Mahaplawa Blog - A Geographical blog space


මහපොළොව මත සිටින අය

Tuesday, December 11, 2012

තරංග ඛාදනය හා නිධිසාදනය (වෙරළ ඛාදිත හා නිධි සාදිත භු රූප / රළ බුන් භූ රූප) .

  1 කොටස
 
                      පෘථිවි තලයෙන් ඉතා විශාල ප්‍රමාණයක් පවතින්නේ සාගරය ය. මේ විශාල සාගරික ප්‍රදේශයන් ගොඩබිම හා සම්බන්ධ වන සංක්‍රාන්ති කලාපයක් සේ හැදින්විය හැකි වෙරළ ප්‍රදේශයන් (coastal environment / costal zone ) ඉතා මනස්කාන්ත මෙන්ම සුන්දර ස්ථානද වේ.
 
                මුහුදු රළ ඉම නිරන්තරයෙන් චලන‍ය වේ. මේ  චලනයන් හට ගන්නේ කෙසේද?‍ මුහුදු වෙරළේ රළ හටගනු ලබන්නේ පෘථිවියේ භ්‍රමණය, උදම් චලන, සුළඟ, වර්ෂණය, වාෂ්පීභවනය, මුහුදු ජලයේ උෂ්ණත්වය ලවණතාවය, ගුරුත්වය, සමුද්‍රස්ථ භූමිකම්පා, ගොඩබිමින් සාගරයට ගලා එන ජලය ආදි හේතු / ක්‍රියාවලි රැසක් හේතු කරගෙනයි. මෙසේ ඇතිවන ක්‍රියාවලි උත්පාදනය කරනු ලබන ශක්තිය මඟින් නග්නිකරණ ක්‍රියාවට පණ දෙමින් භු රූප රැසක් නිර්මාණය කරනු ලබයි. පෘථිවියේ භෞතික ලක්ෂණ නම් කෘතියේදි ආචාරය ධනපාල මහතා පෙන්වා දෙන ආකාරයට (භෞතික භූගෝල විද්‍යා මුලධර්ම නම් එෆ්. ජේ මොන්ක්හවුස් මහතාගේ ග්‍රන්ථයේ 211 වැනි පිටුවේද මේ පිළිබඳව දක්වා ඇත) අත්ලාන්තික් සාගරය එහි වෙරළට ගිම්හානයේදි ඇති කරනු ලබන  සාමාන්‍ය පීඩනය අඩියකට රාත්තල් 600ක් පමණය. සිසිරයේදි මෙය තුන්ගුණයකින් වැඩි ය. එනම් සාමාන්‍ය පීඩනය අඩියකට රාත්තල් 2000 කට ආසන්න වේ. කුණාටු ඇති විටක මේ අගය අඩියකට රාත්තල් 6000ක් පමණ වන බව එම ග්‍රන්ථය (222 පිට) පෙන්වා දේ. මේ සා විශාල පීඩනයන් වසර දහස් ගණනක් තිස්සේ ඉවසන වෙරළ ඉම සුදුසු තැන්හි පසුබාමින් තවත් විට නැඟි සිටිමින් වෙරළ නිර්මාණය කර ඇත. තරංග ආශ්‍රීත බලපෑම වෙරළට පමණක් සීමා වේ.
 
         සාමාන්‍යයෙන් සාගරය සතු චලන වර්ග තුනක් ( මීට අමතරව තවත් ඒවා තිබෙනවා; උදා: සුනාමි, කුණාටු රළ ) භූ රූප නිර්මාණ ක්‍රියාවලිය සඳහා ප්‍රධාන වශයෙන්  දායක වෙනවා.
 
1.උදම් (tides)   
              උදම් යනුවෙන් හැදින්වෙන්නේ පෘථිවි උප ග්‍රහයා වන චන්ද්‍රයා හා සුර්යයාගේ එකාබද්ධ   ගුරුත්වාකර්ෂණය සහ පෘථිවි භ්‍රමණය  හේතුවෙන් ඇති වන ඒකාබද්ධ  කේන්ද්‍රාඅපසාරී චලනයේ ප්‍රථීපලයකි . මුලිකවම මෙයින්  පෘථීවි සාගර ජල මට්ටම ඉහළ හා පහළ බැසිමේ තත්ත්වයක්  මෙයින් නිර්මාණය කරනු ලැබේ. පෘථිවියේ දි සාමාන්‍යය තත්ත්වයක් යටතේ පැය 24 කුත් විනාඩි 51කාලය තුළ මුහුදු මට්ටම දෙවරක් ඉහළටත් දෙවරක් පහළටත් වෙනස් වේ. විශේෂයෙන් මුලිකවම සඳ හෙවත් චන්ද්‍රයා පෘථිවි සාගරයේ උදම් ඇති කරයි. ඊට හේතුව වන්නේ පෘථීවියට සමීපම ගුරුත්වාකර්ණයක් ඇති හා ඉන්  බලපෑමක් කළ හැකි ග්‍රහයා සඳ වීමත් එහි ගුරුත්වයට අනුව සදට මුහුණ පා සිටින පෘථිවි ප්‍රදේශ වල සාගර ජල මට්ටම චන්ද්‍ර ගුරුත්වයට අනුව ඊට ප්‍රතිචාර දැක්වීමත් ය.  (උදම් ගැන සිංහල විකිපීඩියාවේ ලිපියට) මෙය වෙරළ ඉමට කරනු ලබන බලෑපෑම කාලය හා අවකාශය අනුව වෙනස් වේ.
 
  2.සාගර ප්‍රවාහ 
         සාගරික ප්‍රවාහ කියන්නේ සාමාන්‍ය සාගරය තුළ නියත එක් දිශාවක් බලා ගලන දිය දහරා විශේෂයක්. හරියට  සාගරය තුළම ගලන ගංගා වගෙයි. මේවායෙන් සමහර ඒවාගේ ජලය සාමාන්‍ය ප්‍රමාණයට වඩා උෂ්ණත්වයෙන් යුතුයි. සමහර ඒවා ශීත යි. බොහෝවිට සමකය වගේ රත් වෙච්ච පැත්තකට ශිත දියවැල් ගලා එන එකත් ධ්‍රැවය වගේ ශීත පැති වලට උනුසුම් දියවැල් ගලා ගෙන යන එකත් තමයි ස්වභාවය. නමුත් ඍතු ගත දියවැල් තියෙනවා ඒවා ගෝලිය සුළං ප්‍රවාහයන් එක්ක ක්‍රියාත්මක වෙන්නේ.‍

3.තරංග (රළ)(waves)      
        අපේ කතාන්දරයට ඒ කියන්නේ මේ සාගරික භූ රූප ඇති විමේ සිද්ධියට වැඩි දුර බලපාන්නේ මේ රළ යි. සුළං නිසා උපදවා ගන්නා බලය නිසා උත්පාදනය කරගන්න ශක්තියකින් මේ රළ බලාත්මක වෙලා තමයි වෙරළ තුළ භූ රූප නිර්මාණය කරන්නේ.

