Mahaplawa Blog - A Geographical blog space


මහපොළොව මත සිටින අය

Saturday, October 20, 2012

ශ්‍රී ලංකාවේ ගොවි ජනපද ව්‍යාපාර ඇති වීමට බලපෑ කරණු සමහරක්.

  ‍   මේ ලිපිය මා ඉදිරිපත් කරන්නේ ප්‍රශ්න වලට සපයන පිළිතුරු වශයෙන්. එසේ ඉදිරිපත් කිරීමට ප්‍රධානම හේතුව වන්නේ ගොවි ජනපද ව්‍යාපාරය පිළිබඳ සරළව පැහැදිලි අවබෝධයක් ලබා දීමයි. ඒ ප්‍රශ්න ඇහුවෙත් මං. උත්තර දුන්නෙත් මං.





  • ශ්‍රී ලංකාවට ගොවි ජනපද ව්‍යාපාරයක් අවශ්‍ය වන්නේ ඇයි?
      එතෙක් ග්‍රාමිය වශයෙන් පැවති දිගු කාලින ඉඩම් හිඟය ට විශේෂයෙන් ම වියළි කලාපයේ පැවති ඉඩම් හිඟයට පිලිතුරක් සපයන්නට දියත් කරන ලද වැඩ කටයුතු වල ප්‍රතිඵලයක් වශයෙන්.
  • වියළි කලාපය කාලයක් තිස්සේ ජනශුන්‍ය පළාතක් නේ. එහේ ඉඩම් හිඟ වන්නේ කොහොමද?
          එය පැහැදිලි කර ගන්නට දිගු ඉතිහාසයක් කියවීමට සිදුවනවා.
         එමෙන්ම එය කාලයක් තිස්සේ උවමනාවෙන් ඇති කරන ලද තත්ත්වයක් ලෙසයි මා දකින්නේ. මේ සඳහා සෝදුපත් සකස් කෙරෙන්නේ අපේ නීති අතරින් රිංගමින් වීම ශෝචනීයයි. ඉතාම පැහැදිලි වශයෙන් කියනවා නම් සිංහලය පාලනය කරපු රජවරු සතුවයි ලංකාවේ ඉඩම් අයිතිය පැවතියේ. මුළු බිම ම රජුටයි අයිති වුවේ. රජු විසින් විවිධ ප්‍රභුවරුන්ට ඉඩම් පවරා දුන්විට ඒවා ඒ ප්‍රභුන් පාලනය කළා. විහාරවලට භාර දුන් විට විහාරවාසී නායක ස්වාමීන් වහන්සේ එය පාලනය කළා. මෙවැනි තත්ත්වයකදි වඩාත් 'ගමේ දිවැසිවරයා ගමට අගේ නැත' කියනා ආදී කියමන් වලට වැට බැඳුනා. පන්සලත් එක්ක සමීපව කටයුතු කරන්නට බැරි අයට ගමේ ප්‍රභුවරයාට එකඟවන්නට බැරි අයට ඉඩම් වල වගාකිරීමට ඉඩ කඩක් නැහැ. මේ නිසා වාසියක් සැලසෙනවා රජුට. රාජ්‍ය පාක්ෂිකත්වය හා බැඳිම විශේෂයෙන් ම රජුට ණයගැති බව ආරක්ෂා වෙනවා. 1928 වෙනකම්ම  මේ රටේ ඉඩම් අයිතිය තිබ්බේ රජුට හෝ රජයටයි. මිනිස්සුන්ට වගා කරන්න ඉඩම් දෙන හංදා මිනිස්සු ඒ වෙනුවෙන් අස්වැන්නෙන් කොටසක් දුන්නා රජුට හෝ  ඉඩම් අයිතිය පවරනු ලැබු තැනැත්තාට.
