Mahaplawa Blog - A Geographical blog space


මහපොළොව මත සිටින අය

Saturday, March 23, 2013

පාරිසරික තිරසර සංවර්ධනය සංකල්පය ඇති වීමට තුඩු දුන් ඉතිහාස ගත සිද්ධි

 

          ලෝක මානව ප්‍රජාව පරිසරය කෙරෙහි දක්වන ආකල්ප ඒ කාලයත් වර්ධනය වීම ඈත අතීයේ පටන්ම දක්නට ලැ‍බුණා. කාලයක් අපි පරිසිරය වන්දනාමාන කරේ දේවත්වයෙන්. ගස්ගල්වලට අකුණු වගේ දේවල් වලට වැන්දා. ඒ වගේම ගංවතුර භුමිකම්පා ඇති කරන්නේ දෙවියෝ කියලා හිතුවා. අද අපි දන්නවා ඒ දේවල් ඇති වෙන්නේ සිවාභාවික ක්‍රියාවලි වල ප්‍රතිඵල නිසා කියලා.  කොහොම උනත් පරිසරය ගැන අපේ ආකල්ප ආකාර තුනකින් විස්තර කරන්න පුළුවන්.

1.යටත්වීම

           (දේවත්වයෙන් අදහන කාලේ අප පරිසරයට දැක්වුවේ යටත් පහත් බයගුලු     බවක් )

2.සහයෝගය

           (පස්සේ අපේ අවබෝධය ගොඩනැඟිමත් එක්ක අපි පටන් ගත්තා සහයෝගයෙන් වැඩ කරන්න. අපේ රටේ වැව් හැදෙන්නේ ඒ නිසා. අපි බිසෝ කොටු හදලා ජලය තරමක් දුරට පාලනය කරන්නේ ඒ නිසා. )

3.අභිබවනය

        (ඔන්න දැන් අපි හදන්නේ අභිබවා යන්න. පරිසරය අපිට ඕනා විදිහට හදා ගන්න. අපි එයාව පාලනය කරනවා. විවිධ කාරණාවලදි පරිසරය පවත්වාගෙන යන තත්ත්වය වෙනස්ම කරලා අපි අපේ දෙයක් ‍ඒ මත කරාගෙන යනවා නේ. )

                          ඉතිං මේ කියන කාරණා තුනට අනුගතව තමයි අපි අපේ පාරිසරික ප්‍රතිපත්තිය ගොඩනඟා ගන්නේ. අපේ පුද්ගලික පාරිසරික ප්‍රතිපත්තිය මොකද්ද කියලා කවදා  හරි කල්පනා කරලා තියෙනවාද කියලා මං දන්නේ නෑ. එත්  ඔයාලාටම වෙන් වෙච්ච ඉඩ කඩේ… එහෙම නැත්නම් ගෙවත්තේ කොයිතරම් දුරට ඔයාගේ ඒ පුද්ගලික  පාරිසරික ප්‍රතිපත්නිය දකින්නට පුළුවන්ද? ඔයා හිතන් ඉන්නේ කොළපාට වත්තක්. ඒ උනාට ඔයා ඉන්නේ දුඹුරු පාට පරිසරයක වෙන්න පුළුවන්. මල් පිරුණු වත්තක් එපා… අඩුම තරමේ එකම එක මල් පොච්චියක්වත් හදන්න තරම් ඔයා සංවේදී වෙන්න ඕනා. ඒකට මහ වෙලාවක් යන්නේ නෑ. ලස්සන මල් පැලයක් පොච්චියක් එක්කම අරන් ඇවිත් ජනේලයක් ලඟින් තියන්න මහ වෙලාවක් යන්නේ නෑ.  ඔයා එහෙ මෙහේ ගෙනියන වතුර බෝතලේ ඉතිරි වතුර ටික එයාට හවසට දුන්නා නම් ඇති. ඔයා වායු ගෝලයට දෙන කාබන්ඩයොක්සයිඩ් ටික එයා අරන් ආ‍යේ ඔයාට හුස්ම ගන්න අළුත්ම අළුත් ඔක්සිජන් ටිකක් දේවි. ආයේ හිතන්න මොකද්ද ඔයාගේ පුද්ගලික පාරිසරික ප්‍රතිපත්තිය කියලා.

          කොහොම නමුත් ලෝකයේ හැම ඇබින්දකටම මානව අවධානයන් යොමු වුණු හා තාක්ෂණික බලපෑමක් එල්ල කළ සිද්ධි ගොඩක එකුවක් තමයි කාර්මික විප්ලවය කියන්නේ. ලෝකයේ මහ විශාල හැරවුම් ලක්ෂයක් තමයි ඒක.. ඒකෙන් පස්සේ ලෝකේ ගොඩාක් දේවල් වෙනස් වුනා.  ඊට පස්සේ ආපු  යුගයන්ගේ පාරිසරික භාවිතය හා පසුව පරිසරය කෙරේ ඇති වු අවධානයන් මේ සම්බන්ධයෙන් ගැනයි මං මේ කතා කරන්න යන්නේ. එහෙම කතා කරලා අන්තිමේ මං පෙන්නලා දෙන්න යන්නේ අද පවතින තිරසර පාරිසරික සංකල්පය කියන හෑල්ල ගැන ඔයාට පුංචි සිතුවිල්ලක් දෙන්න. හොද ලස්සන නෙළුම් මල් හැදෙන  පැලයක අලයක් පල් ගඳ ගහන නරා වලක වැටිලා තියෙන හැටි කියන්නයි මට ඕනා. කවදා හරි දවසක කවුරු හරි හොයනවා නම් තිරසර සංවර්ධනය යනු ධනවාදයේ හෙවනැල්ලක්ද කියලා. මං මේ උත්සහා කරන්නේ එයාට කතා කරන්න. එයා හිතන දේ දැන් මටත් හිතුණා කියන්න.