         තරංග ඛාදනය ලෙසින් නම් ලද වුවද වෙරළ ලක්ෂණ සකස් කරනු ලබන්නේ තරංග / රළ පමණක්ම නොවේ. වෙරළ සකස් කිරීමට බලපානු ලබන සාධක රාශියකි.
සාගර තරංග හා ඒවායේ ස්වභවය
(සමහර ප්‍රදේශ වල සයුරු රළ රළුයි. සමහර තැනක එසේ නෑ. මේ රළු බව ඍතු ගතවත් වෙනස් වනවා.) 
වෙරළ නිර්මාණය වී ඇති පාෂාණ වල ස්වාභාවය.
(වෙරළ නිර්මාණය වන ප්‍රදේශ වල විවිධ වර්ගයේ පස් හා පාෂාන තිබිය හැකියි. )
ලෝක ගෝලය තුළ වෙරළ අයත්  වන සයුරු කලාපය.
(සමකය ආශ්‍රිත සාගර ගැඹුරුය, රළුය. ධ්‍රැවය ආශ්‍රීත සාගරය දිය මිදී පවති. දියවැල් නිසා ද වෙනස් බලපෑම් ඇති කරනු ලැබේ. විශේෂයෙන්ම උණුසුම් දියවැල් සීත ප්‍රදේශ වලට යාම නිසා ඒ ප්‍රදේශ වල උණුසුම් (සුළඟ උණුසුම් වෙන හංදා.උදා ගල්ෆ් ප්‍රවාහය නිසා බ්‍රිතාන්‍ය කාලගුණය වෙනස් වීම) තත්ත්වය වෙනස් වේ. ඒ නිසා ග්ලැසියර් දියවීම වේගවත් වී වෙරළ සකස් කිරීමට එය දායක වේ. )
සාගරික ජල මට්ටමේ ඇති වන වෙනස් කම්.
(උදම් ආදිය නිසා සාගරක ජල මට්ටම වෙනස් වේ. වැඩි වර්ෂාපතනයන්ට මුහුණ දීමට සිදුවන කලාප වල මෙන්ම ‍වෙරළ ආශ්‍රීත ද්‍රෝණි , හා කලපු වල තත්ත්වයද මීට අදාල වේ)
කොරල් හි පිහිටිම.
(කොරල් සාගර තරංග වල ශක්තිය බිඳ විසුරුවා දමනවා. එමෙන්ම කොරල් පසු කරගෙන වෙරළ වෙත තරංග එන විට ඒවා බොහො විට සන්සුන්. කොරල් නිසසල නොගැඹුරු වෙරළවල් නිර්මාණය කරනවා. මාලදිවයින් දුපත් පිහිටා ඇත්තේ කොරල් අතොල්ලක (කොරල් වලින් වටවි). එහි සාගරය සාමාන්‍යයෙන්  නොගැඹුරු බවක් ගන්නේ ඒ නිසායි. )
ග්ලැසියර් බලපෑම.
(ග්ලැසියර් දිය වී සාගරයට වැටෙන විට වෙරළේ පාෂාණ කොටස් කඩා දමනු ලැබිම නිසා බෙහෙවින් කඩතොළු වු ගැඹුරු වෙරළවල් නිර්මාණය වේ. මේවා ‘ෆියෝඩ වෙරළ’ යනුවෙන් ග්ලැසියර් ඛාදිත භු රූපයක් ලෙස හඳුනා ගැනේ.)
ගංගා ආදියේ බලපෑම.
(ගංගා ‍මුහුදට වැටෙන මෝය ආශ්‍රීතව නිර්මාණය වන ඩෙල්ටා ලක්ෂණ මෙන්ම අවසාදිත තැම්පත් වීම නිසා ඇති වන තත්ත්ව මෙන්ම රළ පහරට ප්‍රති පහරක් එල්ල කරමින් ගලන ගංගා ජලය ආදිය ඒ ආශ්‍රීත වෙරළට බලපෑම් කරනු ලැබේ.)
සුළං හි ප්‍රබල බව හා සුළං දිසාව.
(ගොලිය සුළං හමන රටාවක් ඇති අතර කොරියෝලිස් බලය, පෘථිවි භ්‍රමණය, ඍතු භේදය, සුර්ය පර්යටනය, දියවැල්, වායු ගෝලීය තත්ත්වයන්  වැනි දෑ ක්‍රියාත්මක වන විට සුළං හමන දිසාව, එහි වේගය ආදිය ‍වෙනස් වී වෙරළට කරනු ලබන බලපෑම වෙනස් වේ.)
වෙරළේ දේශගුණය
(දේශගුණය කියන්නේ හුඟාක් සාධක අයත් වෙන තේමාවක්නේ. වෙරළ සතු වන්නේ ඝර්ම කලාපික දේශගුණය සතුව ද එසෙත් නැතිනම් ධ්‍රැවිය දේශගුණයට ද  ඒ ප්‍රදේශ වල පවතින උෂ්ණත්වය, වර්ෂාපතනය,  වර්ෂාපතන මාධ්‍ය, වියළි කාන්තාර ඇසුරේ වෙරළ පිහිටීම  ආදි නෙයෙකුත් දහසක් කරුණු  අනුව වෙරළට බලපෑම් කරනවා )
මානුෂ ක්‍රියාකාරකම්.
(මේ ගැන මොනවාට ලියනවාද? …)



           යම් භූ රූපයක් ඛාදිත හො නිධි සාදිත කියලා වර්ග දෙකින් එකකට මුලිකවම අයිතියි. (නමුත් සමහර භූ රූප තියෙනවා ඒවා අයිති වෙන පැත්ත තිරණය වෙන්නේ පුද්ගලයන් පිළිගන්න දේ මතයි. මෙහෙමනේ දැන් මං විභේද කියන ලිපි වලදි මං කියලා තියනවා මතකද දන්නැ මේක උතික්ෂිප්තයකින් වගේම ගිලා බැසිමක් නිසාත් වෙන්න පුළුවන් කියලා. හැබැයි කෙනෙක්ට / විද්වතෙක්ට මේ මත දෙකම පෙන්නලා දෙන්න පුළුවන් වගේ ම ඒවගේ විවාදිත තැන් තමන්ගේ පිළිගැනිම අනුව ඉදිරිපත් කරන්නත් පුළුවන්).
  

වෙරළ ඛාදනයේ ත්‍රිත්ව ක්‍රියාවලිය:
වෙරළ ඛාදනයත් ආකාර තුනකින් යුක්තයි. ඒවා ඛාදනය , පරිවහනය  , නිධි සාදනය වශයෙන් වෙනවා.
 