            ඉතිං රාජ්‍ය අරාජීක වීම හා යුරොපින්ට යටත් වීම සිදුවු පසුව රටේ ඉඩම් පිළිබඳ තීරණ ගන්නට නව රජයට පුළුවන් වෙනවා පැවති තත්ත්වය එක්ක. ඒ හංදා තමා රටේ හදබිම ඇතුලේ තද කහටට තේ ගහ ඔච්චරටම මුල් අදින්නේ. ඒ අපේ රටේ හදවතේ සාරය… ‍ඒ බිම් අතීතයේ වනාන්තර වලින් පතන් බිම් වලින් වැසුණු බිම්. නමුත් ඒවා එළිපෙහෙළි කරලා අවසානයි බොහෝ  කාලයකට පෙර දී  ම. ඒ වතුවල තියෙන්නේ ඉංග්‍රීසි නම්. ඊට හේතුව වන්නේ අර ඉඩම් නීතිය භාවිතා කරලා ඔවුන්ට අවශ්‍ය සාරවත් ඉඩම් අයිතිය හිමි කර ගැනීමයි.
         කොහොම උනත් කතා කළ යුත්තේ කඳුරට ඉඩම් පවරා ගැනීම නොවෙයි. වියළි කලාපයේ ඉඩම් හිඟය ගැනයි. ලංකාවේ ඉඩම් අයිති කර ගන්නට බදු අයකර ගන්නට ඉංග්‍රීසින් විවිධ බදු වර්ග හඳුන්වා දුන්නා. ඒ මඟින් ඔවුන් බලාපොරොත්තු උනා පැරණි නීති රෙගුලාසි වලින් ගත්ත බලය ඔවුන්ගේ ආරකට ජනතාවට පටවන්න. ඒ හංදා කෙලින්ම රාජ නීතිය පාවිච්චි කරලාත් කරන්න පුළුවන්කම තිබ්බ දේ ඔවුන් හෙමින් කළා විවිධ පණත් ගෙන එමින්. එවැනි පීඩාකාරි බදු අතරේ ;
  • 1840 සහ 1897 දී මුඩුබිම් ආඥා පණත
  • 1856 විහාර හා දේවාල ගම් පණත
  • 1878 ධාන්‍ය බදු ආඥා පණත
                                 කියන පණතුත් තිබ්බා. විශේෂතම සිද්ධිය වෙන්නේ 1833 දි ගෙනාපු කොල්බෲක් කොමිසමේ ප්‍රතිසංස්කරණ මඟින් ස්ථිර හිමිකම් පෙන්වන්නට නොහැකි වු ඉඩම් රාජසන්තක කරන්නට යෙදීම. අපේ රටේ ඉඩම් අයිතිය තිබ්බේ රජුට හො ප්‍රභූන්ට. මේ අය සතු ඉඩම් අයිතිය පෙන්වන්නට හො සාමාන්‍ය ජනයාට කළ පැවරීම් පෙන්වන්ට අවශ්‍ය කඩදාසි එදා සිංහල මහජනතාව අතරේ තිබ්බෙ නෑ. කාටද ලියවිලි නැති ඉඩම් තිබ්බේ… ඒ සේරම කොල්බෲක් කොමිසමේ ඔය කියන යෝජනාව හරහා රජසන්තක උනා. ඇත්තෙන් ම රාජසන්තක ඉඩම් (රජු සතුව අයිතිව තිබු ඉඩම්) ම රජසන්තක උනා. පරංගියා කොට්ටේ ගියා වගේ අත ඔළුව වටේ කරකවලා අරන් නහය අල්ලා ගත්තා. එයාලා එහෙම කරන්න ඇත්තේ කෙලින් නහය අල්ලන දේශිය රටාව මඟ අරින්න ඕනා හංදා වෙන්නත් ඇති.
       කොහොම උනත් ඒ නීති හංදා වියළි කලාපයට වගා බිම් අහිමි උනා. පරම්පරා ගණනාවක් තිස්සේ වවාගෙන කෑ බිම් විතරක් නොවේ… පදිංචිව උන් බිමත් පුදබිමත් අහිමි වෙන්නට අවශ්‍ය වටපිටාව සකස්  උනා.


  • ඉඩම් හිඟය කොයි වගේ තත්ත්වයක ද පැවතුනේ?