             අපි ටිකෙන් ටික කියවමු. මං මේ  කියන්න යන්නේ කොහොමද තිරසර සංවර්ධනය ගොඩ නැගෙන්නේ කියලා. ඒ වගේම මං බලාපොරොත්තු වෙන්නේ මේ ලිපියෙන් දමා ගන්න පදනම අරන් ඊලඟ ලිපියකින් වර්ධනයේ සීමා (සිංහල පරිවර්ථනය ඇසුරෙන්) හා ‍අපේ පොදු අනාගතය (සිංහල පරිවර්ථනය ඇසුරෙන්) වගේ පොත්  හා මිහිකත සමුළු වලින් කතා කෙරුණු සමහර විවාදාත්මක  දේ ගැන නිදහසේ කතා කරන්න. ඒවා ගැන කතා කරලා ආරම්භය කොහොම උනත් පස්සේ තැවරුණු  අර  ධනවාදයේ ආලේපනයන් ගැන යමක් මේ මහපොළව කියවන අයට දෙන්න.

              කාර්මික විප්ලවයේ විවිධ ක්‍රියාවන් සමඟ පරිසරයට මිනිසා එක් කරන රසායන සංයුතින් ප්‍රමාණය  වැඩි උනා. විවිධ කර්මාන්ත කිය කියා මේ අය විවිධ රසායන සංයුතින් වායු ගෝලයට පසට ජලයට මුදා හැරියා.  මෙම රසායනයන් පාරිසරික පද්ධති වල සමතුලිතතාවය එසේ නැතහොත් ආදාන හා ප්‍රතිධාන ක්‍රියාවලි අතර ඇති තුලිත සම්බන්ධය පළුදු කීරීමට කාලයත් තිස්සේ කටයුතු කරා. ඉතාම සරලව කියනවා නම් පරිසරයේ සියළු කටයුතු කෙරෙන්නේ එක්තරා රටාවකට. එයා හැමතිස්සේම ඉන්නේ සමබර අයවැයක. ඒ වගේම හුඟාක් ස්වාභාවික පරිසරික කටයුතු චක්‍රීයයි. ඒ නිසා එකක අය ක් හෝ වැය ක් තවත් එකක ක්‍රියාත්මක වීමට හා පැවැත්මට අනිවාර්යෙන් බලපානවා. මොකක් හරි දෙයක්  චුට්ටක් වෙනස් ‍උනාම තවත් එකක රිසාල්ට් එකට ඒක කෙලින්ම බලපානවා.

       උදාහරණයකට ඔයාට තියෙනවා  කියන්නකෝ ලොකු වත්තක් ඒකේ මහ පදාසයක් තියෙන්නේ ලොකු ගස්. ඔයා  ගිහින් ඔයාලාගේ  තියෙනවා කියලා හිතන කැලේ කැපුවා කියන්න කෝ. හරි ගස් ටික කැපුවා ඒක ඔයාට එතනින් ඉවරයි. එහෙම නැත්නම් ඒ ටික ලී කරලා වෙන මොකක් හරි කරන කං වැඩේ ඔයාට අදාල වේවි. එත් පරිසරයට ඒහෙම නෑ. එතනින් එන ජල වාශ්ප ටික නැති වෙනවා. ඔන්න ජල චක්‍ර‍ යේ වැඩ ටික බකල් වෙනවා. එතන තිබ්බ පසට ආවරණයක් නැතිව යනවා. ඒ පස කාලයක් තිස්සේ හුරුවෙලා තියෙන්නේ හෙවනේ ඉදලා. ඒ පසේ ජිවත් වෙච්ච අයත් එහෙමයි. එයාලාගේ ජිවිතත් බකල්. ඔන්න සුමානෙකට පස්සේ කොහොම හරි හත්දුරැත්තක් වගේ දිග වැස්සක් වහිනවා. අර අළුතෙන් නිරාවරණය වෙච්ච පස හොදා ගෙන යනවා. එතකොට එතන පසත් අවුල්. එතන නාය ගියොත් ඊට වඩා අවුල්. ඒ ගස් ටිකේ ජිවත් වෙච්ච රිලා කුරුළු ආදි සතුන්ටත් අවුල්. දැන් ඔයාගේ ඉඩම විතරක් නෙවේ මේ ඉන්න බිලියන හතෙන් බිලියනයක් ඒ කියන්නේ හැම මිනිස්සු හත් දෙනෙකුගෙන් එක් කෙනෙක් ඔයාව කොපි කරලා මේ වැඩේ කරොත් ඔයා හිතන්න ඒක ලොකේ තියෙන ජල චක්‍ර/ පාංශු චක්‍ර/ කාබන් චක්‍ර/ නයිට්‍රජන් චක්‍ර වගේ එවාට දැනෙනවා නේද?  පරිසරයත් එක්ක බලද්දි ඔයා ඒකේම කැල්ලක් මිසක් ඉන් පරිබාහිර කෙනෙක් වෙන්නේ නෑ කවදාවත්.