ඛාදනය
ඛාදනයත් ආකාර තුනකින් වෙන්නට පුළුවන්. 
සංඝර්ෂණය ( corrosion) (සාගර තරංග වෙරළේ  ගැටීම නිසා සිදුවන සීරී යෑම. මේ නිසා වෙරළ  ඛාදනය වෙන්නේ ටිකක් හිමින්. නමුත් සමහර කලාප වල සමුද්‍ර ඛාදනය ඉහළ බව ඔබ දන්නවා. ඒක ප්‍රාදේශිය ගති ගුණත් සමඟයි ක්‍රියාත්මක වෙන්නේ)


උල්ලේඛය හෙවත් ඝර්ෂණය (abrasion or attrition)


ද්‍රාවණය හෙවත් ද්‍රව ක්‍රියාව (hydraulic action) (වෙරළේ පාෂාණ කොටස් වලට තරංග වැදීම නිසාම සිදුවන ඛාදනයයි.)

  






වෙරළ ඛාදනය නිසා ඇති වන ඛාදිත භූ රූප:

    වෙරළ ඛාදනය නිසා ඇති වන භූ රූප කිහිපයක්  තියෙනවා. ඒවා හරි ලස්සනයි. වෙරළ කොහොමත් ලස්සනයි නේ. ලස්සන වෙරළේ තියෙන භූ රූපත් ඒ වගේ තමයි. 
මුහුදු දඹය. ( sea cliff)
මුහුදු ගුහා .(sea cave)
වා සිදුර. (උම්මාන / හුම්මාන) (spouting horn)
ආරුක්කුව.(arch)
මුහුදු කුළ. (sea stack)
බොක්ක.(bay)


මුහුදු දඹය (sea cliff)

          මෙය නිර්මාණය වන්නේ සාමාන්‍ය ඛාදනය නිසායි. වෙරළාසන්න සාගරයෙහි එක්වර ම සිරස්ව නැ‍ඟෙන බෑවුම් කෝණය ඉතාම වැඩි භූ රූපයකි.


වෙරළ දිගින් දිගටම ඛාදනය වීම නිසා මතුවන හො වෙරළේ පතුළ හෑරීම නිසා ප්‍රතිරෝධක පාෂාණයන් හෝ ස්වභාවිකවම වෙරළේ පිහිටන ප්‍රතිරෝධක පාෂාණ ප්‍රති-ඛාදනයට ලක් වීම  නිසාත් මේවා නිර්මාණය විය හැකියි.
එමෙන්ම පාෂාණයේ ඇති විභේද රේඛාවක් නිසා ඇති වන භින්න තීරු  උනත් හේතු වෙන්න පුළුවන්.
දඹය මුහුදු ආරුක්කුවක් කඩා වැටිමෙන්ද සැදේ. ඒ වෙන්නේ කොහොමද කියලා පහල පිංතුරේ තියෙනවා. ගත්ත තැන මට මතක නෑ.


mar02-4

            එමෙන්ම දඹයක් කියන්නේ  දිගු කාලින නිර්මාණ ක්‍රියාවලියක ප්‍රථිපලයක් ලෙසින් හඳුන්වා දෙන්නත් පුළුවන්.  මුලින් ම පවතින්නේ යන්තමින් ඇති බෑවුමක් සහිත වෙරළක්.  මේ වෙරළේ නිතර දෙවේලේ රළ වැදිම හේතුවෙන් ‘කට්ටයක්’ එහෙමත් නැත්නම් ‘කත්තුවක්’ නිර්මාණය වනවා. ක්‍රම ක්‍රමයෙන් මේ කට්ටය වර්ධනය වීම පසු කාලීනව දඹයක නිර්මාණ ක්‍රියාවලිය බවට පත්වනවා. මේවා රළඹුන් දඹ ලෙසින් ද හැදින්වේ.

     දඹ කඩා වැටීම පිළිබඳ සටහනක් භෞතික භූ ගෝල විද්‍යා මුලධර්ම; 214 පිටුවේ දක්වා ඇත. එයට අනුව මැටි හෝ එවැනි පාෂාණ මත හුණූ ස්ථර පිහිටීම නිසා එවිට ඒ ස්ථර පහසුවෙන් ලිස්සා යා හැකි නිසා මෙසේ දඹ කඩා වැටේ. එමෙන් ම තෘතියික මැටිවලින් හෝ වැලිගල් වලින් සෑදුනු ප්‍රපාතාකාර දඹ පහසුවෙන් ඛාදනය වන හෙයින් ඒවා කොන්ක්‍රීට් බැමි  වැනි දේ යොදා ආරක්ෂා කිරීමට සිදුව ඇත. එහෙත් තෙත් දිනවල මේවා ගරා වැටීම සිදු වේ. විශේෂයෙන්ම දඹය සමන්විත වන පාෂාණ තට්ටු  මුහුද දෙසට ශිඝ්‍ර අවපාත වන විටත් දඹය ඉක්මනින් විනාශ විය හැක. ( ඒ කියන්නේ පාෂාණ තට්ටු තියෙන්නේ ලේයර් කේක් එකක ලේයර් (තට්ටු) වගේ එක මත එක නේ. දැන් මේවාගෙන් හැදෙන දඹය නිකං මුහුද පැත්තට බර වෙලා (මේසයක පැත්තක් ඉස්සුවොත් උස්සපු පැත්තට සාපේක්ෂව අනෙක් පැත්ත බිමට බර වෙලා තියෙන්නේ ඒ වගේ) තියෙනවා. එහෙම උනාම වතුර එහෙම කාන්දු උනාම මේ ලේයර් වෙනස් ප්‍රමාණ වලින් වතුර උරා ගෙන එකක් දියාරු වෙලා එකක් ටිකක් ඝනවට තිබ්බොත් ඒ ලේයර් ලිස්සලා යනවා.)

  උදාහරණ: ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය වරායේ දඔ ලක්ෂණයක් නැරඹිය හැක.

472430795_597a1ca8aa

       දුකේ බෑ.. ත්‍රිකුණාමලේ දඹය ගැන හොද පිංතුරයක් හොයා ගන්න බැරි උනත් මේක ටිකක් හරි සෑහෙනවා අදහස පැහැදිලි වෙන්න කියලා හිතලා දානවා. මෙහෙම හරි තියෙන   මේ වගේ පිංතුරයක්  හරි හොයා ගන්න පුළුවන් උනේ http://www.skyscrapercity.com/showthread.php?t=977738  කියන තැනින්

මේ තියෙන්නේ දඔ ටිකක්. මේවා ලෝකේ සුන්දරම දඔ වලින් කිහිපයක්.