      පහත දැක්වෙන්නේ1940 දී ලංකාවේ ඉඩම් අයිතිය ගැන වගුවක්. එකෙන් පේනවා ලංකාව නිදහස ලබන්න ඔන්න මෙන්න තියෙද්දි තිබ්බ තත්ත්වය. ඊට කලින් මේ වගුව ලියන්න පුළුවන් නම් අහිමි වීම මීට දරුණුයි. මේ වගුව සංඛ්‍යා දත්ත පෙන්වන්නේ දශමස්ථානය නොවේ උනත් ගොඩ දෙනෙක්ට ඉඩම් ටිකයි තිබිලා තියෙන්නේ.



හිමි වු ඉඩම් ප්‍රමාණය ලක්වැසි සියළු පවුල් වලින් % කෘෂි කාර්මික පවුල් වලින් %
ඉඩම් අහිමි 38 26
ඉඩම් අක්කර 1 ට අඩු 22 16
ඉඩම් අක්කර 1/2  යේ සිට 1 අඩු 11 12
ඉඩම් අක්කර 1 සිට අක්කර 5ට අඩු 23 34
අක්කර පහට වැඩි 07 12
            


       1946 දි කරන ලද කෘෂිකාර්මික සංගනනයට අනුව ලංකාවේ මුළු කුඹුරු ඉඩම් වලින් 64% ක් ම අක්කර 01 ට වඩා අඩු අය 32% කට ඉඩම් අක්කර 1/2 යි තිබ්බා කියන්නේ.