    හරි දැන් ඒ කතා ඇති. අපි යන් අපේ අද මාතෘකාවට… මං මුලින් ඔයාව දැනුවත් කරනවා සිද්ධි ටිකක් ගැන. ඒ වගේ සිද්ධි ටිකක් තමයි මිනිස්සු ගේ ඇස් ඇරියේ. කාර්මික කටයුතු නිසා පරිසරයට විශාල හානියක් සිද්ධ වෙනවා කියලා පෙන්නලා දුන්නේ. ඒ සිද්ධි විසින් සකස් කරපු පසුබිමක තමයි පාරිසරික තිරසර සංවර්ධනය කියන දේ බිහි වෙන්නේ… හැබැයි මේ සේරම සිද්ධ වෙන්නේ බටහිර කාර්මික රටවල. ඒක අමතක කරන්න එපා.

 

                                         ***  ***  ***  ***  ***  ***  ***  ***  ***  ***  ***

             පරිසරය සම්බන්ධව ලෝක මානව අවධානය මුලින් යොමු කිරීමට සමත් වු වැදගත් සිදුවීම් ආරම්භ වුනේ 20 වැනි සියවසයේ මැද කාලයේයි. ඒ වන තුරු කාර්මික විප්ලවයෙන් උපන් විද්‍යාව හා තාක්ෂණයන්, කාර්මිකරණය වැනි දේ කෙරේ ලෝකයේ ඇතිවුයේ ඉතාම යහපත් ආකල්පයන්.

 

     50 දශකය අවට සිදුවු ඝන මීදුම් / දුමාර /ධුමිකා  නැතහොත් වායුගෝලයේ දුෂිත තත්ත්වයන් හේතුවෙන් සිදුවු සිද්ධී.

Man_Lights_Cigarette_in_Daylight_-_Black_Tuesday_1939 

http://en.wikipedia.org/wiki/File:Man_Lights_Cigarette_in_Daylight_-_Black_Tuesday_1939.jpg

 

01. 1930 මෙවුස් නිම්නයේ ඝන මීදුම/ දුමාරය (Meuse Valley fog)

        මෙය 1930 දී බෙල්ජියමේ සිදුවු සිදුවීමක් වන අතර ඝන මීදුම් තත්ත්වය දින දෙකක් තුනක් පමණ පැවතියා.  මෙයින් ඇතිවු හුස්ම ගැනිමේ අපහසුතා හේතුවෙන් ඒ ප්‍රදේශවාසීන්  600ක් පමණ රොගාතුර වු අතර   මිනිස් ජීවිත 60 ක් අහිමි වුවා. ඊට අමතරව ගවයින් ආදි ඇති කළ සතුන්ද මෙයින් පීඩාවට පත්වුවා.  මෙය සිදුවුයේ ප්‍රංශයේ සිට නෙදර්ලන්තය හා බෙල්ජියම මැදින් උතුරු මුහුදට  ගලන මෙවුස් ගංගාව අවට කාර්මික අපදුව්‍ය වායු ගෝලයට එක්වීම නිසායි.

 

02.1939 ‍ශාන්ත ලුවිස් ඝන මීදුම / දුමාරය (St._Louis_smog)

         1939 වසරේ ඇමරිකා එක්සත් ජනපදයේ මිසුරි ප්‍රදේශයේ (මිසුරි මිසිසිපි නම් ගංගාව ‍ඇති ප්‍රදේශය) ඇතිවු තත්ත්වයකි. නිවාස උනුසුම් කිරීම හා නෙයෛකුත් ගෘහාශ්‍රීත කටයුත් සඳහාත් විවිධ කාර්මික යෙදවුම් සඳහාත් ජතු ගල්අඟුරු දහනය කිරීම මීට හේතු වු බවයි වාර්තා වන්නේ. එදිනෙදා ජන ජිවිතයට බාදා කරන තරමේ තද මිදුමක් වගේ දුමාරයක් ප්‍රදේශය පුරා පැතිර තිබු බව තමයි කියන්නේ.

 

            මේ වගේ දුමාර වරින් වර ඇති වෙලා තියෙනවා. මේ ඒවායින් කිහිපයක් විතරනේ. මේ වගේ දුමාර ආවහම කාළගුණය කෘෂි කටයුතු වගේ දේවල් එක්කම  එදිනෙදා ජිවිතත් අඩාල වෙනවා. සේරටම වඩා ශ්වසන ආබාධ නිසා රෝගාතුර වීම. කිරි දරුවෝ වගේම මහළු අය රෝගින් මේ නිසා ඉකිමනින් අනතුරට ලක් උනා. ඔයා නිකං හිතන්න ඔයාට හුස්ම ගන්න බැරි තරමට වාතය කිලිටු වෙලා ගිහින් කියලා. ඔයා ඔයාට ආදරණිය අයත් එක්කම මැරෙන්න යනවා කියලා… ඔයාට කලින් ඔයාගේ ඇස් ඉස්සරහාම ඒ අය මැරිලා යද්දි කොයි තරම් වේදනාවක්ද? ඒ දුක මේ දුමාර විසින් ඒ ප්‍රදේශවාසින්ට අත් කරලා දුන්නා.

 

 මිනමාටා අනතුර (Minamata disease) 1956-1961:

      මේක විශාල සිද්ධියක් මේ තේමාවත් එක්ක සලකා බලද්දි. ඒ වගේම සැහෙන අවධානයක් දිනා ගත්තා මේ සිද්ධිය. පොදු ජනතාව මේ සිද්ධියට විරුද්ධව තමන්ගේ එදිනෙදා ජිවිත පවා වෙනස් කරගෙන කැප වුණා. ඒක මහ ඛේදයක්. ලස්සන අම්මලාගේ කිරි සිහින බොඳ කරගෙන ඉපදුණේ විකෘති හැඩ ඇති දරුවෝ. දුප්පත් පවුල්වල අයට විතරක් නෙවේ පොහොසත් පවුල් වල අයට මේ උපන්ගෙයි කරුමෙන් දුක් විදපු ළමයින්ටත් ගෙවන්න උනේ මහ දුක හිතෙන ජිවිතයක්. විශේෂයෙන්ම ධිවර ජනතාවට නම් මේ අනතුර සාපයක්ම උනා.