1. Cliffs of Moher - ලෝකයේ ඉතාම සිත් ගන්නා සුළු වෙරළක් විදිහටයි මෙය පුසිද්ධ. අයර්ලන්තය (අයර්ලන්තය තියෙන්නේ බ්‍රිතාන්‍ය දුපත් අසල ම තියෙන අනෙක් දුපත. ඩබ්ලින් කියන්නේ එහි අගනුවරයි. සමස්ත දුපතෙන්  උතුරු අයර්ලන්තය නමින් කොටසක් බ්‍රිතාන්‍යට අයත් වෙලා තියෙනවා. ඒ කොටසේ අග නුවර වෙන්නේ බෙල්ෆාස්ට්. අයර්ලන්ත ගරිල්ලාවන් නිසාත් මේ රට කුප්‍රකටයි.) කියන රටේ තමයි මේ දඹය තියෙන්නේ. මීටර 120 ක් පමණ උසින් යුතුයි. අයර්ලන්තයේ බටහිර වෙරලේ තමයි පිහිටා තියෙන්නේ. දැවැන්ත ප්‍රපාතාකාර ස්වභාවය නිසා මේ දඹය බොහෝ සංචාරකයින්ගේ ගමනාන්තයක්ව තිබෙනවා.

 424273680_fa44e6c742_z
http://www.touropia.com/most-dramatic-sea-cliffs-in-the-world/



2.Kalaupapa Cliffs - කියන්නේ පැසිපික් සාගරේ පිහිටි  හවායි දුපත (සුනාමි අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය හා මොනොලෝවආ කියන ගිනි කන්ද නිසාත් හවායි ප්‍රසිද්ධ දුපතක්. අයිති ඇමරිකා එක්සත් ජනපදයටයි) අසල පිහිටි ඊටම අයත් දුපතක් වන මෙලොක්කායි (2003 ගුණසේන- ෆිලිප් පොතේ නම් 40 පිටුව 16H කොටුව) කියන දුපතේ පිහිටි දඔයක්.  මේකේ තියෙන විශේෂත්වය තමයි මේක ලෝකේ තියෙන උසම මුහුදු දඹය. (විකිපීඩියාවේ ලිපිය බලන්න කැමති කෙනෙක් ගිහින් බලන්න) මේකේ උස ගැන නම් කතා දෙකක් අහන්න ලැබෙනවා. විකිපීඩියා කියනවා මීටර 610 (අඩි 2000) ලු.  Touropia හා Webecoist කියන වෙබ් පිටුවල කියනවා  මීටර 1010 (අඩි 3315) ක් ලු. මේ දඹය තියෙනවා කියලා කියනවා ජුරාසික් පාර්ක් lll චිත්‍රපටයේ පසුබිමක් ලෙස.(මං ඒක බලලා නෑ.) ඒ වගේම මෙය පරණ යමහල් කල්දේරමක කොටසක්.

2534929870_68598abbde_z
http://www.touropia.com/most-dramatic-sea-cliffs-in-the-world/



3. Santorini - කියන්නේ ග්‍රීසිය සතු දූපතක්. මෙහි පිහිටි මේ දඹය මීටර 400ක් වත් උසින් යුතුයි.  යුරොපයේ හොඳින්ම හිරු එළිය ලැබෙන ප්‍රදේශයක් නිසාත් මෙහි පෙනුම නිසාත් ඉතාම සුප්‍රසිද්ධයි. Fira කියන්නේ මෙහි නගරයයි. යමහල් නිසා සෑදුනක්. යමහල් පාෂාණ වන pumice, යමහල් අළු, ඝන ලාවා වලින් මෙම දඹය සෑදි තිබෙනවා. පසුගිය අවුරුදු දෙලක්ෂයක් ඇතුලත මේ යමහල 12 වතාවක් වත් විදාරණය වී ඇතැයි පැවසෙනවා. ලෝකඩ යුගයේ ජනාවාස මෙහි පැවති බවත් ඇතැම්හු පිළිගන්නා ආකාරයට 'නැතිවු මහද්වීපය' යැයි ජනප්‍රවාදයේ පැවසෙන 'ඇට්ලාන්ටික්' මීට සම්බන්ධ බවත් යුරෝපින් විස්වාස කරනවා.

1205380566_ddab2f0d00_z 
http://www.touropia.com/most-dramatic-sea-cliffs-in-the-world/




4.Acantilados de Los Gigantes (“Cliffs of the Giants”) - ස්පාඤ්ඤයේ පිහිටා ඇති දඹයක්. ඍජු බෑවුමක් සහිත මෙහි සාමාන්‍ය උස මීටර 500 ක් පමණ වනවා. මෙහි ඉතා කුඩා බොක්කක් සහ වරායක් පිහිටා තිබෙන නිසාම සංචාරකයින් සදහා වටපිටාව සකස්ව පවතිනවා.

532251414_e2a8f4065a_z
http://www.touropia.com/most-dramatic-sea-cliffs-in-the-world/





5. Cabo Girao - කියන්නේ පෘතුගාලයට අයත් දුපතක් වන Madeira කියන දුපතේ පිහිටි දඹයක්. මීටර 570 ක් පමණ උසින් යුක්ත වනවා. මෙය යුරෝපයට අයත් උසම දඔ වලින් එකක් බවද කියවෙනවා. ඉතාම ඍජුව පිහිටන බෑවුම නිසා එය වඩාත් ආකර්ෂණියයි. සමීපයට යාමට බොහො කලක් භාවිතා වුයේ බොට්ටු පමණි. 

2892853299_f59ae388ed_z
http://www.touropia.com/most-dramatic-sea-cliffs-in-the-world/



6.Bunda Cliffs - කියන්නේ ඕස්‍‍ට්‍රේලියාවේ පිහිටි නල්ලබාර් නැතහොත් නුලාබාර් කියන තැන්නට හා මහා ඕස්‍‍ට්‍රේලියානු බොක්ක ආශ්‍රීතව පිහිටනවා. මෙය මීටර 60   ත් 120 ත් අතර  (අඩි නම් 200 ත් 400 ත් අතර) උසකින් යුක්තයි. කිලෝමීටර් 100 ක් පමණ දිගින් යුතු බවත් සදහන් වෙනවා.

