Mahaplawa Blog - A Geographical blog space


මහපොළොව මත සිටින අය

Tuesday, August 14, 2012

ශ්‍රී ලංකාවේ භූ විද්‍යාත්මක පරිණාමය / සැකැස්ම පිළිබද ඉදිරිපත්ව ඇති විවිධ අදහස් කිහිපයක්.



          ශ්‍රී ලංකාව ඉතාම පැරණි භූ ස්කන්ධයක් වේ. ශ්‍රී ලංකාව නුතනයේ අයත් වන්නේ ඉන්දු-ඕස්ට්‍රේලියානු තැටියට ය. (2006 දැවැන්ත සුනාමිය සමඟ මේ තැටිය දෙකඩ වෙමින් තිබෙන බව භූ විද්‍යාඥයන්ගේ අදහස වේ.)  නමුත් ලංකාවේ ඉතිහාසය වේග්නර්ගේ ඒකීය මහද්වීපයේ පැංජියාව නම් භූ ස්කන්ධය බිඳී ගොඩ්වානාලන්තය බිහිවීම දක්වා ඈතට විහිදේ. විශේෂයෙන්ම ගොඩ්වානාලන්තය බිහිවන අවස්ථාවේදීත් ලංකාව ඒ හා බැඳි, ඒ මත පිහිටි භූමියක් විය. පසුව සිදු ක්‍රියාවලි සමඟ එය බිඳි පාවි අද පවතින තත්ත්වයට පත්ව තිබේ. 20 වන සියවසයේ මුල් කාලය වන විට ශ්‍රී ලංකාවේ භූ උපත පිළිබඳ විවධ අදහස් ඉදිරිපත් වන්නට විය. එසේ අදහස් ඉදිරිපත් කළ අය අතර ආනන්ද කුමාරස්වාමී, ෆ්‍රෑන්ක් ඩෝසන් ඇඩම්ස්, ඩී.එන්. වාඩියා, කුලරත්තම්, විතානගේ  වැනි අය අදහස් ඉදිරිපත් කරන ලදී.

ඇඩම්ස් ගේ මතය:

මේ ඉන්නේ ඇඩම්ස් මහතා

ශ්‍රී ලංකාවේ භූ විද්‍යාත්මක පරිණාමය පිළිබඳ අදහසක් මුල් වරට ප්‍රකාශ කරන ලද්දේ ආනන්ද කුමාරස්වාමි විසිනි. ඔහු විසිවන ශත වර්ශයේ මුල් භාගයේ දී සිය අදහස ඉදිරිපත් කළත් විධිමත් අධ්‍යයනයක් හා බැඳි අදහසක් මුල් වරට ඉදිරිපත් කරන ලද්දේ ඛනිජ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක‍ ධුරයේ සිටි කැනේඩියානු ජාතික ෆ්‍රෑන්ක් ඩෝසන් ඇඩම්ස් (Frank Dosan Adames) මහතා විසිනි. ශ්‍රී ලංකාවේ හරස්කඩක් නිරන්තර පරීක්ෂණයට ලක් කරමින් ද  ලංකාවේ බොහෝ ප්‍රදේශ වල අධ්‍යයනයන්ගේ නිරත වී 1929  දී  ‘ශ්‍රී ලංකාවේ භූ විද්‍යාව’ (Geology of Ceylon) නමින් ලිපියක් සකස් කරන ලදී.
 එහිදි ඔහු ලංකාවේ එකිනෙකාගෙන් පැහැදිලි ලෙස වෙන් වන ඒවාට ආවේනික උසකින් යුතු සෝපාන (Rock Terrece) ආකාරයේ අඩතැනි 3 ක් දැකිය හැකි බව සඳහන් කොට ඇත. අඩතැන්නක් වශයෙන් හඳුනා ගන්නේ භූ විද්‍යාත්මක ඛාදන චක්‍රයේ අවසාන අවස්ථාවේ  තිබෙන භූ දර්ශනයකි. (එනම් සුළඟ, වැස්ස, ගලන ජලය ආදීය මඟින් මගේ දේශයේ මුල් කාලයේ ඇතිවු භූමි දර්ශනයන්  බොහෝ කාලයක් තිස්සේ ගෙවා දමා, දැන්; අර කී මුල් කාලීන භූ දර්ශනයන් පරිණාමයේ අවසන් අදියරයන් කරා ගෙනවිත් ඇත. )
ඕනෑම උස් භූමියක් ඛාදනයෙන් මෙවැනි අඩතැනි බවට පත් කරනු ලබන පොදු ගුණයක් ඛාදන චක්‍රයේ  පවතී. මෙසේ ඇඩම්ස් හඳුනා ගත්  අඩතැනි 3 වන්නේ;
පළමුවන අඩතැන්න: පහළ අඩතැන්න වශයෙන්ද හඳුනා ගනී. දිවයිනේ වෙරළබඩ තැන්න හා පහත් තැනිතලා පහළම අඩතැන්න වශයෙන් ඇඩම්ස් හඳුනා ගනී. සාමාන්‍ය උස මුහුදු මට්ටමේ සිට අඩි 100 ක් පමණ උපරිමයක් දක්වා විහිදෙන තැනිතලා බිමකි.
දෙවන අඩතැන්න: මධ්‍යම අඩතැන්න වශයෙන්ද හඳුනා ගනී දිවයිනේ අභ්‍යන්තර තැන්න ය. පහළ අඩතැන්නේ සිට අඩි 1000 ක් පමණ උසින් යුතු භූමි ප්‍රමාණයක් අයත් වේ.
තුන්වන අඩතැන්න:  ඉහළ අඩතැන්න වශයෙන්ද හඳුනා ගන්නා මේ අඩතැන්න ශ්‍රී ලංකාවේ කඳුකරයයි. ඇඩම්ස් ගේ අදහසට අනුව පැරණිම අඩතැන්න මෙයයි. මධ්‍යම අඩතැන්නේ සිට අඩි 5000 ක් 8000 ක් පමණ උසට විහිදේ.
මධ්‍යම කඳුකරය යනු ශ්‍රී ලංකා භූ ඉතිහාසය පුරා වරින් වර උතික්ෂිප්තයන්ට (ඉහළ නැඟිම් වලට) බඳුන් වු බිමක් බව ඇඩම්ස්ගේ අදහස විය.මේ උස් භූමිය වසර දහස් ගණනක් තිස්සේ නග්නිකරණයට (ඛාදනය වීම් වලට) හසුවී අඩතැනි  හා අද පවතින භූ දර්ශනය නිර්මාණය කර ඇති බවත් අදටත් දක්නට ලැබෙන දළ/මොහොර බෑවුම් (ඉන් අදහස් වන්නේ ප්‍රපාතාකාර බව වැඩි බෑවුම්ය ලෝකාන්තයේ ඇත්තේ මෙවැනි ප්‍රපාතාකාර බවකි.) වල දක්නට ලැබෙන ප්‍රතිරෝධක (ඛාදනයට ප්‍රති‍රෝධක වීම- ‍ඛාදනයට ලක් නොවීම) පාෂාණ නිසා සැකසි ඇති බවත් මෙම අදහසින් තවදුරත් ප්‍රකාශිතය.
 

ඇඩම්ස්ගේ මතයේ අන්තර්ගතයේ සාරාංශයක් ගෙන බලන්නේ නම් ඔහු ගේ අදහසට අනුව ලංකාවේ මධ්‍යම කඳුකර භූමිය කළක් තිස්සේ පැවත තිබේ.  පෘථිවියේ විවිධ ක්‍රියාවලින්ට අනුව යමින් කලකදී මධ්‍යම කඳුකරය ඔසවාගෙන අභ්‍යන්තර තැන්න නිර්මාණය වී ඇත. කළක් මේ දෙක පැවත තිබෙන අතර පසුව මේ පාෂාණ තල දෙකම ඔසවා ගෙන වෙරළබඩ තැන්න නිර්මාණය වී ඇත.