     මේ සිද්ධියේ අනතුරුදායක හඳුනා ගෑනීමක් පළමුවෙන්ම වාර්තාවක් ජපානයේ මිනමාටා ප්‍රදේශයෙන් 1956 දී වාර්තා වුණා. ජපානයේ සිදුවු අනතුරු අතර මෙයත් විශේෂිත එකක් බවයි ඒ රටේ අය කියන්නේ. සමහර අය‍ මේ අනතුර හඳුන්වන්නේ Chisso-Minamata disease ලෙසින්. රසදිය වසවීමක් තමයි සිද්ධියට මුල් උනේ. ශරිර දුබලතා සහ විකෘතිතා මෙන්ම ඇස් පෙනිමේ කණ් ඇසීමේ දුර්වලතා මිනමාටා ප්‍රදේශයේ ජනතාව අතර දක්නට ලැබෙන්නට පටන් ගත්තා. ළදරු මෙන්ම කළල හා භ්‍රෑණ මරණ මෙන්ම විකෘතිතා බහුලව මේ කාලයේත්  ඊට පසු කාලීනවත් මේ ප්‍රදේශයේ දක්නට ලැබුණා.

hand

      1908 දි ආරම්භ කළ  Chisso Corporation නම් රසායනික කර්මාන්ත ශාලාවක් විසින් නිකුත් කළ  අපජලය සමඟ මීතයිල් හා රසදිය තිබීමත් ඒ අපජලය මිනමාටා ‍බොක්ක‍ට බැහැර කිරීමත් ඒ අපජලය විවිධ කටයුතු හරහා විශේෂයෙන් ම ඒ බොක්ක අවට ප්‍රදේශයේ මසුන් ආහාරයට ගැනීම නිසා  ප්‍රදේශවාසින්ගේ ශරීර ගතවීමත් නිසා තමයි සිද්ධිය ඇති උනේ. සිද්ධිය නිසා 1784 කගේ ජිවිත අහිමි උන බව වාර්තා වනවා. 2001 දි කළ සොයා බැලීම් වලට අනුව සිද්ධියට ගොදුරු වු පුද්ගලයින් ගණන 2265 ක්.

 

      මුලින්  මේ සමාගම පොහොර වර්ග නිශ්පාදනය කළ අතර පසුව ජපානය පුරා ලත් ව්‍යාපාරික සාර්ථකත්වය හා ව්‍යාපාරික කටයුතු පුළුල් කීරිමක් ලෙස ඇසිටිලීන්, ඇසිටැල්ඩිහයිඩ්, ඇසිටික් අම්ලය, අදියත් නිශ්පාදනය කරන්නට පටන් ගත්තා. මේ කර්මාන්තය ඉතා වේගයෙන් සිය නිශ්පාදනයන් වැඩි කරමින් සිඝ්‍ර ලෙස දියුණුවට පැමිණුනා.  1932 වසරේ දි මේ කියු ආයතනය ඇසිටැල්ඩිහයිඩ් නම් රසායනය ටොන් 210 ක් නිශ්පාදනය කර තිබෙනවා. 1956  වසරේදි මේ ප්‍රමාණය ටොන් 6000ක් වු අතර 1960 වසරේදි ටොන් 45245ක් නිෂ්පාදනය කර තිබෙනවා. 1932 සිට 1968 දක්වාම මේ රසායන නිශ්පාදනයේ අපඅජලය එක් කෙරුණේ මිනමාටා බොක්කට යි. ඇසිලටැල්හයිඩ් නිශ්පාදනයේදි උත්පේරකයක් වශයෙන් mercury sulfate   භාවිතා කරනු ලබන අතර එහි අතුරු ඵලයක් වශයෙන් රසදිය (mercury) සුළු ප්‍රමාණයක් නිපැද වෙනවා. එසේ නිපැද වෙන රසදිය methylmercury  වශයෙන් හඳුන්වනවා.

       මේ සිද්ධියෙන් රෝගල් ගතවු  දි පළමු රෝගියා වයස අවුරුදු පහක් වු දැරියක්. ඇය රෝහල් ගත වුයේ 1958  අප්‍රේල් 21 දින. දින දෙකකට පසුව ඇගේ සහොදරියත් පසු තවත් රෝගිනුත් ‍සමාන වු රෝග ලක්ෂණ සහිතව රෝගල් ගත කෙරුණා.

