Mahaplawa Blog - A Geographical blog space


මහපොළොව මත සිටින අය

Saturday, August 25, 2012

සංවර්ධනය මනිනු ලබන ප්‍රකට මිනුම් කිහිපයක් පිළිබඳ සරල විමසුමක්.






හැමෝම සංවර්ධනය ගැන කතා කරනවා. ඒ පිළිබඳ මිනුම් ගැන කතා කරනවා ඉතාම අඩුයි. සමහර මිනුම් මිනුම් කිහිපයක ප්‍රථිපල මතයි අවසාන නිගමනය ලබා දෙන්නේ. සමාජ ආර්ථික සංවර්ධනය පිළිබඳව ඇති මිනුම් කිහිපයක් පිළිබඳව සරල විමසීමක් මෙයින් ඉදිරිපත් කෙරේ.
මුල් කාලයේ සංවර්ධන යනුවෙන් අදහස් කළේ ආර්ථික වර්ධනය පමණක් නිසා මිනුම් වලින් මුල් කාලේ මැන්නේත් ආර්ථික වර්ධනයම තමා. 



ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදනය / ඒක පුද්ගල දළ ජාතික ආදායම/ ප්‍රතිශිර්ෂ ආදායම:

          සාම්ප්‍රදායික සංවර්ධන මිනුමක් ලෙස හඳුනා ගැනේ. මෙය තම මිනුම මඟින් ලෝකයේ සියළුම රටවල් වර්ග 5කට බෙදා දක්වනවා.
(*). අඩු ආදායම් ලබන රටවල්
(*). මධ්‍යම ආදායම් ලබන රටවල්
                    *). පහළ මධ්‍යම ආදායම් ලබන රටවල්
                    *). ඉහළ මධ්‍යම ආදායම් ලබන රටවල්
(*). ඉහළ ආදායම් ලබන ඛණිජ තෙල් අපනයනය කරන් රටවල්
(*). කාර්මික/ වෙළඳපොළ ආර්ථික රටවල්
(*). වාර්තා නොසපයන / සමාජික නොවන රටවල්
*මෙයින් මධ්‍යම ආදායම් ලබන රටවල් හි උප කාණ්ඩ දෙකම අයත් වන්නේ සංවර්ධනය වන රටවල් කාණ්ඩයටයි.

ලෝකයේ පවත්නා ආර්ථිකමය වශයෙන් ලබන ආදායම පිළිබද අගනා අදහසක් මේ මිනුම නිසා ලබා ගත හැක. නමුත් ආර්ථික වර්ධනයම සංවර්ධනය නොවන්නේ යැයි කියන අය මෙය විවේචනය කරති.
          රටක වසරක් තුළ (කැමති කාලයක් ආදේශ කර ගන්නත් පුළුවන්) නිපදවනු ලබන සියලුම භාණ්ඩ හා සේවාවන්හි වෙළදපොළ වටිනා කම දළ ජාතික නිෂ්පාදනය ලෙස සැලකේ. එනම් නිෂ්චිත කාලයක් තුළ රටක් නිෂ්පාදනය කරනු ලබන සමස්ත නිෂ්පාදනවල වටිනා කම මෙයින් ගණනය කෙරේ. මෙම වටිනාකම ගණනය කරන්නේ අන්තර්ජාතික වශයෙන් පිළිගත් පොදු මුදල් ඒකකයකින් ‍ය. පසුව මේ අගය රටේ ඒ අදාල කාලය තුළ වාසය කළ ජනසංඛ්‍යාවෙන් (බොහෝවිට පදනම් කරගන්නේ මැදි වසර ජනගහණයයි) බෙදනු ලැබේ. ඇතැම් අය මෙහි අඩුපාඩු පෙන්වා දී ඇත.

1.එය ආදායම විවිධ සමාජ කාණ්ඩ තුළ සිටින පුද්ගලයන් අතරේ විෂම ආකාරයෙන් බෙදියන ආකාරය පෙන්වන්නේ නැත.

2. මේ මිනුම තුළ පවුල් සංස්ථාව තුළ සේවය කරනු ලබන ගෘහනියගේ සේවයට වටිනාකමක් නොදේ. එමෙන්ම පවුලේ සාමාජිකයන්ගේ ශ්‍රමයද මෙම මිනුම විසින් නොසලකා හරිනු ලැබේ.

3. ආර්ථික ක්‍රියාකාරකම් වල සෘණාත්මක අගයන් මෙයින් නොසැලකේ. 

4. මේ මිනුම මඟින් ආර්ථික වර්ධනය නිසා සිදුවන පාරිසරික හානිය ගණනය නොකරන නිසා එය කාලීනව විශාල දුර්වලතාවයක් බවද විවේචකයෝ පෙන්වා දෙති.