2747247239_8a5cf3e685_z
http://www.touropia.com/most-dramatic-sea-cliffs-in-the-world/




7. Látrabjarg - කියන්නේ කිලෝ මීටර් 14ක් දිග මීටර් 440 ක් උස (අඩි 1443) අයිස්ලන්තයේ පිහිටි දැවැන්ත හා විශාල දඹයක්.

4684906402_9fa548bee9_z
http://www.touropia.com/most-dramatic-sea-cliffs-in-the-world/




8.White Cliffs of Dover කියනනේ එංගලන්තයේ පිහිටි  මිටර 107 ක් පමණ උසැති දඹයක්. රටහුණු සංයුතිය නිසා සුදු පැහැයෙන් දිස් වනවා. කළු පැහැයෙන් පෙනෙන්නේ black flint ද තැනින් තැන දක්නට ලැබෙන නිසායි . මෙය ඩෝවර් කියන ‍වරාය නැගෙනහිර හා බටහිර ලෙසට දෙකට බෙදමින් ව්‍යාප්ත වී තිබෙනවා. සිතියමක් අරන් බලන්න  ඉංග්‍රිසි ඕඩයට ඉතාම ආසන්නව ඩොවර් සමුද්‍ර සන්ධිය පිහිටා තිබෙනවා.(ගුණසේන- ෆිලිප් 2003 එකේ නම් 7 පිටුව 7F කොටුවේ) මේක ඉතාම ප්‍රසිද්ධ දඹයක් නිසාම එංලන්තයේ සංකේතයක් (As an iconic symbol of England) ලෙසත් භාවිතා වන්නක්.

 4930390553_436a346bbb_z
http://www.touropia.com/most-dramatic-sea-cliffs-in-the-world/


Amazing_Cliffs_2a


Amazing_2Cliffs_2b



9. Paracas Sea Cliffs  - කියන්නේ පිරූ කියන කඳු බහුල රාජ්‍යයේ දක්ෂිණ කොටසේ දකින්න පුළුවන් දඹයක්. ජාතික රක්ෂිතයක් විදිහට ආරක්ෂා කරනවා  එයාලා මේ ප්‍රදේශය. වන සතුන් හා වෙරළවල් ආශ්‍රිත කුරුල්ලන්ගේ නිජ බිමක්.

paracas_sea_cliffs
http://www.touropia.com/most-dramatic-sea-cliffs-in-the-world/



10. Etretat -  කියන්නේ ප්‍රංශයේ පිහිටි දඹයක්. මේ අසල ආරුක්කුවකුත් තියෙනවා වගේම මේ අසලම  වෙරළ ආසන්න  කුඩා ගම්මානයකුත් තියෙනවා මේ නමින්ම.

127942740_04b36f8a5e_z
http://www.touropia.com/most-dramatic-sea-cliffs-in-the-world/





මුහුදු ගුහා(කන්තුව).(sea cave)

            මුහුදු   ගුහාවක් නිර්මාණය වන්නේ වෙරළ ආශ්‍රීතව ප්‍රතිරෝධක පාෂාණයක් ඇති විටය. මේ පාෂාණයට නිරන්තරයෙන් රළ වැදි බිඳිම හේතුවෙන් ඛාදනය වීම ඇරඹේ. මෙසේ කලක් ඛාදනය වන විට ගුහාවක්  ආකාරයට සාගර ජල මට්ටටමට අනුව ඛාදනය වීම දැකිය හැක. මෙම ගුහාවල වහළ කඩා වැටීම නිසා ඒවා ප්‍රමාණයෙන් හා උසින් වැඩි වේ.
         වා සිදුරක් තව දුරටත් වර්ධනය වීම නිසාද මුහුදු ගුහාවක් සෑදේ. වඩදිය බාදිය ඇති වීමේ ප්‍රබලතාවය අනුව මෙම ගුහා හොඳින් නිර්මාණය වේ. එමෙන්ම සාගර ජල මට්ටම අඩු වු විට (බාදිය ඇති විට ) එවන් ගුහා වලට ඇතුළු විමටත් හැක.

65 

 
     මුහුදු ගුහාවක සිට මුහුද පෙනෙන ආකාරය. ගුහාවේ පියස්ස ඉතා හොදින් වර්ධනය වී තිබෙනු දැක ගත හැක.

Looking_through_the_sea_cave_entrance

    


වා සිදුර (උම්මාන / හුම්මාන/ ග්ලුප්)(spouting horn)

           මේ භූ රෑපය ඉතාම සුන්දර වුත් විරල වුත් එකක්. වෙරළ ආසන්න ප්‍රතිරොධක පාෂාණයක ඉංග්‍රිසි හොඩියේ ‘L’ අකුරක හැඩයේ සිදුරක් සැදීම නිසා මේ වැන්නක් නිර්මාණය වනවා. ඒමෙන්ම මුහුදු ගුහාවක් නිර්මාණය වී ඊට පසුව තමයි මෙය සැදෙන්නේ. නමුත් සෑම මුහුදු ගුහාවක්ම වාසිදුරක් සාදන්නේ නෑ.
        මේ වගේ සිදුරකට වතුර පහරක් වේගයෙන් වැදුණහම එය වතුර උඩට වීසි කරන්නේ පීඩනය හා වේගය නිසායි. මේ භූ රූපය පැහැදිලි කරන්න පුළුවන් තවත් උදාහරණයක් තමයි ‘ලී කුඩු ලිප’. කවදා හරි එකක් හදලා පත්තු කරපු කෙනෙක් ඉන්නවා නම් එයාට පුළුවන් ඒ ඇසුරෙන් මේක තේරුම් ගන්න. ලි  කුඩු ලිපේ ගින්දර දාන්නේ අන්න එතනට තමයි  මේ  කියන වා-සිදුරේ රළ පහර වදින්නේ. හුම්මානේ වේගයෙන් රළ පිටතට එන්නේ ලිපේ ගින්දර එන තාලෙටම තමා.


54

        නිර්මාණ ක්‍රියාවලියේදි මෙය නිර්මාණය වීමට ඉතා දිගු කාලයක් ගත  වෙනවා. එසේම දිනපතා ම වන ඛාදනය නිසා මෙය බිඳ වැටෙන්නත් පුළුවන් ඉක්මනින්ම .  අනෙක් එක ‘L’ ගන්නා මේ සිදුරේ පාදස්තලය තවදුරටත් ඛාදනය වී ගුහාව කොටස තවත් ඇතුළටම ඛාදනය උනොත් සිදුරටත් එහා ගුහාවේ ඇතුළට රළ වදින නිසා හුම්මානයේ උඩින්  ජලය විසිරීම නැවතීමට හො අඩු වීමට හැකියි. නැතිනම් කල්යත්ම මෙහි වා සිදුර විශාල වී ගුහා පියස්ස කඩා වැටීම නිසා විනාශ වේ. එවිට ඒවා මුහුදු දඹයක් ලෙස ගොඩ බිම දෙසට පසු බසින බව දැකිය හැක.