වාඩියාගේ මතය:


 මේ ඉන්නේ වාඩියා මහතා


ඇඩම්ස් ට පසුව ලංකාවේ ඛණිජ විද්‍යා දෙපාර්තමේනතුවේ නව අධ්‍යක්ෂක ධුරයට පත්වුයේ ඩී.එන් වාඩියා (Darashaw Nosherwan Wadia) ය. ඔහු  1941 දී ඇඩම්ස් ප්‍රකාශ කළ මතයට විරැද්ධ වු අදහසක් ලංකාවේ සැකැස්ම පිළිබඳව ඉදිරිපත් කරන ලදී.
කෙසේ වුවත් වාඩියාත් ලංකාවේ අඩතැනි තුනක් දක්නට ලැබෙන බව පිළිගන්නා ලදී. නමුත් මේ අඩතැනි වෙන් කරනු ලබන ලක්ෂණයන් හට ගත්තේ නග්ණිකරණය හේතුවෙන් නොව  කුට්ටි උතික්ෂිප්තයෙන් (Circumscribe Block Uplift) ඇති වු විභේදයන්ගෙන් බව ඔහුගේ අදහස විය.
          එසේම වාඩියා පැහැදිලි කරන ආකාරයට මධ්‍යම කඳුකරය ඇති වී තිබෙන්නේ හෙමින් ‍නොකඩවා සිදුවු සිරස් උතික්ෂිප්තයන් නිසා නොව ජුරාසික නම් භු යුගයේ සිට තෙවතාවකදී සිදු වු  කුට්ටි උතික්ෂිපතයන් හේතුවෙනි. මේ සිද්ධි සමඟ ඉන්දියාවේ නිල්ගිරි නම් වු කඳු ඇතිවීමේ සිද්ධියද ඔහු එකට සම්බන්ධ කරන ලදී. 

          වාඩියාට අනුව පැරණිම භූමිය මධ්‍යම කඳුකරය නොවේ. ඔහුට අනුව පැරණිම භූමිය වන්නේ වෙරළබඩ අඩතැන්න ය. ජල (ගංගා) ඛාදනය භූගෝල විද්‍යා ආදි විශයන් හඳුනා ගන්නේ සාමාන්‍ය ඛාදනය ලෙසයි. මේ ගංගා ඛාදන චක්‍රයේ ඉතාම පැරණි භූ ලක්ෂණ දක්නට ලැබෙන්නේ මධ්‍යම කඳුකරයේ නොවේ. මධ්‍යම කඳුකරයේ දක්නට ලැබෙන්නේ ඉතාම යෞවන අවස්ථාවේ තිබෙන භූ රූපයන් ය. මෙවැනි පැරණි ම ඛාදන අවස්ථා දක්නට ලැබෙන්නේ වෙරළබඩ අඩතැන්නේ යි. මේ හේතුවෙන් ලංකාවේ වඩාත් පැරණිම භූ ස්කන්ධය වන්නේ වෙරළබඩ තැන්න ය. ඒ අනුව ඔහු ප්‍රකාශ කළ ආකාරයට ජුරාසික අවදියේ දී වෙරළබඩ තැන්න සාගරයෙන් මතුව තිබේ. දෙවන අඩතැන්න මයෝසීන යුගයේ දී වෙරළබඩ තැන්න සහිත භූමිය තුළින් කුට්ටියක් වශයෙන් උතික්ෂිප්ත වී ඇත. අවසානයට මධ්‍යයම කඳුකරය ප්ලයොස්ටෝසීන යුගයේ දී උතික්ෂිප්ත විය.