5. මේ මිනුම මඟින් පාරිසරික දරිද්‍රතාවය නිසා පිඩාවට පත් දුප්පතුගේ / මුඩුක්කු / පැල්පත්වාසීන්ගේ (අවිධිමත් ජනාවාස වල ජනපදිකයන්ගේ ) අපහසුතා ගණනය නොකරයි. ඔවුන්ට පිරිසිදු පානීය ජලයේ හිඟතාවය තදින් බලපාන අතර ශබ්ද දුෂණය, වායු දුෂණය ආදීන්ගේ ප්‍රතිවිපාක දැනුවත්ව හෝ නොදැන්වත්වම ඔවුන්ව පීඩාවට පත්කරමින් තව දුරටත් දුබල රෝගීන් කෙරෙනුයේ තවත් අයගේ සංවර්ධනය උදෙසා ගෙවනු ලබනු පිරිවැයක් ලෙස ය. ඒ අනුව බලද්දි අවධිමත් ජනාවාස වල රෝගීන් බිහිවන්නේ වෙනත් අයගේ සංවර්ධන ප්‍රයත්නයන් හි ප්‍රතිඵලයක් ලෙස ය.

6. බොහෝ ග්‍රාමීය ප්‍රදේශ වල ගම්වාසීන් මෙන්ම කාන්තාවන්ගේ ස්වයං රැකියාවලින් ලැබෙන ආදායම් නැතහොත් නිසි ආදායම් වාර්තා නොතබන කුඩා ව්‍යාපාර (දැනුමක් නොමැති කම නිසා වාර්තා නොතබන අයගේ ආදායම්) වල තත්ත්ව මෙහිදී ගණනය නොකෙරේ.

7. මේ මිනුම මඟින සංවර්ධනය පිළිබඳ ප්‍රමාණාත්මක මිනුමක් ලබා දෙනවා මිස ගුණාත්මක තත්ත්ව පිළිබඳ සාකච්ඡා නොකරයි.

8. මේ මඟින් මැනෙන්නේ ආර්ථික වර්ධනය පමණි.

මේ ආකාරයට අඩුපාඩු පෙන්වා දිය හැකිවුවත් අන්තර් ජාතික වශයෙන් සැසදීමේදී හෝ අවකාශයන් කිහිපයක් සංසන්ධනය කිරිමේදී  මෙය වැදගත් සේවයක් ඉටු කරයි. ඒ  ඒ අවකාශය සතු සම්පුර්ණ ජනසංඛ්‍යවෙන් සම්පුර්ණ ආදායම බෙදීම නිසා එය ඒ ඒ මනිනු ලබන අවකාශයන් අතර තත්ත්වය වටහා ගැනීමට උපකාර කරනු ලැබේ. එමෙන්ම රටක කාලීන වශයෙන් ආර්ථිකයේ සිදුවන වෙනස්කම් (වර්ධනයන් හෝ අවපාතයන් )හඳුනා ගන්නටද මෙය උපාකාර කරයි.

භෞතික ජිවන තත්ත්ව දර්ශකය (Physical Quality of Life Index) (PQLI)

මෙය මිනුම් කිහිපයක එකතුවක් වේ. මේ මිනුම මඟින් රටක ජිවත් වන ජන සංඛ්‍යවේ ජිවන තත්ත්වය පැහැදිලි කරනු ලැබේ. 1979 දී මොරිස් ඩී. මොරිස් විසින් මෙය ඉදිරිපත් කරන ලදී. මේ දර්ශකයේ අගය ලබා ගැනීමට තවත් මිනුම් 3ක උපකාරය ලබා ගැනේ.  මේ මිනුම අවසානයේ ලැබෙන අගය 1 සිට 100 තෙක් දක්වා පරාසයක විහිදෙන අතර වඩා යහපත් රටක තත්ත්වයන් 100 ට ආසන්න වේ.
(*). ළදරු මරණ අනුපාතය
(*). උපතේදී ආයු අපේක්ෂාව
(*). සාක්ෂරතාව



රෑපය සකස් කලේ ඉන්ද්‍රලාල් ද සිල්වා මහතාගේ ජනගහන අධ්‍යයනය කෘතියේ 15 වන පරිච්ඡේදය ඇසුරිනි.

 මේ මිනුම් වල යහපත් ම අගයත් අයහපත් ම අගයත් ගණනය කර ගත යුතුය. එසේම සාක්ෂරතාවය 1 සිට 100 අතර අගයක් ගන්නා නිසා අනෙක් අගයන්ද 1-100 ට පරිවර්තනය කළ යුතු බව මොරිස් ගේ අදහසයි. කෙසේ වුවද ‍භෞතික ජීවන තත්ත්ව දර්ශකය ගණනය කිරීම සදහා මුලින් දක්වන ලද මිනුම් තුනට අදාල අගයන් තුනම එකතු කර තුනෙන් බෙදිය යුතුය.