  • ඒක ජාතික ගැටළුවක් වගේ වර්ධනය වෙන්නේ කෙහොමද? වියළි කලාපයේ එතර ම් විශාල ජන ගහණයක් හිටියේ නෑ. ඒ වගේ ම මේ කලාපය මේ තරම් වැදගත් උනේ ඇයි?
        රටේ ඉතාම වැදගත් බිම වියළි කලාපයයි. මොකද රටෙන් හතරෙන් තුනක්ම අයත් වන්නේ වියළි කලාපයට. රටේ සුවිශාල අභ්‍යයන්තර තැන්නෙන් විශාල ප්‍රදේශයක් අයත් වන්නෙත් මේ වියළි කලාපයටයි. විශාල තැනි බිමක්… ශ්‍රී ලංකාව කෘෂි කාර්මික වටපිටාවක් සහිත අතීතයේ සිටම පැවතුණු රටක්. කෘෂිකාර්මික රටකට කොයි තරම් වැදගත්ද?
      ශ්‍රී ලංකාවේ තෙත් කලාපය තමයි ජනාධිකතම කලාපය කියන දේ එදා වලංගු උනේ නෑ. ඒ කාලේ තෙත් කලාපය කියන්නේ වනාන්තර ප්‍රදේශයන්. මිනිසුන් හිටිය තරමක් හිටියේ වියළි කලාපයේ. ක්‍රමයෙන් කාලයත් එක්ක දකුණට රාජධානි සංක්‍රමණය උනත් ඉතිහාසයේ මුල පටන් දිගු කාලයක් තිස්සේ වියළි කලාපය විසින් රට පාලනය කළා. ඒ කියන්නේ අද කොලොම්පුරය වගේ එදා අනුරාධපුරය, පොලොන්නරුව බැබළුනා. රජය ස්ථාපනය උනේ රට පාලය කෙරණේ වියළි කලාපයේ ඉදන්.  එදා ජනතාව දැහැමෙන් සෙමෙන් වාසය කලේ මේ කියන තෙත් කලාපයේ නොවේ…
         වියළි කලාපය ජනපදයක් වෙන්නේ ක්‍රි.පු. 3 විතර කියලා තමා පොත පතේ ලියවෙලා තියෙන්නේ. දේවානම්පියතිස්ස රජතුමාගේ කාලේ වෙනකොට වියළි කලාපයේ ජනාවාස යම් ආකාරයකට ව්‍යාප්ත වෙන්නත් පටන් අරන් තිබුණා ලු. විශාල වැව් ඉදිකරලා තියෙන හංදා ඒවායේ ධාරිතාවය එක්ක හිතන්න පුළුවන් ජයටම වගාවන් කෙරෙන්න ඇති කියලා. වී වගා කලාම කියනවා නොවෙයි. තවත් දේ ධාන්‍ය වර්ග ආදිය වගා කරන්න ඇති. නමුත් වාරි සභ්‍යත්වයක් එක්ක ගොඩනැඟුණු කෘෂි ආර්ථිකයක් තිවුණ බවයි අප දන්නේ. නමුත් රාජධානිය උඩරටට ගියාම වියළි කලාපයේ ශ්‍රී විභුතිය නිවී ගියා. එය තවදුරටත් රටේ හරය වුයේ නෑ. එය පර්යන්තය බවට පත් වුණා. එයින් ම  ලැබෙන සැලකීමත් අඩු වෙලා ගියා. 13 වන සියවස වන විට මේ රටේ කෘෂි ආර්ථිකය බිදවැටිලා ගිහින් තිබුණා. සහල් වෙනත් රටවල් වලින් ගෙන්වා ගෙනත් තිබෙනවා.
        බටහිර ජාතින් මේ රටට එන්නේ ඒ වගේ කාලෙක. රටේ පාලන අධිකාරිය පැවති කඳු වළල්ලට වෙරළ දුර කාලෙක. 1812 දී විතර නැපොලියන් රුසියා පැත්තට ආක්‍රමණ දියත් කරනවා. 1845 – 1848 කාලේ අර්තාපල් වසංගතය ‍යුරෝපය හාමත් කරනවා. ස්පාඤ්ඤ සෙම්ප්‍රතිශ්‍යාව 1918 – 1919 කාලේ ලෝකය පුරා වසංගතයක් වෙනවා. පළවෙනි ලෝක යුද්ධය එනවා. හිට්ලර්ලා මුසලෝනිලා ජීවත් වෙනවා… ලෝකය යකාගේ කම්මලක් බවට පත් වෙන කාලයක් 16 වෙනි සියවසයෙන් පස්සේ උදා වෙන්නේ. තාමත් මේ කම්මල එහෙමමයි. එක පටන් ගන්නේ දේශගවේෂණයත් එක්ක. ඉතිං වගා බිම් වැදගත්… ජිවත් වෙන්න. ආහාර සපයන්න. වගා කරන මිනිස්සු ඉන්නවා වගා කරන්න විදිහක් නැතුව.. අනෙක් පැත්තෙන් එනව මහ කුණාටුවක ලකුණු... ලංකාවේ හිටපු ඈයන්ගේ බඩවල් වලින් කුරු කුරු ගාන සද්දයක් එනකොට ඔන්න වැදගත් කම පේන්න ගන්නවා වගා කල වියලි කලාපයේ.. අභ්‍යන්තර තැන්නේ.
  • ගොවිජනපද  ව්‍යාපාර කියන්නේ එතකොට කොයි කාලේ ඇති කරපු ඒවා ද?
      ලංකාවේ ගොවි ජනපද ගැන දන්න කියන ඉතිහාසේ ඇතුලේ කතා කරන්නේ විජයාගමනයත් සමඟයි.  විජය රජ ඇතුළු පිරිස  වියළි කලාපයේ ගොවි ජනපද ඇති කරලා තියෙනව. නමුත් මේ කතා කරන ගොවි ජනපද ව්‍යාපාර ඇති වෙන්නේ ඉංග්‍රීසි ආණ්ඩු කාලේ ඉදලා. ඒවා කිහිපයක් ම තියෙනවා. සමහර අය කියන හැටියට මහවැලි ව්‍යාපාරයත් මේ ගොවි ජනපද ව්‍යාපාරයේ ම අංගයක්. නමුත් සමහර අය කියන්නේ ගොවි ජනපද ව්‍යාපාරය කියන්නේ ඉංග්‍රීසින්ගේ කාලේ අත්තිවාරම දාපු මහවැලිය වෙනකම් දික් වෙච්ච ප්‍රාදේශීය සංවර්ධන වැඩසටහනක් ලු.
  • ඉංග්‍රීසි මොනද කලේ මේ සඳහා?
     එයාලා කළා...නොවේ කර ගත්තා. එකෙන් අපිටත් ප්‍රතිලාභයක් ලැබුණා.