උදාහරණ : මෙවැනි හුම්මානයක් ලංකාවේ දකුණු පලාතේ කුඩා වැල්ල  ප්‍රදේශයේ ඇත. තවත් හුම්මාන  ලෝකයේ  විවිධ තැන් වල තිබේ.  ඒ අතර ඔස්ට්‍රේලියාවෙ නිව් සවුත් වෙල්ස් වල ඇති හුම්මානයත් තිබේ.

hummanaya 


ආරුක්කුව (arch)
           ඉතාම ඉක්මනින් විනාශ වන දුර්ලභ භු රූපයකි. (මෙය කාන්තාර ප්‍රදේශ වල සුළං ඛාදිත භූ රූපයක් ලෙසින්ද දැකිය හැක.) තුඩුවක් පැත්තෙන් ඛාදනය වීම නිසා මෙය සෑදේ. නිර්මාණය වීමට දිගු කලක් ගත වන අතර ප්‍රතිරෝධක පාෂාණයක් මැදිව පවතින දුර්වල පාෂාණ කොටස් නිසා බොහෝ විට සෑදේ.

cabo-san-lucas-mexico-sea-la2ndscapes-600x450
                   
    මේ පිංතුරේ ගත්තේ http://globeattractions.com/cabo-san-lucas-mexico-sea-landscapes/ කියන තැනින්. බලන්න ඒකේ තියෙනවා ආර්ච් එකක්.. ඒ වගේම කලින් තිබිච්ච ආර්ච් කැඩිලා ගිහින් මුහුදු කුළු නිර්මාණය වෙලාත් තියෙනවා..මේකේ පිහිටිම නම් මෙක්සිකානු මුහුදේ කියලා තමා තියෙන්නේ. කොහොම උනත් සමහර වෙලාවල් තියෙවානේ ටිකක් වෙනස් විදිහට සිද්ධ වෙන. ඒ වගේ එකක් තමයි පහළ ඡායා රෑපයෙන් පෙන්වන්නේ. මේ  ජී+ එකේ දැකපු ඡායාරෑපයක්.ලින්ක් එක හොයා ගත්ත ගමන් මං දාන්නම් ගත්ත තැන.

MH6C6916JPG
                   
        එකේ අමුත්ත පෙන්නැති අයටයි මේ ලියන්නේ. බලන්න ආර්ච් එක ඉතුරු කරලා අනික් ටික ගෙවිලා ගිහින් තියෙන හැටි. ඒ කියන්නේ ආර්ච් එකට කලින් ඒක නිර්මාණය කරන්න අදාල වෙච්ච පාෂාණ කුට්ටිය තමා ගෙවිලා ගිහින් තියෙන්නේ. ඒක හංදා ආර්ච් එක විතරක් වෙරටළ තනි වෙලා. බලන්න උඩ තිබ්බ පිංතූරේ හරි එහෙම නැත්නම් ආර්ච් කියලා සර්ච් කරද්දි ලැබෙන පිංතුර වලිදි උනත් ආර්ච් එකක් තියෙන්නේ ලොකුම ලොකු පාෂාන කුට්ටියකට සම්බන්ධ වෙලා නේ. දැන් මේක එහෙම නෑ. මේක තවදුරත් බිඳලා ආර්ච් එක බිදිලා ගිහාම මුහුදු කුළු දෙකක් ම නිර්මාණය වෙනවා.

Heart-Sea-Arch-Portugal

       මේ තියෙන්නේ පෘතුගාලයේ (අපිව යටත් කරගත්ත පෘතුගීසින් ගේ රට. අගනුවර ලිස්බන්. ස්පාඤ්ඤයට ත් අත්ලාන්තික් සාගරයටත් මැදිව පිහිටනවා.) 'හා(ර්)ට් සී ආර්ච්' (Heart Sea Arch) කියන ආර්ච් එක. මේකේ මේ දර්ශනයේ පවා පෙනෙන හදවත් හැඩය නිසා ආකර්ෂණිය තැනක් වෙලා තියෙනවා.




මුහුදු කුළ (sea stack)
       
    ආරුක්කුවක් කඩා වැටීම  නිසා ආරුක්කුව නිර්මාණය කළ තුඩුවේ ඉදිරිපස කොටස කුළක් ලෙස වෙරළේ (සාගරයේ) ඇති වේ.  මෙයද සාගරයට මැදිව; ගොඩබිමෙන් දුරස්ථ වීම / හුදකලා වීම හේතුවෙන් විනාශයට පත් වේ.

540920_501037849921389_880446652_n
               
     මේ ‘මාත්‍රං’ කියලා දෙමළ චිත්‍රපටයක ගීතමය ජවනිකාවක පසුබිම. ගත්තේ http://www.filmapia.com/published/scenes/naani-koni-song-i කියන ලිපිනයෙන්. බලන්න ඒ දෙන්නා හිටන් ඉන්නේ මොකක් උඩද කියලා. මේ ලස්සන මුහුදු කුළ තියෙන්නේ නොර්වේ (අප රටේ  සාම කතාවලදි ප්‍රසිද්ධ උන රට) කියලායි මේ ගැන හොයද්දි හම්බ උනේ. 
           මේ රූපේ තියෙන කුළ විනාශ යන හැටි පේනවාද? මං රවුම් කරලා ඊ හිස යොමු කරලා තියෙන්නේ ඔබේ අවධානය යොමු විය යුතු තැනයි.

dieudonne-patrick-yesnaby-castle-sea-stack-rock-eroded-by-the-sea-mainland-orkney-i2slands-scotland-uk


මේ තියෙන්නේ ලෝකේ තියෙන සුන්දරම මුහුදු කුළු කිහිපයක්.

1 The Twelve Apostles – මේක ඕස්ට්‍රේලියාවේ පිහිටි කුළු සමුහයක්. මෙහි කුළු 8 ක්පමණ ඇති අතර ඒවායේ සාමාන්‍ය උස මීටර් 50 ක් පමණ වනවා. 

65419352_7ddd314a3c_z
http://www.touropia.com/spectacular-sea-stacks/





2. Old Man of Hoy – එක්සත් රාජධානිය නැත්නම් මහා බ්‍රිතාන්‍යයේ ස්කොට්ලන්තයට අයත්ව පිහිටි මෙය මිටර් 137 ක් උසය. වසර 400 ක් පමණ පැරණි කුළුනක් වගේම ඉක්මනින් කඩා වැටේ යැයි අපේක්ෂිතයි.

1652275_19b616cc61_z
http://www.touropia.com/spectacular-sea-stacks/





3. Risin og Kellingin – මෙය පිහිටලා තියෙන්නේ නම් එංගලන්තයත් අයිස්ලන්තයත් අතර මැද්දේ පිහිටි Faroe කියන දූපතේ. මේ කුළු දෙකට නම් තබා ඇත්තේ යෝධයා සහ මායාකාරිය යන අරුත ඇතිවයි. භුමිය දෙසින් සිටින මායාකාරිය නම් කුළ (ආර්ච් එකක් සහිත) මිටර් 68 ක් ද ඊට එහායින් පිහිටි යෝධයා නම් කුළ මීටර් 71 ක් ද වනවා. මායාකාරිය මීලඟ දශක කිහිපය තුළ දී කඩා වැටේ යැයි අපේක්ෂා කරනවා.