රෑපය සකස් කලේ ඉන්ද්‍රලාල් ද සිල්වා මහතාගේ ජනගහන අධ්‍යයනය කෘතියේ 15 වන පරිච්ඡේදය ඇසුරිනි.

ඉහත මිනුම් නිසා ‍මෙම දර්ශකය තුළින් සංවර්ධනය පිළිබඳ ප්‍රමාණාත්මක සේම ගුණාත්මක මිනුමක් ද‍ වේ. අනෙක් අතට  මේ මඟින් සංවර්ධයේ ප්‍රතිලාභ බෙදීයාමේ විවිධාකාර වු වෙනස්කම් පිළිබඳ සංවේදී වෙමින් මැනීමට ලක් කරනු ලබයි. මේ දර්ශකය මඟින් යම් රටක සමාජ සංස්කෘතික අදි අංශ පිළිබඳ අවබෝධයක් ලබා ගත හැක. උපතේදී අපේක්ෂිත ආයු කාලය මැනීමෙන් රටේ සෞඛ්‍ය තත්ත්වය හා සෞඛ්‍ය පහසුකම්, ජනතාවගේ පෝෂණ තත්ත්වයන් ආදීය පිළිබඳ අවබෝධයක් ලබා ගත හැක. සාක්ෂරතාවය මඟින් රටේ ජනතාවගේ උගත් බව , අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණුව, රටේ ජනතාවගෙන් කොපමණ ප්‍රමාණයක් අධ්‍යපපනය ලබනවාද වැනි කරුණු රාශියක් පිළිබඳව දැන ගත හැක. ළදරු මරණ අනුපාතිකය මඟින් රටේ ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳව සේම  ඒ රටේ ජනගහනයේ ගුණාත්මක තත්ත්ව පිළිබඳ ඉතා පැහැදිලි අවබෝධයක් ලබා ගත හැක.

මේ මිනුම කොතරම් යහපත් සේ පෙනුනත් මෙහි අඩුපාඩු ද පවතී.

1. මෙම මිනුම මඟින් ආර්ථික සංවර්ධනය මැනෙන්නේ නැත. 

2. මෙම මිනුම මඟින් ජිවිතයේ ගුණාත්මක තත්ත්වයන් පෙන්නුම් කරන සියළු සාධක මනින්නෙත් නැත. උදාහරණ වශයෙන් ආරක්ෂාව,  සාමය, පුද්ගල නිදහස / පුද්ගලිකත්වය , මානව අයිතිවාසිකම්, සේවා නියුක්තිය ආදී ලක්ෂණ මෙයින් මැනෙන්නේ නැත. 

3. භෞතික ජිවන තත්ත්ව දර්ශකය ඉහළ මට්ටමක පැවතියද  රටක් සංවර්ධිත රාජ්‍යක් බවට පත් නොවේ. ( උදා: ශ්‍රී ලංකාව) එමෙන්ම ලෝකයේ ආදායම ඉහළ රටවල භෞතික ජිවන තත්ත්ව දර්ශකය ඉහල අගයක් ගන්නේත් නැත. (උදා: සෞදි අරාබිය)

4. මේ මිනුම ජිවන තත්ත්වය හා අදායම් මට්ටම අතර විධිමත් සම්බන්ධතාවයක් පෙන්නුම් කරන්නේ නැත.


මානව සංවර්ධන දර්ශකය (Human Development Index) (HDI)

මෙය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් 1990 දී හඳුන්වා දුන් මිනුමකි. භෞතික ජිවන තත්ත්ව දර්ශකයේ අඩුපාඩු මගහරවමින් මේ මිනුම නිර්මාණය ක ඇත.  ආර්ථික සංවර්ධන මානව සංහතියේ දියුණුව සඳහා කොතෙක් දුරට දායක වන්නේ දැයි මේ මඟින් සොයා බලනු ලැබේ. අනෙක් අතට සමාන මිනුමකින් ලෝ‍කයේ සියලු රාජ්‍යයන් මැනීමෙන් සංසන්දනාත්මක අගයක් ලබා ගැනිම බලාපොරොත්තු වේ. මෙය මිනුම් කිහිපයක එකතුවක් වේ.

(*). උපතේදී ජිවන අපේක්ෂාව.