         ගෘහාශ්‍රීත සතුන් පවා රෝගාතුර වීම මුලින් පරික්ෂකයන්ගේ ඇස ගුටුණේ නෑ. ඔවුන් ඒ සිද්ධිය මිනිසුන්ගේ රෝගි තත්ත්වයත් සමඟ එකට සැලකුවේ නෑ. නමුත් රෝගින්ගේ නිවාස වල වාසය කළ පුසන් වලිප්පුව හැදි මිය ගොස් තිබුණා. සමහර විට උන් පිස්සු හැදි මිය ගොස් තිබුණු නිසා ජනතාව ඒ රෝගය හඳුනා ගත්තේ “cat dancing disease” (පුසන්ගේ නටන රෝගය) ලෙසයි. කුරුල්ලන් පවා රෝගය ආසාදනයෙන් මිය ගියා. මසුන් මිය ගොස් ජලය මත පාවෙන්ට පටන් ගත්තා. විවිධ සතුන් මේ ලෙසින් රෝගාතුර උන අතර මුහුදු පැලෑටි පවා මිනමාටා බොක්ක අශ්‍රීතව වැඩුනේ නෑ. සාමාන්‍ය පරිදි කෙරුණු පරික්ෂණයෙන් කිසිදු තත්ත්වයක් පිළිතුරු ලෙස සොයා දෙන ලෙස Kumamoto University නම් විශ්ව විද්‍යාලයෙන් ඉල්ලීමක් කළා. රෝගය ඉතා වේගයෙන් පැතුරුණේ සෑම දෙනාගේම අවධානයට බඳුන් වෙමින්. රෝගින්ගේ අතේ පයේ සංවේදය ‍නැති උනා. අත් පා හිරි වැටුණු අතර රෝගින් නොවැටි ඇවිදිමට පවා අපහසු තත්ත්වයක් උදා උනා. කතා කිරීමටත් රෝගින්ට අපහසු උනා. කටහඬ වෙනස් වීම හා ගිලිමේ අපහසුතා ඇති වීම  රෝගින් අතර බහුලව පැවති තත්ත්වයක් උනා. අවසානයේ සිහිමුර්ජා තත්ත්වයේ සිටි රෝගින් ඒම තත්ත්වයෙන් ම මිය ගියා. මුලින් ආහාර විසවීමක් ලෙසින් හඳුනා ගත්තත් වසංගතයක් මෙන් වු මෙම තත්ත්වය පිළිබදවත් රෝගින් පරික්ෂා කරමින්  කෙරුණු පරික්ෂණ වලිනුත් පසුව තහවුරු උනා රෝගි තත්ත්ව (ස්නායු පද්ධතිය ආශ්‍රීතව) ඇති වීමට හේතු වන්නේ කර්මාන්ත ශාලාවෙන් පිටවන අපජලය ජලයට මුසු වීම බව.

      1968 දි කර්මාන්ත ශාලාව වසා දැමුණා මේ  සිද්ධිය පදනම් කරගෙන. මේ අතරේදීම සඳහන් කරන්න ඕනා වගේම සිද්ධි කිහිපයක් තිබුණා ජපානයේ.( Four Big Pollution Diseases of Japan) එ සිද්ධි ලෝක ඉතිහාසය ඇතුලේ ගොඩාක් ම වැදගත් සිද්ධි නම් නෙවේ. එත් ඒවා තුළින් වඩා විශාල සිද්ධිය ස්මතු උනා වගේ ම නැවත නැවත මතක් කරනු ලැබුවා.

1962  දී රේචල් කාසන් විසින් රචිත ‘නිහඬ වසන්තය’:

         දෙවන‍ ලෝක යුද්ධය අවසාන වී (විශේෂයෙන්ම ම හිරෝශිමා නාගසාකි ප්‍රහාරයෙන් පසුව) ඇමරිකාවේ නව උදානය සිද්ධ වීමට පටන් ගත් මුල් කාලයයි. මේ කා‍ලයේ ඇමරිකාව ලෝකයේ බලවතා ලෙසින් කාර්මික අංශයට වැඩි අවධානයක් යොමු කර තිබුණා. පශ්චාත් යුද සමයක් ලෙසින් මෙන්ම සීතල යුද්ධයේ එක්තරා පැහැදිලි කාල වකවානුවක් ලෙසින් ද මේ කාලය ඇමරිකාවට වැදගත්.මේ කාලයේ දි අංගවිකල ළදරුවන් ඉපදුනාම ඒකට හේතු දෙමාව්පියෝ දැනන් හිටියේ නෑ. සාපයන් වගේම අඳුරු බලවේග වලට ජිවිත ගොදුරු උනා කියලා ඒ අය හිතුවා. ඒ අයගේ පව්කාරකම කියලා හිතුවා. එත් ඇත්ත කතාව ඒක නෙමේ.

         පාරිසරික අවධානය යොමු වු වැදගත් සිදුවීම් ගණාවක් අතුරෙන් 1962 දී රෙචල් කාසන් විසින් ඇති කල කතිකාවත ‘ප්‍රථම ප්‍රහාරය’  ලෙස මේ මාතෘකාව හා සම්බන්ධව කතා කරන බොහෝ අය හඳුන්වනු ලබනවා. සාගරික ජීව විද්‍යාඥවරියක වු රේචල් ලුවිස් කාසන් (Rachel Louise Carson (May 27, 1907 – April 14, 1964) විසින් රචිත ‘නිහඬ වසන්තය’ ( silent spring) නම් ග්‍රන්ථය නිහඩවම ලෝකයේ සිදුවන අති මහත් ව්‍යසනයක් පිළිබඳ කතා බහට ලක් කරා.

රේචල් කාසන් හා ඇගේ ග්‍රන්ථය

images 

        ඇය සාගරික ජීවින් පිළිබඳ කරනු ලැබු පර්යේෂණ වලදි මේ බව මුල්වරට අණාවරණය කර ගත්තා. සාගරික ජීවින්ගේ ශරිර ගතවු එකල පලිබොධකයක් ලෙස ඇමරිකා එක්සත් ජනපදය පුරා ‍බහුලව භාවිතා කරන ලද DDT සාගරික ජිවින්ගේ ශරිර ගතවිම හා විෂ සහිතව විවිධ ආබාධයන්ට ලක්වීම කාසන් අඳුනා ගත් අතර ඒවා සතුන්ගේ ශරීරවලට එක් වන්නේ විවිධ කාර්මික අපජලය හා අපද්‍රව්‍ය ජලමාර්ග වලට එක්විම නිසා බවත් එම ජලය හෝ මේ විෂ ශරිර ගත සතුන් ආහාරයට ගැනීම නිසා මිනිසා රෝගන්ට ගොදුරු වන බවත් ඈ පෙන්නලා දුන්නා. ඉන් නොනැවතී මේ විෂ සහිත ද්‍රව්‍යයන් කාන්තාවන්ගේ ශරිර වල තැම්පත් වී අළුතින් බිහිවන පරම්පරාවන් අංගවික හෝ මන්දබුද්ධික තත්ත්වයන්ට පත් කිරීමට තරම් ප්‍රබල බවත් පෙන්වා දුන්නා.