          ලෙයිටර්ගේ මතය:

          1946 දී ලෙයිටර් ලංකා විද්‍යාභිවර්ධන සංගමයට ඉදිරිපත් කළ ‘ලංකාවේ මධ්‍යම කඳුකරයේ ජලවහන රටාව හා නග්නිකරණය ක්‍රියාවලිය’ යන ලිපියෙන් ශ්‍රී ලංකාවේ භූ විශමතා පරිණාමය පිළිබඳ නව අදහසක් පලකරන ලදී. ඔහුත් ලංකාවේ අඩතැනි තුනක් තිඩබන බව පුකාශ කරන ලදී. නමුත් ඔහුට අනුව එවා නිර්මාණය වුයේ ඛාදනය හේතුවෙනි. විවිධ ඛාදිත මට්ටම් වලදී ඒ ඒ ඛාදනයන් වල ක්‍රියාකාරීත්වය අවහිර වීම හේතුවෙන් ඒ අවහිර වු ප්‍රදේශයේ පමණක් ඒ ප්‍රදේශයට ආවේනික පරිණාමයක් සිදුව ඇත. මෙය භූගෝල විද්‍යාවේ දී හඳුනා ගන්නේ අපචක්‍රය ලෙසයි.
          ඔහු මේ බව සනාථ කිරීමට දිවයිනේ පිහිටි අපචක්‍ර ගණනාවක්ම පෙන්වා දී ඇත. ඔහු කී ආකාරයට මහනුවර සානුවේ සාමාන්‍ය උස අඩි 1000 ක් පමණ වන අතර අලගල්ල (3390), කඩුගන්නාව (3000),  මැණික්දිවෙල (2000), හන්තාන (4000), අලවතුගොඩ හා දුම්බර ප්‍රදේශ (2000), හුන්නස්ගිරිය (1000), ආදි බිම්; විවිධ උසකින් යුතු වන්නේ මේ අපචක්‍ර නිසා බව ලෙයිටර්ගේ අදහසයි.
          ලෙයිටර් සිය මතය සනාථ කිරීමට ශ්‍රී ලංකාවේ ජලවහන රටාව ද උදාහරණයට ගෙන ඇත. ඔහු පැහැදිලි කරන ආකාරයට ලංකාවේ තිබිය යුතු වන්නේ අරීය ( Radial)  ජල වහන රටාවකි. නමුත් මේ වන විට පිහිටන්නේ ශාඛීය ජලවහන රටාවකි. ( මෙය නිවැරදි කිරීමකි: ලෙයිටර් ගේ මතය විසින් මේ සාකච්ඡා කරනුයේ ප්‍රාදේශිය ජලවහනය පිළිබඳව ය.) මෙසේ ජලවහන රටාව වෙනස්ව ඇත්තේ ද විවිධ භෞත්ක අවහිර වීම් එනම් අපචක්‍ර හේතුවෙනි. සාමාන්‍යයෙන් ජලවහන රටාවක් (A drainage pattern) දක්නට ලැබෙන ආකාර කිහිපයක් ඇත. ඒවා මුලික වශයෙන් සකස් වන්නේ ප්‍රධාන ගඟට අතු ගංගා එකතු වන ආකාරයෙනි.

  මුල් අයිතිකරැවන්:  http://alpha.sd41.bc.ca/depts/socials/Geog/ae.htm

01.  අරිය( Radial) ජල වහනය.
කඳුකර ප්‍රදේශයෙන් ආරම්භ වී විවිධ දිශාවන්ට ගලන ගංගා විසින් මේ ජලවහන රටාව නිර්මාණය කෙරේ.
02.  ශාකීය (dendritic) ජලවහනය.
ප්‍රධාන ගංගාවට අතුගංගා එකතු වන්නේ ගසක අතු ඉති විහිදි ඇති ආකාරයට නම් ඒ ශාකිය ජලවහනය යි.
http://en.openei.org/w/index.php?title=File:Slmetst_224.pdf&page=1
   
