ඉතාම ස්තුතියි ....ඉතාම හොඳින් මා බලාපොරොත්තු වූ අයුරින් පැහැදිලිකර තිබීම
    පිලිබඳ මා ඉහලින් සතුටට පත්වෙනවා ... at අනෙකුත් ලිපිද දකින්න ආසාවෙන් :D

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේ ඔබේ ඉල්ලීම නිසා තමා ලිව්වේ. මටත් සතුටක් ලිපිය ඔබට ප්‍රයෝජනයක් වුවා නම්. අනෙක් ලිපි නිවාඩුවක් ලැබුණම ලියන්නම්. ස්තූතියි ප්‍රතිචාරයට

      Delete
  4. අඩේ මෙන්න තවත් ලිපියක්......
    මේ වගේ දෙයක් ගැන නම් මාත් දැනගෙන හිටියේ නැහැ.
    බොහොම ස්තූතියි දැනුවත් කළාට.

    ReplyDelete
    Replies
    1. හහ්හා... උදාර කිව්වේ ඉක්මනින් ලිපි පල කරන්නය කියලා. ලිපි දෙකම භාගේ භාගේ ලියලා තිබ්බ හංදා සම්පුර්ණ කරලා පළ කරා. නොදන්නා දෙයක් ලියන්න ලැබුණු එකත් එක්තරා සතුටක්.
      ප්‍රතිචාරයට ස්තුතියි උදාර

      Delete
  5. ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
    මම සමකය වටේ ලියන නලින්

    ReplyDelete
  6. මේ ලිපිය මට ගොඩක් වැදගත් ...අනේ ඉක්මනට උසස් පෙළට තියෙන පාඩම් වලට තව ලිපි බලාපොරොත්තු වෙනවා ...ඔබට ජය

    ReplyDelete
  7. මේ ලිපිය මට ගොඩක් වැදගත් ...අනේ ඉක්මනට උසස් පෙළට තියෙන පාඩම් වලට තව ලිපි බලාපොරොත්තු වෙනවා ...ඔබට ජය

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් මං ආවේ පරක්කු වෙලා නේ. ඉක්මනින්ම ලියන්නම්. සෙයාන්නාට සම්බ වේ කියලා අහලා තිබ්බාට හොයා ගන්නා අය ඔබ මෙන් අව්‍යජයි කියලා අහලා තිබ්බේ නෑ. ඔබේ ‍බ්ලොග් එක දැන් හරි සුන්දර තැනක්. හරිම සතුටුයි ඒ ගැන

      Delete
  8. මමත් GIS ගැන චුට්ටක් දන්නවා. අපිට කැම්පස් එකේ උගන්නන නිසා. මම ලිපිය අකුරක් නෑර ඔක්කොම කියෙව්වා. ලිපිය පබ්ලිෂ් කරලා ගොඩක් කාලයක් ගතවෙලා තිබුණත් වෙච්ච මහන්සියට කමෙන්ට් එකක් නොදා යන එක හරි නෑ කියලා හිතුනා.

    Arc GIS හරි Q GIS හරි පාවිච්චි කරලා සිතියමක් නිර්මාණය කරන හැටි ගැන දත්ත විශ්ලේෂණය කරන හැටි ගැනයි පුළුවන්නම් විතරක් ලිපි මාලාවක් ලියලා දානවනම් ගොඩක් වටිනවා. මොකද සිංහල භාෂාවෙන් GIS ඉගෙන ගන්න කිසිම අවස්ථාවක් නෑ. තියෙන පොත් ටිකයි ලිපි ටිනෙයි තියෙන්නෙ ඒක මොකක්ද කියලා විතරයිනෙ. You Tube එකට ගියාම ටියුටෝරියල් ඇතිතරම් හොයාගන්න පුළුවන්. ඒත් සිංහලෙන් මේ ගැන වචන දෙක තුනක් උනත් ලියලා දාන එන වටිනවා සහෝ..

    එහෙනම් ආයෙත් කියන්නෙ වෙලා තියෙන මහන්සියට ගොඩාක් ස්තූති. අන්තර්ජාලයේ දැනට GIS ගැන සිංහලෙන් තියෙන හොදම ලිපිය මේක තමා. ආයෙ ඒකෙ කතා දෙකක් නෑ. එහෙනම් තව තවත් ලිපි දාන්න. ජය වේවා...!!!