        ඇගේ මෙම අණාවරණය කිරීම එකල ව්‍යාපාරයන්ට එල්ල කරන ලද මරු පහරක් වුයෙන් මේ නිසා නුතන විද්‍යාව හා තාක්ෂණයත් මිනිසා ප්‍රතික්ෂේප කිරීම හා කාර්මික පරිසර කෙරේ පොදු ජනතාව අතර  විරෝධයක් ගොඩ නැඟීමට ඇතිව තිබු හැකියාවයි. මේ නිසා ඇගේ මේ ප්‍රකාශය වසර දහයක් වන තුරුම විවිධ අපවාදයන්ටත් පසුව විවාදයටත් බඳුන් උනා. විශේෂයෙන් ම ඇමරිකානු ව්‍යාපාරිකයන් ඇයට මිනිසුන් කර්මාන්ත කෙරේ උදාසීන කරවන සාම්ප්‍රධායික මත වලින් ගහණ ‍කෙනෙක් ලෙස  ඍජුව චෝදනා කරන කරා.

        නමුත් දිගින් දිගටම ඈගේ පෙන්වා දීම් වලින් ඇත්ත ස්මතු වෙද්දි ඒවා බැහැර කළ නොහැකි තැනට  පත් වන විට මිනිසුන් ඒ කෙරෙහි අවධානය යොමු කරා.  කොහොම උනත්  අවසානයේ දී  මෙහි ප්‍රථිපලයක් වශයෙන් වසර 10 කට පසුව, ඇය මිය ගොස් වසර 08 කට පසුව එනම් 1972 දී ඇමරිකාවේ තහනම් රසායනයක් ලෙසින් DDT නම් කරා.

       මෙම ග්‍රන්ථය පිළිබඳ ගුණ දොස් කතා කොතෙක් ඇතත් ලෝකයේ යම්  ආකාරයකට පාරිසරික විනාශය පිළිබඳ මිනිසුන්ගේ අවදානය යොමු කරපු සිදුවීම් අතර  වැදගත් බවක් ‍හිමි කර ගනු ලබනවා.  

 

1969 සැන්ටා බාර්බරා තෙල් කාන්දු වීම.

      මෙය සිදු වුයේ 1969 ජනවාරි මාසයේ 28 වන දා සිට දින දහයක් පුරා oil-spillඑනම් පෙබරවාරි 7 වන දා දක්වා දකුණු දිග කැල්ෆොනියාවේ සැන්ටා බාබරා නගරය ආශ්‍රිතව පැසිපික් මුහුදේ යි. මෙය ඒ කාලයේ සිදු වු විශාලතම තෙල් කාන්දු වීම ලෙසයි ප්‍රසිද්ධ වුයේ. වසර 2010 වන විට එය තෙවැනි විශාලතම තෙල් කාන්දුව වුවා. ඒ 1989 හා 2010 දි සිදුවු තෙල් කාන්දුවීම් හා සලකා බලද්දි යි. සිද්ධිය නිසා අපතේ ගිය බොර තෙල් බැරල් ප්‍රමාණය 80000ත් 100000ත් අතර වනවා.  මේ සිද්ධිය නිසා මිය  මුහුද ආශ්‍රීත පක්ෂින් සංඛ්‍යාව ආසන්න වශයෙන් ගණනය කර ඇති පරිදි 3686 ක් වන අතර විනාශ වී ගිය සාගරික ජිවින් ප්‍රමාණය කොතෙක්ද කියා දන්නේ නෑ. නමුත් විද්වතුන් පෙන්වා දෙන පරිදි ඒ ප්‍රදේශයේ වාසය කළ සාගරික ජීවින් ගෙන් 80%ක් – 90% ක් පමණ සිද්ධිය නිසා විනාශ වී තිබෙනවා. මේ වගේ සිද්ධියක් නිසා බොහෝ සෙයින් උරණවන්නේ දියදම්වේදින්(පරිසරවේදීන්). ඔවුන් පෙන්වා දුන්නා මේ වගේ කාර්මික යෙදවීම නිසා ආර්ථික සංවර්ධනය සංවර්ධනයක්ද යන ප්‍රශ්නය නැවත නැවත නැඟුනා.

 

1970 ලව් කැනල් හි විශ මුසු වීම.

       නිව්යෝර්ක් නගරයේ නයගරා ආශ්‍රීතව පිහිටා ඇති එකිනෙකාට සමාන්තර අතුගංගා දෙකක් ලව් කැනල් නමින් හැදින්වේ. මේ අතු ගංගාවන්ට Hooker Chemical නම් ආයතනයකින් විශ සහිත අපද්‍රව්‍ය ටොන් 21000ක් පමණ මුදා හැරීම නිසා ‍සිද්ධිය ඇති විය. විශ සහිත ජලය ජන ජිවිත හා මුසුව විවිධ ආබාධ ඇති කරන ලදී. මළ දරු උපත් සේ ම අංගවිකල දරුවන්ගේ උපත් වැඩි විය. 85000කට වඩා පිරිසක් සිද්ධිය නිසා පිඩාවට පත්ව ඇත.