          ලංකාවේ මහවැලි ගඟ ඇරැණාම අනෙක් ගංගා සියල්ල ගලා යන්නේ මේ වගේ හැඩතලයක් මවමින් ( නිවැරදි කිරීමයි: ප්‍රාදේශීය වශයෙන් මෙවැනි (එනම් ශාඛිය) රටාවක් දක්නට ලැබුනත් සමස්ත ජලවහන රටාව පොදුවේ බලන විට අරීය ජලවහන රටාවක් ගනී). මහවැලි ගඟ ගලන්නේ විභේද රේඛාවක් දිගේ නිසා එයාගේ හැඩය සුවිශේෂීයි. (මේ ලංකාවේ පිංතුරයක් නොවේ.) කොහොම උනත් ගඟක් ගලන මඟ හරි සුන්දරයි ඒකේ ගලන රටාව අධ්‍යයන කරද්දි දැනෙන කෘතීම බවට වඩා. හැම  ජලධාරාවක්ම කියන්නේ  ඒයාලාගේම කතාවක්. ඒත් අධ්‍යයන පහසුවට මේ වගේ ගංගා ගලද්දී ඒකට ශාඛීය කියලා කියනවා .


මේ මතයන්ට විරැද්ධව / තවත් දේ එකතු කරන / වෙනස්ම අදහස් පලකරන  පසුකා‍ලයේ ඉදිරිපත් වු අදහස් කිහිපයක් ඊළඟ ලිපියෙන් පැහැදිලි කරන්නයි බලාපොරොත්තුව...


පහත තියෙන සේරම පොත් මට කියවන්න නොලැබුනත් කියවන්න ඉතාම වටිනා පොත්:
  • ලංකාවේ මුහුණුවර සැලැස්ම - කේ. කුලරත්නම් - ලංකා විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා සඟරාව - 1953
  • ලංකාවේ භූ විද්‍යාව - පී.ජී.කුරේ -1967
  • ලංකා භූගෝල විද්‍යාව - එල්සි කුක් - 1931
  • ලංකාවේ මධ්‍යම කඳුකරයේ ජලවහන රටාව හා නග්ණීකරණ ක්‍රියාවලිය. - එන්. ලෙයිටර් - 1946
  • ශ්‍රී ලංකාවේ භෞතික පදනම - සාරානාත් රළපනාව - (1980)
  • විශ්වයේ හා පොළවේ පරිණාමය - මහාචාර්යය ජී.ඩබ්ලිව්. විතානගේ (1995)
  • අසිරිමත් හොර්ටන් තැන්න - එල්. පී. විජේරත්න - (2004)

          මේ  පොත් / අදහස් ඇසුරැ කරන් තමා ලංකාවේ භූ විද්‍යාත්මක පරිණාමය ගැන කතා කරන කවුරැත් තමන්ගේ අදහස ප්‍රකාශ කරන්නේ.

           මා විසින් අපැහැදිලි කර තිබු අදහසක් නිවැරදි කරන්නට මා යොමු කළ AmilaArt සොයුරාට ස්තූති වන්ත වෙමි..!

12 comments:

  1. ඉතාම වටිනා ලිපියක්,හුගක් දේවල් තියනවා ඉගන ගන්න.

    මට මතක හැටියට අපිට සමාජ් අධ්‍යයනය වලට කියලා දීල තියෙන්නේ ලංකාවේ තියෙන්නේ අරීය ජල වහන රටාවක් කියලා (මතකය අවුරුදු 13 -14 පරණයි ) ඒක වැරදිද එතකොට