    ReplyDelete
  9. මමත් GIS ගැන චුට්ටක් දන්නවා. අපිට කැම්පස් එකේ උගන්නන නිසා. මම ලිපිය අකුරක් නෑර ඔක්කොම කියෙව්වා. ලිපිය පබ්ලිෂ් කරලා ගොඩක් කාලයක් ගතවෙලා තිබුණත් වෙච්ච මහන්සියට කමෙන්ට් එකක් නොදා යන එක හරි නෑ කියලා හිතුනා.

    Arc GIS හරි Q GIS හරි පාවිච්චි කරලා සිතියමක් නිර්මාණය කරන හැටි ගැන දත්ත විශ්ලේෂණය කරන හැටි ගැනයි පුළුවන්නම් විතරක් ලිපි මාලාවක් ලියලා දානවනම් ගොඩක් වටිනවා. මොකද සිංහල භාෂාවෙන් GIS ඉගෙන ගන්න කිසිම අවස්ථාවක් නෑ. තියෙන පොත් ටිකයි ලිපි ටිනෙයි තියෙන්නෙ ඒක මොකක්ද කියලා විතරයිනෙ. You Tube එකට ගියාම ටියුටෝරියල් ඇතිතරම් හොයාගන්න පුළුවන්. ඒත් සිංහලෙන් මේ ගැන වචන දෙක තුනක් උනත් ලියලා දාන එන වටිනවා සහෝ..

    එහෙනම් ආයෙත් කියන්නෙ වෙලා තියෙන මහන්සියට ගොඩාක් ස්තූති. අන්තර්ජාලයේ දැනට GIS ගැන සිංහලෙන් තියෙන හොදම ලිපිය මේක තමා. ආයෙ ඒකෙ කතා දෙකක් නෑ. එහෙනම් තව තවත් ලිපි දාන්න. ජය වේවා...!!!

    ReplyDelete
    Replies
    1. ඒක ගැන නම් ‍කියන්න තියෙන්නේ හරි ලියන්නම්. එත් ලියලා තියෙන ලිපි ටික සංස්කරණය කරලා ඉවර වෙලා තමා හැබැයි කියලා. ස්තූතියි දුලාන් සිල්වා ඔබේ අදහස් වලට. මට හරි සතුටක් දැනුනා. මේ බ්‍ලොග් ලියන්නේ කාට හරි ප්‍රයෝජනවත් වේවා කියන අදහසින්. ඔබේ අදහස් මට ලොකු ධෛර්යයක් උනා. ආයේ ලියන්න එන්න හිතුනේ මේ ක්මෙන්ට් එක දැකලා. ඇත්තෙන්ම ස්තූතියි!

      Delete
  10. ඇත්තමට ඉතාම වැදගත් ලිපියක්. මමත් මේ ක්ෂේත්‍රයට කැමති කෙනෙක් දැනට ARC GIS මෘදුකාංගය භාවිතා කරලා සිතියම් නිර්මාණය කරනවා. පුළුවන් නම් Arc GIS පාවිච්චි කරන හැටි ගැන ලිපියක් දාන්න. ඔබට ස්තුතියී...............

    ReplyDelete
  11. ඇත්තටම ගොඩක් ලොකු උදව්වක්

    ReplyDelete
  12. ඇත්තටම ගොඩාක් වටින ලිපියක්.මම gis course 1ක් කරනකෙන්ක්.....arc gis and q gis භාවිතා කරනවා

    ReplyDelete
  13. මම arc gis හා q gis ඉගෙනගන්නවා.මම මෙක සිංහලෙන් ලියා තිබිම ගැන සතුටුයි

    ReplyDelete
  14. I would like to thank you, because this page is very useful to my studies,

    ReplyDelete
  15. I would like to thank you because, this page is very useful to my studies

    ReplyDelete
  16. වි වගාවට හා දුම්කොළ වගාවට ජල භාව්තය හා පාරිසරික සාධක ගැන තොරතුරු ට්කක් ලියන්නකෝ

    ReplyDelete
  17. Gindara Wadak.... kollo Meken yanthm GIS Goda gya.. keep it up..

    ReplyDelete
  18. VERY THANKS AND VERY IMPORTANT LETTER.

    ReplyDelete
  19. Thank you , very useful to my studies ,

    ReplyDelete

මේ බ්ලොග් ලිපි ගැන ඔබට හිතෙන දේ?

මහපොළොව ගැන දන්න අය ...