2584235266_ea56376314_z
http://www.touropia.com/spectacular-sea-stacks/


4. Ko Tapu – තායිලන්තයේ පිහිටි මෙය එහි Phang Nga නම් බොක්කේ පිහිටා ඇති අතර මීටර 20ක් උසය. හිංදි චිත්‍රපට ගණනාවකටත් 1974  හා 1997 බිහිවු ජේම්ස් බොන්ඩ් චිත්‍රපට වලටත් පසුබිම් වි තිබෙනවා.

431098835_f25bc2ba76_z
http://www.touropia.com/spectacular-sea-stacks/



5.Haystack Rock  - මිටර 72 ක් උසැති මෙය ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටා ඇත. මුහුදු ලිහිණියන් ආදි කුරුල්ලන්ගේ තිප්පලකි.

2322966666_d1325e04f9_z
http://www.touropia.com/spectacular-sea-stacks/





6. Bako Sea Stack  - මෙය පිහිටා ඇත්තේ මැලේසියාවේ ය. (මැලේසියාව ඇත්තේ ලංකාවට එහා පැත්තෙනි. එනම් නැගෙනහිරිනි.) මැලේසියාවට අයත් ප්‍රධාන භූ ස්කන්ධය ඇරුණු කොට ඊට අයත් වන සරවැක් දුපතේ බාකෝ උද්‍යානය සතු මෙය වසර මිලියන ගණනක් තිස්සේ ඛාදනය වෙමින් නිර්මාණය වු බැව් කියවේ. වඳුරන්ගෙත් කුරුල්ලන්ගෙත් නවාතැනකි.

3492879220_bb069158e0_z
http://www.touropia.com/spectacular-sea-stacks/



7. Kicker Rock (also called the Sleeping Lion, or León Dormido)  – මෙය පිහිටලා තියෙන්නේ ඉක්වදෝරයේ ( මේ රට තියෙන්නේ දකුණු ඇමරිකානු මහද්වීපයේ කොලොම්බියාව හා පේරු කියන රටවල් දෙකටත් පැසිෆික් සාගරයටත් යාබදවයි. කිටෝ එහි අග නගරයයි). ලාවා කේතුවක් ලෙස තිබි පසුව විභේදනයක් නිසා කුළු යුගයලයක් ලෙස දකින්නට පුළුවන්.

3413587532_3ae99b38ca_z
http://www.touropia.com/spectacular-sea-stacks/



8. Sail Rock - මෙය පිහිටා ඇත්තේ රුසියාවේ යි. රැසියාවේ කිව්වට මේක තියෙන්නේ අභ්‍යයන්තර ලවණ විලක් ලෙස හඳුන්වන කළු මුහුදෙයි. (කළු මුහුද තියෙන්නේ රැසියාව, යුක්රේනය, මෝල්දාවියාව, රුටම්නියාව, බල්ගේරියාව, තුර්කිය, ජෝර්ජියාව කියන රටවල් ගොන්න මැද්දේ.) මීටර් 25 ක් උසින් හා මීටර් 20 ක් දිගින් යුතුය. 

sail_rock
http://www.touropia.com/spectacular-sea-stacks/



9. Lange Anna - මෙය පිහිටා ඇත්තේ ජර්මනිය (හිට්ලර් නිසා ඉතාම ප්‍රසිද්ධියට පත් රට) ට අයත් Heligoland කියන දුපතේයි. 1868  දී මුහුදු ආරුක්කුවක් කැඩිම නිසා මෙ නිර්මාණය වී තිබෙනවා. මීටර 47 ක් උසය.

3062180344_fe513f614a_z
http://www.touropia.com/spectacular-sea-stacks/





10. Old Harry Rocks -  මෙය පිහිටා තිබෙන්නේ එක්සත් රාජධානියේ.
1295357342_cc0bea3e68_z
http://www.touropia.com/spectacular-sea-stacks/


         මේක නං මං දන්නෑ… මොන ගොඩට දාන්නද කියලා මේකට අන්තර්ජාලේ දාලා තියෙන්නේ මුහුදු කුලක් විදිහට. ඇත්තටම මුහුදු කලක් වෙන්නත් පුළුවන්. හැබැයි එහෙම උනත් ඒක විශේෂයි. මොකද දන්නවාද… දන්නේ නෑ… එහෙනම් බලන්න කෝ… මේක මැද්දේ හිලක් නේ දෙයියනේ… මේ කියන්නාවු සිදුර හැදුවේ ස්වභාව ධර්මයා ද නැත්නම් මිනිස්සු ද කියන්න මං දන්නේ නෑ. නමුත් මං හිතන්නේ මේක ස්වභාවිකයි. මොකද ජාතික උද්‍යානයක මේක පිහිටලා තියෙන්නේ . මුහුදු කුලක මිනිස්සු හාරපු සිදුරක් බලන්න කට්ටියට පිස්සු නෑනේ.  විකාර වලට ටිකක් ප්‍රසිද්ධ රටක් වෙච්ච ඇමරිකවේ වොෂිංටන් කියන පලාතේ මේක තියෙනවාලු. ඔන්න මං ගත්ත තැන ලිපිනයත් ලියනවා යටින්. බලන්න ඕනා අය දැක බලා ගන්න යන්න.

93812196102005_128126102005136-00039
http://content.lib.washington.edu/cdm4/item_viewer.php?CISOROOT=/nps&CISOPTR=1486


මේ ඒ වගේ තවත් තැනක්
2012-05-06-14.15.17




සේරමත් බලලා මේ පිංතුරෙත් බලලා මං හිතනවා මේක මුහුදු ආරුක්කුවට එක් වර්ධන අවස්ථාවක් කියලා.
 11154724_0964c88a




බොක්ක (bay)
            දිගු කාලයක් තිස්සේ භූමිය ඛාදනය වීම නිසා භූමිය / ගොඩබිම දෙස කා වැදුණු නැතහොත් හෑරී ගිය වෙරළ ලක්ෂණයක් වේ. බොක්කක් එහි ගැඹුර නිසා වෙනස් වේ. ස්වාභාවිකවම සකස් වන   ගැඹුරු බොකු ලෝකයේ සුප්‍රසිද්ධ එමෙන්ම ආරක්ෂිත වටිනා වරායන් වේ.
නිදසුන්: ලංකාවේ ත්‍රිකුණාමලය, ආරුගම් බොක්ක, ඉන්දියානු සාගරයේ බෙංගාල බොක්ක, ඒඩන් බොක්ක, අරාබි බොක්ක කියන බොකු අපිට ළඟන් තියෙන බොකු වලින් කිහිපයක් පමණි.
බොකු කියන්නේ අපට දකින්න නැති අමුතු භූ රූපයක් නොවෙන හංදා ලෝකේ පුරා තියෙන බොකු ගැන මං කියන්න යන්නේ නෑ. එත් මෙතන තියෙනවා ලු ලෝකේ ලස්සනම බොකු 10.http://www.touropia.com/beautiful-bays-in-the-world/  