සර් හෙන්රි වොඩ් (1855 – 1860) ආණ්ඩුකාරයා නැගෙනහිර පළාතේ ඉරක්කාරම් වැව හා අම්පාරේ වැවත් දකුණු පලාතේ කිරම හා ඌරුබොක්ක ප්‍රදේශ වලත් ප්‍රතිසංස්කරණ කටයුතු කරලා වගාවට අතහිත දිලා තියෙනවා. මා‍තලේ හා ඌව පලාතේත් කුඩා වැව් හා ඇළවල් කිහිපයක්මත් ප්‍රතිසංස්කරණය කර තිබෙනවා.
විලියම් ග්‍රෙගරි  ආණ්ඩුකාර වරයා (1872 - 1877)  බසවක්කුලම වැව,කන්තලේ වැව, ගල්ගමුව වැව, මහ වැව් ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා.
සර් ආතර් ගෝඩන් (1883 – 1890 ) යෝධ ඇළ ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා .
වෙස්ට් රිජ්වේ ආණ්ඩුකාරවරයා 1900 ගණන් වලදි (හරියටම වර්ශය මා දන්නේ නෑ) වාරිමාර්ග දෙපාර්තමේන්තුව පිහිටුවා තිබෙනවා.
1910 දී ආණ්ඩුකාරයින් විසින් රජයේ ඉඩම් මහ ජනතාවට සුළු වශයෙන් බෙදා දීම ආරම්භ කර තියෙනවා.
1929 දී ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම විසින් ඉදිරිපත් කළ වාර්තාවන් හි සදහන් ඉඩම් ප්‍රතිපත්තිය මඟින් ගොවිජනපද පිහිටුවීම හා ඒවායේ ඉඩම් වගා කිරීමට ලබා ගත යුතු බව පෙන්වා දෙන ලදී.
      ඔය වගේ දේවල් වරින් වර කරලා තියනවාලු.