    ReplyDelete
    Replies
    1. අමිලගේ මතකය හරි. මමයි වැරදි. මං මෙතන පැහැදිලි කිරීමේදී කරුණ නිවාරදිව පැහැදිලි කරලා නෑ. ලංකාවේ මැද්දේ උනත් පැත්තකට බර වෙච්ච මැදි කඳුකරය මුල් කරගෙන ගලන ගංගා සමස්තයක් වශයෙන් බැළුවහම අරීය ජලවහන රටාවකින් යුක්තයි. නමුත් ප්‍රාදේශිය වශයෙන්(ඒ කියන්නේ ටිකක් ළඟින් බැළුවොත්) ගත්විට මේ ගංගා ගලා බසින්නේ දිය කඳුරු/ ඇළ දොළ/ අතු ගංගා/ අපිශාඛා/ ආදිය විශාල ප්‍රමාණයක් එකතු කරන්. මෙන්න මෙහෙම බලන කොට මේ ජලවහන රටාවන් ශාකීයයි(සමහර විටෙක ජාලාකාරයි) කියලා මේ ලිපිය මඟින් පැහැදිලි කළ යුතුයි.

      බොහොම ස්තූතියි මේ කරුණ මතුකළාට. ගොඩක් වෙලා ගිහින් දැක්ක නම් නිවැරදි කළත් පලක් වෙන්නේ නෑ.

      Delete
    2. ඔන්න අමිල මා එය නිවැරදි කළා. ඔබට ස්තූතියි නැවතත්.

      Delete
  2. වටින ලිපියක්.. වටින උත්සහයක්..
    සුබ පැතුම්..!!! :)

    ReplyDelete
    Replies
    1. මා දිරිමත් කළාට ස්තූතියි නන්දු!

      Delete
  3. භූගෝල විද්‍යාව මන් ආසම විෂයක්... මෙවැනි බ්ලොග් එකක් කිරීම ගැන ස්තුති කරනවා. මේ ක්ෂේත්‍රය ගැන ලංකාවේ අයගේ උනන්දුව වැඩි වේවි කියා හිතනවා. ජය

    ReplyDelete
    Replies
    1. ඔබටත් ස්තූතියි අරා ඇවිත් කියවලා අදහස් දැක්වුවාට. ලංකාවේ භූ ගෝල විදළ්‍යාවට තියෙන තැන වඩාත් සුවපහසු කරන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක් තමයි. ආයෙත් දවසක මහ‍පොළොව පැත්තේ ඇවිත් යන්න එන්න.
      සුබ දවසක්.

      Delete
  4. මට අනුතීර ප්ලවිතය ගැන පොඩ්ඩක් විස්තරයක් දෙනවද ?

    ReplyDelete
    Replies
    1. අනුතීර ප්ලාවිතය කියන්නේ වෙරළ ක්‍රියාවලියක්.

      මේක මං පැහැදිලි කරා වෙරළ නිධි සාදනය ගැන ලිපියෙදි. එත් ඔබ අහන නිසා ලියන්නම් ආයේ.

      අනුතීර ප්ලාවිතය කියන්නේ මෙහෙම දෙයක්(මං ඉතාම සරළව කියන්නම්)
      *වෙරළට රළ එනවා ඔබ දැක තිබෙනවා.ඇවිත් ආයේ යනවා දැකලා තියෙනවා නේද?

      *හරි.. එහෙම දැකලා තියෙනවා නම් හොදට මතක් කරන්න. ඔන්න රළක් එනවා. ඒක ආපහු යන්න යද්දි තවත් එක මුහුදෙන් එමින් තියෙනවා වෙරළ වෙත.

      * මොකද වෙන්නේ දැන්. මුහුදෙන් එන එකයි වෙරළේ ඉඳන් යන එකයි දෙක හැප්පෙනවා. නේද? දැකලා තියෙනවාද ඕක

      * ඔන්න ඔහොම හැප්පෙද්දි ඇනෝ, වෙරළ ඉදන් යන රළේ තියන වැලි වගේ භාරයත් අර මුහුදේ ඉදන් ආපු රළේ හැප්පෙනවා

      *එහෙම හැප්පුන නිසා වැළි ඇතුළු භාරය එතන තැම්පත් වෙනවා. ඒ නිසා භාරය වෙරළට සමාන්තරව තැම්පත් වෙනවා. වෙරළ වැටියක් වගේ.