  

1976 සෙවෝසෝ පිපුරුම.

       1976 ජුලි මස 10 වන  දින පෙරවරු 12:37 ට  ඉතාලියේ උතුරු මිලානෝ හි දි රසායනික කර්මාන්ත ශාලාවක් පිපිරීම නිසා අනතුර සිදු විය. මේ අනතුරින් ටෙට්‍රාක්ලෝඩිබෙන්සෝප්ඩයොක්සීන් වායුගෝලයට එක්විය. මේ අනතුරින් පස්ව කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට පෙර සැලකිය යුතු නීති රීති මාලාවක් හඳුන්වා දීමට කටයුත් කරන ලදී.  මේ සිද්ධිය නිසා මිනිසුන් 17000ක් පමණ ඍජුවම පීඩාවට බඳුන් වු අතර මෙඩා හි මිනිසුන් 19000ක් කැසානෝ මෙඩර්නෝ හි 34000ක් බොවිසියෝ හි 11000ක් විකිරණයට හසු විය.

 

1979 ත්‍රී මයිල් දූපතේ පිපිරුම.

         1979 වසරේ මාර්තු 28 වන දින සිදු විම සිදු විය. ඇමරිකානු ඉතිහාසයේ විශාලතම වාණිජ න්‍යෂ්ටික බලාගාර පිපුරුම මෙය වේ. විකිරණශිලි ගෑස් සහ අයඩීන් විශාල ප්‍රමාණයක් පරිසරයට එක් විය. එක්ලක්ෂ පනස්දාහක් පමණ ජනයා වහාම ප්‍රදේශයෙන් ඉවත් කෙරුණු අතර සති තුනකට පමණ පසුව ප්‍රදේශය නැවත යථා තත්ත්වයට පත් විය.

 

1984 භොපාල් අනතුර

      මෙය 1984 දෙසැම්බර් 2 වන දා (රාත්‍රි කාලයේ ) ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි භෝපාල් නගරය ආශ්‍රීතව ගෑස් කාන්දුවක් නිසා ඇති විය. 2259 ක් සිදුවීම නිසා ක්ෂණිකව  මරණයට පත් විය.

imdfgages BHOPAL-GAS-TRAGEDY-1

      සිදුවීම මුල් කර ගෙන මරණයට පත් වුවන් ගේ ගණන පසුව 3787 ක් විය. සති දෙකකට පසුව මරණ සංඛ්‍යාව 8000ක් විය.  ලක්ෂ පහක් පමණ අන්ධ බව විකිරණ හා රසායන පිලිස්සීම් මෙන් ම තුවාල ද ඇති විය. ඒ අය අතරින් ලක්ෂ දෙකක් පමණ වයස අවුරුදු 15ට අඩු අය වන අතර ගැබිණියන් 3000ක් පමණ සිටි බව වාර්තා වේ. ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ පිහිටි රසායන කම්හලක ඇති වු ගෑස් කාන්දුව නිසා පිටතට ආ රසායනයන් වායු ගෝලත් සමඟ ප්‍රතික්‍රියා කරමින් විනාශය පැතිරවීය. සිද්ධියේ විපාක තවමත් දක්නට ලැබේ. විශාල මහජන උද්ඝෝෂණ පවා සිද්ධිය මුල් කරගෙන පසුව ඇති විණි.

 

1986 චර්නොබිල් අනතුර

        1986 අප්‍රේල් 26 යුක්රේනයේ සිදුවු මේ අනතුරින්  30 දෙනෙක් පමණ මිය ගිය අතර 2008 වන විට එම මිය ගිය සංඛ්‍යාව 64 දක්වා වැඩි වි  ඇත. සිද්ධිය නිසා මෑතක් වනතුරුම ප්‍රදේශය ජන ශුන්‍ය කලාපයක් ලෙස පැවතිනි. අතිවිශාල පිරිසක් පශ්චාත් පිඩාවට ලක් විය. සිද්ධිය මුල් කරගෙන පිළිකා තත්ත්ව  ඇති වු අය අදද සිටිති.

 

imaasfdsges i-e2a7f324b13ae36293e04a2119b58d06-chernobyl_hydroceph dad

 