(*). අධ්‍යාපනික සාධනය (මෙයට මිනුම් දෙකක් අදාළ කර ගනී. වැඩිහිටි සාක්ෂරතාවය පිළිබඳ දර්ශකය (2/3 බර තැබිමක් කරනු ලැබේ) / ප්‍රාථමික, ද්විතික හා තෘතික මට්ටම් වල පාසල් යාම පිලිබඳ සංයුක්ත අනුපාතය (1/3 ක බර තැබීමක් කරනු ලැබේ) ).

(*). ඒක පුද්ගල දළ දේශිය නිෂ්පාදිතය.

ඉහත මිනුම් 3ට අදාල මිනුම් වෙන වෙනම ගණනය කරනු ලැබේ. දර්ශක ගණනය කිරීම සඳහා එසේ ලැබෙන අගයන් එකතු කර  3 න් බෙදනු ලැබේ.එමෙන්ම මෙහිදීත් යහපත්ම අගය  හා අයහපත්ම අගය පිළිබඳව සලකනු ලැබේ.
 මේ අගය 0 ත් 1 ත් අතර අගයක් ගනී. 1 ට ආසන්න අගයන් ගන්නා රටවල් වල තත්ත්වය යහපත් සේ සලකනු ලැබේ. බොහෝ සංවර්ධිත රාජ්‍යන්ගේ මානව සංවර්ධන දර්ශකයේ අගය ද ඉහළ ය. මෙය ලෝකය පුරා බහුලව සංවර්ධනය මැනීම සදහා  භාවිතා කරනු ලබන මිනුමක් ලෙස සැලකේ. මානව සංවර්ධන දර්ශකය අද ලෝකයේ සංවර්ධනය මැනීම සඳහා භාවිතා කරන දැනට පොදුවේ පිළිගන්නා හොඳම මිනුම් වලින් එකකි.

කෙසේ වුවත් කුමන සංවර්ධන දර්ශකයක් හෝ ආර්ථික හෝ සමාජ සංවර්ධනය උදෙසා පරිසරය පසුබසින හැටි පරිසරය විනාශ වන හැටි  මනින්නේ නැත. මෙය කාලීන අවශ්‍යතාවයක් වුවත් එසේ මනින්නේ නම් ලෝකයේ සංවර්ධිත යැයි සලකන බොහෝ රටවල්වල සංවර්ධනය නමින් අත්පත් කරගෙන ඇති දේ පිළිබඳ තර්ක කිරීමට / නැවත සිතා  බැලීමට සිදු වේ. කාබන් වෙළදාම වැනි හොර බොරු පසෙක ලා පාරිසරික වශයෙන් නියම සංවර්ධනයක් අත්පත් කරගැනීමට ඇති ඉඩ කඩ පිළිබඳිව තිරසර සංවර්ධනය නම් මායාවෙන් සාකච්ඡාවට බඳුන් කළ ද එයින් සිමා මායිම් පැනවුයේ දුප්පතුන්ට මිස ධනවතුන්ට නොවේ. එනම් හොඳය යහපත් ය කියන තිරසර සංවර්ධනයේ සාහිත්‍ය විසින් මේ වන විට ගොඩ නඟා ඇති තර්කය වන්නේ දුප්පත් කම පරිසරය දුෂණය කරයි යන්නයි. මා නම් කිසිසේත් එකඟ නොවන මේ පුහු තර්කය මත ගොඩනැඟි ඇති ඊනියා තිරසර සංවර්ධන දැක්ම තුළ වසන් කරනු ලබන සැබෑ තිරසර සංවර්ධනය/ වඩාත් යහපත් තත්ත්වයන්, පාරිසරික වශයෙන් පොහොසත් නිවර්තන ලෝකය සතු යැයි මා සිතමි. නමුත් ආර්ථික වර්ධනය සංවර්ධනය යැයි කියන දැක්මෙන් වියුක්ත වන්නට ධනවාදි සංවර්ධන ප්‍රයත්නයන්ට කිසිදා නොහැකි නිසා ඒ රාමුව තුළ සංවර්ධන කුසලානය සිප ගැනීමට දඟලන සංවර්ධනය වෙමින් පවතින ලෝකයට නොහැකි වීම නිසා අර හිමි සංවර්ධනය අහිමි වී කාන්තාර මුල්‍යවාදී සංවර්ධනයක් අත් පත් කර ගැනීමට තුන්වන ලෝකය / සංවර්ධනය වෙමින් පවතින ලෝකය නොනිමි උත්සාහයක නිරතව සිටි.

2 comments:

  1. හොඳ වැඩක්. දිගටම ලියන්න. ජය!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නාමල් ආවට. ආයෙත් දවසක මේ පැත්තට එන්න කියලා ආරාධනා කරනවා..

      Delete

මේ බ්ලොග් ලිපි ගැන ඔබට හිතෙන දේ?

මහපොළොව ගැන දන්න අය ...