  • ගොවි ජනපද ව්‍යාපාරයේ විවිධ කොටස් තියෙනවා කිව්වා නේද?
              ඔව් මේක දිග වැඩසටහනක් හංදා අදියර කිහිපයක්ම තිබිලා තියෙනවා.
  • ප්‍රධාන ගොවි ජනපද ව්‍යාපාර.
  • ගම් පුළුල් කිරීමේ ව්‍යාපාර.
  • උස්බිම් ව්‍යාපාර.
  • මධ්‍යම පාන්තිකයන්ට ඉඩම් බෙදා දීමේ ව්‍යාපාර.
  • තරුණ ගොවි ජන පද ව්‍යාපාර.
  • විශේෂිත බඳු ක්‍රම යටතේ ඉඩම් බෙදා දීම.
  • සමුපකාර ගම්මාන.
  • ඉඩම් ප්‍රතිසංස්කරණ සාමුහික ව්‍යාපාර.
  • දිස්ත්‍රික් කාබද්ධ ග්‍රාම සංවර්ධන වැඩසටහන.
  • අපනයන ගම්මාන.
  • කෘෂිකර්ම විවිධාංගිකරණය සහ ජනපද ක්‍රමය.
  • ප්‍රාදේශිය සංවර්ධන මණ්ඩල.
  • කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය.
                       ආදීය ඉන් කිහිපයක්. ඊට අමතර වශයෙන් කියන්න ඕනා 1948  ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුව කියලා එකක් හදලා  රජය ප්‍රකාශයට පත් කළ හය අවුරුදු සැලැස්මෙන් ඒ යටතේ වගා කරන භූමි ප්‍රමාණය 131,000 කින් වැඩි කරලා රජයේ ඉඩම් පවරලා දෙන්නත් පටන් ගත්ත හංදා ගොවි ජනපද ව්‍යාපාරය වඩාත් ක්‍රමත්ව කරන්න ඒ අයට ඉඩ ලැබුණාලු.
  • ගොවිජනපද හරහා ඉඩම් කොච්චරක් විතර දුන්නාද?
    මං හිතන්නේ සෑහෙන්න දුන්නා කියලා. ඒ වැඩිත් එක්ක කිව්වොත් ගොවිජනපදවල අය මට බනී. එත් මට හිතෙන්නේ එහෙමයි. මුලින් අක්කර 8ක් දුන්නා ගොඩ 3යි මඩ 5 යි විදිහට. පස්සේ  අක්කර 5ක් දුන්නා ගොඩ 2 යි මඩ 3 යි විදිහට. පස්සේ අක්කර තුනක් දුන්නා, ගොඩ 1යි මඩ 2යි විදිහට.  මේවා බෙදුවේත් කෘෂි කර්මයට පුදුම වාසි වෙන අනුපාතයකට කියලා බලද්දි පේනවා නේ.
     කොහොම උනත්;
           1932 දී ගම් 1714 ක්
           1934 දී ගම් 1664 ක්
                  ආරම්භ කරලා තියෙනවා. 1934 වෙනකොට ඉඩම් අක්කර 50,000ක් ගොවින් අතර බෙදා දි තිබෙන බව වාර්තා වල සටහන් වෙලා තියෙනවා. (සංස්කෘතික අමාත්‍යංශයේ , මහාවංශය-නුතන යුගය-ප්‍රථම භාගය පිටු අංක 311). මෙහෙම බෙදා දෙන්න උනේ මිනිස්සුන්ට ඉඩම් හිඟයක් තිබ්බ හංදා යි.
         ප්‍රධාන ගොවිජනපද ව්‍යාපාරය යටතේ සැහෙන්න ඉඩම් බෙදා දී තියෙනවා. කිලිනොච්චිය, දේවහූව,ගල්ඔය, රිදිබැදි ඇල්ල, ඇළහැර, රාජාංගනය,මිණිපේ, මින්නේරිය, කාගම,  පරාක්‍රම සමුද්‍රය, ගිරිතලේ , නුවර වැව, හුරුළු වැව, ඔක්කම්පිටිය, බත්මැඩිල්ල වැනි ගොවිජනපද ව්‍යාපාර 30 ක් පමණ පිහිටුවා තිබෙනවා. 1953 වන විට මෙම ජනපද ව්‍යාපාර තුළ ඉඩම් අක්කර 118438 ක් ගොවීන් අතර බෙදා දීලා ඒවාගේ පවුල් 16532 ක් පදිංචිත් කරලා. (නිදහසින් පසු  ශ්‍රී ලංකා ආර්ථිකය-එච්.එම් ගුණසේණ)
1969 දී කුඹරු ඉඩම් අක්කර 202642 ක් ද ගොඩ ඉඩම් අක්කර 111300 ක් ද ගොවි පවුල් අතරේ දීලා ගොවි පවුල් 70686ක් පදිංචි කරලා.
         මේ ටිකක් විතරයි.
  • මේවා කිහිපයක් ඇති කලේ ඇයි?
   ප්‍රශ්න ආවනේ. ඒවට උත්තර දිදී වෙනස්කම් කළා. ඒකයි. 1953 දී බෙදපු ඉඩම් වල වතුර ප්‍රශ්න ආවා මුලින්ම
එතකොට;
  • ඉක්මනින් ජලය ලබා දීම
  • ලබාදෙන  ඉඩම් වල ගොවින් පදිංචි වීමට පෙර ඒවා ගොවින්ලවාම ඒවා සුද්ධ කිරීම.
  • එහෙම එළි පෙහෙළි කර ගන්නවාට රජයෙන් වැටුපක් ගෙවීම.
  • මෙසේ එළිපෙහෙළි කරන්නට එන ගොවින්ට නවැතැන් ගැනීම ස්ථාන (තාවකාලික වාඩි)රජය විසින්ම සස් කර දීම.
                   කියන ඒවා කලා.