                                         ***  ***  ***  ***  ***  ***  ***  ***  ***  ***  ***

        මේ ආදි වු සිද්ධි තමයි මුල් උනේ මිනිස්සු ආර්ථික වර්ධනය සංවර්ධනය කියලා සිතපු සිතිවිල්ල වෙනස් කරන්න. මේ සිදුවීම් අනුව ලෝකය පුරා මිනිස්සු හිතුවා ආර්ථික වර්ධනය උදෙසා කාර්මික වශයෙන් නැඹුරු වන එක මිනිස් ශරීරයට මෙන්ම පරිසරයටත් ඒ තරම් හොදක් නොවන බව. මේ නිසා මිනිස්සු හිතුවා පාරිසරික වශයෙන් හිතකාමී වෙලා තමන්ගේ අර්ථිකය වර්ධනය කරගෙන සංවර්ධනය වෙන ආකාරය පිළිබඳව. විශේෂයෙන් මිනිසුන් කතා කරා  මේ කෙටි කාලය තුළ කර ඇති විනාශයන් ගැන. වර්ධනයේ සිමා, අපේ පොදු අනාගතය වගේ පොත් වල  ඒ අය කතා කරලා තියෙන්නේ ඒ අය විසින් පරිසරයට කළ හානිය හා ඒ වෙනුවෙන් කළ යුතු දේවල්. අපේ පොදු අනාගතය තමයි ප්‍රථම වරට සංවර්ධනය ස්ථිර විය යුතුයි කියන දේ හෙළිදරව් කරන්නේ. සංවර්ධනය ස්ථිරසාර වන්නට නම් පරිසරය විසින් එය දරාගත යුතුවනවා. පරිසරය ප්‍රතික්ශේප කරන්නාවු සංවර්ධනයක් පවතිනනේ නැති නිසා පරිසරයට අනුගත වු සංවර්ධන ප්‍රතිපත්තියක් අවැසි බව ඔවුන් පෙන්වා දෙනවා. මේ සිදුවීම් ප්‍රධාන සිදු වීම් පමණයි. ලෝකය පුරා කාර්මිකකරණය කියන නවතාවය එක්ක දෙවැනි ලෝක යුද්ධය එක්ක මිනිස්සු හුඟාක් හිතුවා. සල්ලි බලය පස්සේ දුවලා හති වැටුණු මිනිස්සු එකතු වෙලා තමයි ස්ථිර සාර සංවර්ධන ප්‍රතිපත්තියක් විදිහට තිරසර සංවර්ධය/ ධරණිය සංවර්ණය කියන දේ ලෝකයේ කරලියට අරන් එන්නේ…

 

පසුව ලියමි;

     එහෙම අරන් ආවට මොකද ඒ අය ඒ නිති රිති පැනවුවේ සිරිත් විරිත් පිළිපදින්නට කිව්වේ සංවර්ධනය වෙත ගමන් කරමින් සිටින අයට. විනාශ කළ අය තවදුරටත් ඒ විනාශය නතර කළේ නෑ. කන්දක් විලි ලා වැදුව මි බෙට්ටක් වගේ අද තිරසර සංවර්ධනය කියන්නේ විලි ලෑ තරම් පලක් නුදුන් දෙයක් ය. මා මේ හුදෙක් හුවා දක්වන්නේ සිදු විම් කිහිපයක් ම පමණයි. ඒවා අනතුරු විතරයි. මිනිස්සු න්‍යෂ්ටික අත්හදා බැලීම් කරන්නේ මිනිසාට අනතුරුදායක නොවන නමුත් පරිසරයට අනතුරුදායක විදිහට.

     මේ සිදුවිම් නිසා මරනයට පත් ගණන හා පිඩාවට පත්  ජිවිත ගණන විශාලයි. එමෙන් ම මේ සිද්ධිවලට පරිබාහිර වු තවත් කුඩා සිද්ධි ඕනෑ තරම් තිබෙනවා. මුලින් ම කාර්මිකරණයෙන් පිඩාවට පත්වුනේ සංවේදි හිත් ඇති කලාකාරයෝ… ස්වාභාව සෞන්දර්ය ප්‍රිය කළ අයගේ කෑ ගැසිම් යුරෝපයේ සුප්‍රසිද්ධ සාහිත්‍යමය නිර්මාණ අතරේ ඕන තරම්. අන්තිමට ම කාර්මිකරණයෙන් බැටකෑවේ දුක් විඳලා විඳලා අත්වල කර ගැට ඇවිල්ලා ලේ දාඩිය හළපු දුප්පතුන්… වෙහෙසවන්නන්… මේ ආර්ථික පිරමිඩයේ පතුලේ ඉදන් බර දරන්නන්.  

 

එහෙනම් ඉක්මනින් ආයේ තවත් ලිපියකින් හමුවෙන්න බලාපොරාත්තුවෙන් මේ ලිපිය මං අවසන් කරනවා.   සුබ දවසක්!

10 comments:

  1. මේ අඩවියේ අපුර්වත්වය විස්තර කරන්න වචන මදි මට..

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි නලින් දිල්රුක්ෂ ඔබේ ප්‍රතිචාරයට. එය මට දිරියක්. ඉඩ ලද විටෙක මහපොළොවට නැවත් එන්න කියා ආරාධනා කරනවා

      Delete
  2. ඔබටත් අප හා එක්විය හැකියි.පිවිසෙන්න http://www.sinhapedia.com/

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ආරාධනාවට. ඒ වගේම ස්තුතියි මේ මහපොළොවට ආවටත්.

      Delete
  3. බොහොම වටින විස්තරයක් නොවැ.............
    හුඟ කාලෙකින් අලුත් ලිපියක් දැක්කෙ. ටිකක් වැඩිපුර ලියමු.
    මේ වෙනුවෙන් වෙන මහන්සියට බොහොමත් ම තුති.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි උදාර ධෛර්යමත් ප්‍රතිචාරයට. ඔව් ඉක්මනින් ඊලඟ ලිපියත් පල කරනවා. ඒක GIS තාක්ෂණය ගැන හැදින්වීමක් ගැන ලිපියක්.

      Delete
  4. It's nearly impossible to find educated people for this topic, however, you seem like you know what you're talking about!
    Thanks

    My page: swimming Suits :: www.iamstarter.nl
    ::

    ReplyDelete
  5. Everyone loves it when folks get together and share views.
    Great site, stick with it!

    my website - quest bars

    ReplyDelete
  6. It's actually very complicated in this full of activity life to listen news on TV, thus I simply
    use the web for that purpose, and take the most recent information.

    Here is my blog post quest bars

    ReplyDelete
  7. ගොඩාක් වටිනා ලිපි පෙලක්

    ReplyDelete

මේ බ්ලොග් ලිපි ගැන ඔබට හිතෙන දේ?

මහපොළොව ගැන දන්න අය ...