Mahaplawa Blog - A Geographical blog space


මහපොළොව මත සිටින අය

Wednesday, August 29, 2012

හදබිම, ගැටිබිම හා බැඳි තවත් අදහස්



         
ගෙවී ගිය සියවස් කිහිපය තුළ ලෝකයේ වැඩිම කාලයක් බලය රදවා ගත්තේ කිනම් ජාතියද? ඒ යුරොපින් ය. ඔවුන් එසේ බලවත් වුයේ කෙසේද? යන්න විවිධ අයගේ විමසීමට හේතු වු කාරණාවක් විය. තවත් අතකට ලෝකයේ නොනිමෙන යුධ ගිනි ඇති අස්ථාවර දේශපාලනික පසුබිමක් සෑමදාම පාහේ දක්නට ලැබෙන ප්‍රදේශ කිහිපයක් තිබේ. උතුරු අප්‍රිකාව, මැද පෙරදිග, දකුණු ආසියාව හා නැගෙනහිර ආසියාව ආදී ප්‍රදේශ මීට උදාහරණය. මේවායේ දේශපාලනික බලය ස්ථාවර ව රඳා පැවතිම දක්නට ලැබෙනුයේ කෙටි කාලයක් තුළ පමණි. කුමන ආකාරයක පාලනයක් වුවද මේ භූමිය දරා ගනු ලබන්නේ ඉතා සීමිත කාලයකි.  ටියුනිසියාව, ලිබියාව, චැඩ්, ඊජිප්තුව,   සුඩානය, මාලි, ඊශ්‍රායලය හා පලස්තීනය, ඉරානය, ඉරාකය, ඇෆ්ගනිස්ථානය, පකිස්ථානය තෙක් රටවල් තුළ පසුගිය සමයේ පැහැදිලි මුල බීජයක් දැකීමට අපහසු අර්බුධ ගණනාවක් ඇති විය. ඒවා හුදෙක් ම හුදකලා සිද්ධි ලෙස ඇති වු ඒවාද?
 ලෝකයේ බලවතා මෙන් ම දුබලයා ද එසේ එම තත්ත්වයට පත් වීමට හේතු වී ඇත්තේ එම රාජ්‍ය සතු භූ දේශපාලනික වටිනා කම අනුව බව භු දේශපාලනයේ ප්‍රධාන පිළිගැනීමකි. භු දේශපාලනය යනු භෞතික පරිසරයේ පවතින සියළුම සංරචකයන් ඒ රටේ දේශපාලනය කෙරෙහි බලපාන ආකාරය අධ්‍යයනය කරනු ලබන ක්ෂේත්‍රයකි.

(සිතියම ගත්තේ: http://vijeshjain.com/)