1956-57 කාලේ ඉඩම් බෙදද්දී ආවා ප්‍රශ්ණයක් මේ මිනිස්සුන්ට ඉඩම් දුන්නට එයාලා පදිංචි වෙන්න ආවේ නෑ. ඒකට;
  • අර ඉස්සෙල්ලා හදපු වාඩි හැදුවා පවුල් පිටින් ඇවිත් පදිංචි වෙන්න පුළුවන් වෙන විදිහේ.
  • එහෙම පදිංචි වෙන අයට ගෙවිම් කළා. (රුපියල් 80/= ක් ගෙව්ව බව දන්නවා. ඒ කොයි කාලෙකටද දන්නෑ)
  • තාවකාලික වාඩි හැදුවේ ‍ඒ ඒ අයට පදිංචි වෙන්න දීපු ඉඩම් ආසන්නයේමයි. (එතකොට ඉඩම දැකලා ම ඒ පරිසරයට උනත් හුරු වෙන්න පුළුවන් නේ)
  • ස්ථිර නිවාස හදා ගන්න ගොවි පවුල් එකිනෙකාට උදව් කරන්නට පෙළඹ වීම.
  • ස්ථිර නිවාස හදා ගැනීමට රජය එකල එක් පවුලකට රුපියල් 1200 ක ණයක් ලබා දීම.


  • එතකොට මේ ගොවිජනපද ව්‍යාපාර වලින් කලේ ඉඩම් හිඟයට පිළිතුරු දීම විතරද?


   අපෝ නෑ. කවුද එහෙම කියන්නේ? ඒ මඟින් කාරණා කිහිපයක් ම ඉෂ්ඨ උනා.
  • රැකියා විරහිත අයට රැකියා දීම.
  • තෙත් කලාපයේ අධික ජන පීඩනයට පිලිතුරක් වීම.
  • වියළි කලාපයේ ජනතාවගේ ප්‍රශ්ණ වලට පිළිතුරක් දීම.
  • තරුණ අසහනය මර්ධනය කිරිම හා කැරලි කෝලහාල සඳහා වන තරැණ එකමුතුවන් උපක්‍රමශිලි ලෙස බිද දැමීම.
  • පරිපාලන කටයුතු යහපත්ව කරගෙන යාම.
  • මෙරට සිටි යුරෝපීන්ගේ ආහාර අවශ්‍යතාවයට පිළියම් සොයා ගැනීම.
  • මහජනතාව කාර්යබහුල කර පවතින යුරෝපානු අකමැත්ත අමතක කරවීම.
                       වගේ හේතු ගොඩාක් තියෙනවා.
                             

                දැන් ඇති, ගොවිජනපද ව්‍යාපාරය ගැන දැනගත්තා. ඉතුරු ටික ගිහින් බලලා කතා කරලා දැන ගන්න. මේ ඉඩම් එයාලට ඇත්තටම ලැබුණද? එයාලා ඇයි වගා නොකලේ? ඇයි ඒවා දාලා ආවේ… ඉඩම් හොරට බෙදුවද… බෙදපු විදිහ හරිද? වගේ ප්‍රශ්න එනවා ඇති ඔයාලට…

              ඔය පැති වල නිකම් ගියත් බස් එකකදි, මඟ තොටේදි දැක්කත්- කොල් කරලා ඇහුවත්- ලියලා එවන්න කිව්වත්- අපේ මහජනයාට වෙන වැඩක් නෑ… කට ඇරගෙන අත සෝදාගෙන ඉන්නේ උත්තර දෙන්න බලාගෙන.

  

ප.ලි.
      මං හදිසියේ මේක ලිව්වේ ක්මෙන්ට් වලට (මේ වගේ තේමාවක් කවුද කියවන්නේ. කියවන අයත් ක්මෙන්ට් දාන්න දන්නෑ. එත් දාලා තිබ්බොත්…) උත්තර සතියක් විතර පරක්කු වෙයි.
  

මේ බ්ලොග් ලිපි ගැන ඔබට හිතෙන දේ?

මහපොළොව ගැන දන්න අය ...