Trincomalee

(මේ තියෙන්නෙ ත්‍රීකුණාමලේ බොක්කේ සිතියමක් කියලා ලියන්නේ ඕං මුකුත්ම දන්නෑ කියන අයටයි, හය හතර නොදන්න පොඩි උන්ටයි.) මේ සිතියමේ බලන්න කට ඇරිලා තියෙන්නේ එක පැත්තකින් විතරනේ. අනික් පැති තුනෙන්ම වටේට ගොඩ බිම.
      ේ තියෙන පිංතුේ තියෙන්ොක්කක්. එකෙන් වටහා ගන්න පහසුයි ොක්කක සැබෑ ස්වරූපය.


 http://www.touropia.com/beautiful-bays-in-the-world/

* (ශ්‍රී ලංකාවේ උසස්පෙළ භුගෝල විද්‍යා ගුරු උපදේශන පොත දක්වන ආකාරයට ‘තුඩුව’ යනු ද ඛාදිත භූ රූපයක් ලෙස විස්තර කොට ඇතත් මා හට එය තේරුම් ගත නොහැකි නිසා මෙහි ලා විස්තර කිරීමෙන් වැලකෙන බව දන්වමි. මට හිතෙන හැටියට තුඩුවක් යනු භූ ලක්ෂණයක් මිස තරංග ඛාදනයක් නිසා ඇති වන්නක් නොවේ. එය එසේ ඇති වීමට නම් දෙපසින් ඛාදනය කරන රළ භූමියට වැදිය යුතුය. එය නිවැරදි වුවත් මට එය විස්තර වන්නනේ එය වෙරළ තුළ දක්නට ලබෙන තරංග ක්‍රියාවලිය නිසා නිර්මාණය නොවන භු ලක්ෂණයක් කියා ය. තුඩුවක් හැදීම කෙසේ වෙතත් විනාශ කරන්නේ නම් (ඉතාම ශිඝ්‍රයෙන් ගෙවා දමා)  ඛාදනය (ඛාදනය මේ ආකාරයට ම  තමන් විසින්ම නිර්මාණය කරන බොහෝ දෑ ද විනාශ කර දමයි.) විසිනි. ඔබට කැමත්තක් බාර ගත හැක. දිනෙක මතුදා එය වැටහුණහොත් මා මෙය සකස් කරන්නම්. එතෙක් ම‍ට අනුව තුඩුව යනු තරංග ඛාදිත භු රූපයක් නොවේ.)


 
 

මේ ලිපිය හුඟාක් දුරට සෑහෙන්නේ උසස් පෙළ මට්ටමටයි. මීට තොරතුරු තිබ්බත් ඒවා මෙහි ලියා ලිපිය දික් කරන්නේ නෑ මං.නමුත් දවසක වෙරළ ක්‍රියාවලිය ගැන ලිපියක් පල කරන්න මං හිතනවා. එතෙක් වැඩි දුර කියවන්න කැමති අය
  1.  සෙනෙවි එපිටවත්ත මහතාගේ භූ රූප විද්‍යාව පොත
  2. එෆ්.ජේ මොන්ක් හවුස්ගේ භූ රූප විද්‍යාව පොත
  3. ලොබෙක්ගේ භූ රූප විද්‍යාව ගැන පොත

  • වගේ වටිනා පොත් ටිකක් බලන්න.(ඕක මං කියන්න ඕන දෙයක් නොවුනත් පළමු වසරේ විශ්ව විද්‍යාල ශිෂයෝ දන්නේ නෑ කියවන්න ඕනා පොත මොකද්ද කියලා. )
  •         ඊ ළඟ ලිපිය වෙරළ  නිධිසාදනය ගැනයි

           එහෙනම් ආයෙත් හම්බ වෙමු. එතෙක් සුබ ගමන්!

  • 10 comments:

    1. මෙව්ව නම් රත්තරන්.....
      දිගට ම ලියමු.

      ReplyDelete
      Replies
      1. ස්තූති වේවා. මං දිගටම ලියනවා... මං අන්ත්ජාලේ සැරිසරනතාක් ඔබට කියව්න්නට දේ මෙහි ලියවේ... ආයෙත් දවසක මහ‍පොළොව පැත්තේ ඇවිත් යන්න එන්න.

        Delete
    2. අනිවාර්යයෙන් ම දිගට ම මේ පැත්තෙ එනවා.
      ටිකක් වැඩිපුර ලියමු. පුළුවන් නම් අළුත් ලිපි ගැන EMAIL වලින් දැන ගන්න පුළුවන් වෙන විදිහට mail subscribe එක දාගන්න.

      ReplyDelete
      Replies
      1. ඇත්තෙන්ම බොහොම ස්තූතියි උදාර අදහස් වලටත් ක්මෙන්ට් වලටත්.ඒවා මට ධෛර්යක් ... ටිකක් වැඩිපුර ලියන්න උත්සහා කරන්නම්... ම්ම්ම් ඊමේල් කේස් එක ගැන නම් උදාර ඇත්තෙන්ම මං දන්නෑ...එත් ඒක හදන්නම්. මට පුළුවන් වෙයි කාගෙන් හරි අහගන්න.

        සුබ දවසක්!

        Delete
    3. ඔන්න දැන් හරි උදාර. දැන් පුළුවන් E-MAIL වලින් ලිපි ගැන දැන ගන්න

      ReplyDelete
    4. තෑන්ක්ස් හොඳේ........
      ඔන්න දැන් ඉතිං ඔයාට දිගට හරහට ලියන්න තමයි තියෙන්නෙ.

      ReplyDelete
      Replies
      1. දිගට හරහට ලියන්න...ම්ම්ම් මං උදාර එක පෙලට ලියන්නම්. ස්තූතියි ඇවිත් යලි යලිත් කතා බහේ යෙදෙනවාටත් මගේ බ්ලොග් එක කියවනවාටත්.

        Delete
    5. නියම ලිපියක් හොඳේ. මම ආසාවෙන් කියෙව්වෙ‍ෙ

      ReplyDelete
    6. ගොඩක් වටින ලිපියක්. වාසනාවකට මේ බ්ලොග් එක දැක්කෙ.

      ජය වේවා!!!

      ReplyDelete

    මේ බ්ලොග් ලිපි ගැන ඔබට හිතෙන දේ?

    මහපොළොව ගැන දන්න අය ...