      *මේ ගැන ඔයාට සිංහලෙන් කියවන්න පුළුවන් පාරිසරික භුගෝල විද්‍යාව පොත (අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ) 78 පිටුවෙන්.
      ඒ වගේම සිංහලෙන් අනුතීර ප්ලාවිතය කියලා ටයිප් කරන්න. සිංහල විකිපීඩියා පිටුවක් තියෙනවා වෙරළ ආශ්‍රිත භුගෝල විද්‍යාව කියලා. ඒකෙත් තියෙනවා. මං කිව්වා වගේ මගේ ලිපියකත් යාන්තමට ලියලා තියෙනවා.
      අනික තමා long-shore drift කියලා ගූගුල් ඉමේජ් බලන්න. ඒවාගෙනුත් මේක පැහැදිලි කරනවා. එත් එහෙම පැහැදිලි කරද්දි එයාලා කියනවා මං අර කිව්වා වගේ මුලින්ම වෙරළට රළ එන්නේ අදේටය ආපහු යන්නේ සෘජුකෝණිවය කියලා. කොහොම ඇවිත් කොහොම ගියත් මේ දෙන්නා හැප්පෙද්දි වෙන සීන් එකක් ගැන තමයි ඔයා අහන්නේ.

      * පැහැදිලි නැත්නම් ආයේ අහන්න. වෙනස් විදිහකට ආයේ කියා දෙන්නම්.

      *සුබ දවසක් ඇනෝ

      Delete
  5. ලංකාවේ කඳුකරය නිර්මාණයට අවශ්‍ය වන බලය සැපයෙන්නේ කවර කාරණාවක් නිසාදැයි මට පැහැදිලි නැහැ. ඉන්දියානු උප මහද්වීපය කලකදී වෙන්ව තිබි එය ආසියානු විශාල භූ තැටිය මත ගැටීම නිසා හිමාල කන්ද නිර්මානය වී ඇති බවක් මා අසා තිබෙනවා. මුහුදු පතුලේ සිටින ජීවින් ගේ කොටස් හිමාලයේ සමහර කොටස් වල දකින්නට තිබිමෙන් මේ මථය සනාථ වෙලා තිබෙනවා. ඒ වගේ හුණුගල් කොටස් සමහර කඳකර පැති වලත් තිබෙනවා. ඩොලමයිට් යන මේ වා කලකදී මුහුද තිබූ කාලයේ ඇතිවූ ඒවාද නැතහොත් භූ තැටි උප්පත්තියේදීම ඇතිවූ ඒවාද යන්න සොයාබලා දැනගත යුතු වෙනවා.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ කඳුකරය නිර්මාණය වීමට අවශ්‍ය බලය සැපයුනේ පෘථිවි අභ්‍යයන්තරික ක්‍රියාවලිය නිසා. වඩා හොද පැහැදිලි කිරීමක් සඳහා ඔබට හැකියි මෙහි තිබෙන පෘථිවියේ තැටි කල්පිතය ගැන කියවන්න. එහෙත් එය නොහැකි නම්, පිළිතුර වන්නේ පෘථිවි අභ්‍යන්තරයේ පවතින සංවහන ධාරා හා විකිරණශිලි මුලද්‍රව්‍ය මඟින් ඒ අවැසි ශක්තිය සපයන බවයි.

      Delete
  6. ගොඩක් හොඳ ලිපියක් ඔයාට ස්තුති වෙනවා මේ වගේ වටිනා ලිපි දැමීම වෙනුවෙන්.... ඒ වගේම සුබ පතනවා ඔබේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන්.............

    ReplyDelete

මේ බ්ලොග් ලිපි ගැන ඔබට හිතෙන දේ?

මහපොළොව ගැන දන්න අය ...