මිනිසා ශිෂ්ටාචාර ගත වන්නේ කවරදා ද හේ ඊට පෙර සිටම දේශපාලනය හා බලය මෙන් ම එය අත්පත් කරගැනීම  හා පවත්වාගෙන යාම පිළිබඳ අදහස් සංවර්ධනය කොට තිබේ. පරිණාම ගමනේ දී රංචුවක නායකයා හා බලවතා යන දෙදෙනා ම එක් අයෙකු විය. එදා මෙන් ම අද ද නායකත්වය හා බලකාමීත්වය කෙරෙහි නොනවතින මිනිස් අරගලයක් ඇත. එම අරගලය විවිධ වකවානු වල විවිධ නාමයන් සහිතව ලෝකයේ දක්නට ලැබෙන පොදු බවක් ද දක්නට ලැබේ. මෙම බලවත් පාලකයා එදා සිට ම බලවත් ම භූමිය අත්පත් කරගැනීමේ පොදු බල තණ්හාකරුවෙක් වේ. දේශයක් / රාජ්‍යයක් පාලනය කරනු ලබන නියාම ධර්මවලට වඩා භූමියක් පාලනය කිරීම පිළිබඳ නියාම ධර්මයන් තරමක් වෙනස් වේ. යම් පාලකයෙක් කොතරම් රාජ්‍යය පාලනය කළ ද එය එහි භූමියේ අවශ්‍යතාවයට අනුව හැඩ‍ නොගැසෙන තාක් එම පාලනය, පාලනයක් ලෙස ස්ථාවර නොවේ. යම් අවකාශයක් / භූමියක් වැළඳ නොගන්නා දේශපාලනයක් වෙත අවකාශය / භූමිය දක්වන්නෙත් එවැනි ම බැඳිමකි. එනම් මැන්හැටන් දුපතේ දේශපාලනයෙන් ලක්දිව දේශපාලනය ඉඳුරාම වෙනස් හා ස්වාධීන වශයෙන් ආවේනිකත්වයක් දැරිය යුතුය.
  අද ලෝකයේ දක්නට ලැබෙන සමහර දේශපාලනික සිද්ධි විග්‍රහ කළ හැකි භූ දේශපාලනය නම් ක්ෂේත්‍රය තවමත් වර්ධනය වෙමින් පවති. අවකාශීය වෙනස / ප්‍රාදේශිය විවිධත්වය මඟින් දේශපාලනයේ විවිධත්වයක් ඇති කරනු ලැබේ. ජාත්‍යන්තර දේශපාලනය සකස් වන්නේ මෙම ප්‍රදේශීය විවිධත්වය  පදනම කරගෙන ඒ මත පිහිටමින් ය. එංගලන්තයේ වාසය කළ අද්‍යාපනයෙකු, දේශපාලඥයෙකු හා තනාපතිවරයෙකු වු හැල්ෆඩ් ජේ. මැකින්ඩර් ගේ (1861-1947) හද බිම් සංකල්පය (Heartland Theory) හෙවත් ලෝකයේ බලවන්ත බව රඳා පවත්වා ගත හැකි භූමිය පිළිබඳ අදහස ඉදිරිපත් වුයේ 1904 දී ය. ‘ඉතිහාසයේ භූගෝලීය කේන්ද්‍රය’  (The Geographical pivot of history) නමින් දීර්ඝ ලිපියක් එංගලන්තයේ රාජකීය භූ ‍ගෝල විද්‍යාඥයන්ගේ සංගමයේ සඟරාවේ මුලින් ම මෙය ඉදිරිපත් කරමින් වැඩිදුර අදහස් දක්වමින් පැහැදිලි කර තිබේ. ඒ කාලය වන විට ලෝකයේ විප්ලවීය සොයා ගැනීම් රාශියක් නිසා ප්‍රවාහන ක්ෂේත්‍රය ඉතා වේගයෙන් දියුණු වී තිබිණි. දුම්රිය ප්‍රවාහනය ප්‍රවාහන ක්ෂේත්‍රයට එක්වීමත් සමඟ සාගරික බලයට ලෝකයේ එතෙක් පැවති බලය නිමා වු බවත් එළඹෙන යුගය ගොඩබිම් බලය මත පදනම් වන බවත් මැකින්‍ඩර්ගේ අදහස විය. ඒ අදහස් මත පිහිටා ඔහු සිය අදහස ඉදිරිපත් කරන ලදී. අතීතයේ ලොව එතෙක් පැවති විශිෂ්ඨතම සාගරික බලය යුරෝපින් සතු වු බැවින් ඔවුන් ලෝකයේ බලවත්ම ජාතින් බවට පත්ව ලෝකයම පාලනය කළාක් මෙන් ගොඩබිම් බලයෙන් යුරේෂියානු භූමිය ලෝකයේ බලවත්ම බිම / භූමිය වන බව මැකින්ඩර් පෙන්වා දෙන ලදී. අවකාශිය වශයෙන් නියතිවාදී අදහසක් ගත් මෙම බලවත් යුරේෂියානු බිම ඔහු හැදින්වුයේ ලෝකයේ හද බිම ලෙසය.
 මෙම අදහස මේ දක්වාම සංස්කරණය වෙමින් හා පිළිගැනීමට පාත්‍ර වෙමින් තිබෙනවා පමණක් නොව ඉතා  ම වැදගත් වන්නේ ලෝකයේ දේශපාලනික තීන්දු තීරණ සඳහා ද එම සංසිද්ධි විග්‍රහයට ද නැවත නැවත භාවිතා කරමින් තිබේ. 1919 දී ත් 1943 දී ත් ඔහු විසින් මෙය  සංකල්පය සංශෝධනය කරන ලදී.

මේ ඉන්නේ සර් එච්. ජේ. මැකින්ඩර් මහතා


ලෝකයේ බලය ලබා ගැනිමට නම් හද බිමේ බලය ලබා ගත යුතු බව මේ අදහසින් ප්‍රධාන වශයෙන් කියවේ. හද බිම පාලනය කරන්නා ලෝකය පාලනය කරන බව මේ අදහසින් එකල කියවුණු නිසා ලෝකයේ බලවතුන්ගේ අවධානය ඊට යොමු වුයේ නිරායාසයෙනි. 1919 දී මැකින්ඩර් ඔහුගේ අදහස පහත සදහන් ආකාරයට ලඝු කළා.

"Who rules East Europe commands the Heartland;
who rules the Heartland commands the World-Island;
who rules the World-Island controls the world."

 (නැගෙනහිර යුරෝපය පාලනය කරන්නා හදබිම ද පාලනය කරයි; හද බිම පාලනය කරන්නා ලෝක දුපත පාලනය කරයි; ලෝක දුපත පාලනය කරන්නා මුළු ලෝකයම පාලනය කරයි.)



 මෙම හද බිම පිහිටා ඇත්තේ බටහිර දෙසින් බොල්ටික් මුහුදේ සිට යෙනිසි ගංගාව තෙක් සැතපුම් 2500 ක් පමණ දුරට හා ආක්ටික් සාගරයේ සිට තුර්කිය, මොංගෝලියාව, ආදී ප්‍රදේශ දක්වා වේ. මෙසේ හද බිම සතු වන සමස්ත භූමි ප්‍රමාණය වර්ග සැතපුම් මිලියන 4.25 ක් පමණ ය. හද බිම සතු ප්‍රධානම බලවේගය වන්නේ එය ස්වභාවික වශයෙන් ආරක්ෂා වී තිබිමයි. හද බිමට සතුරු හමුදාවක් ප්‍රවේශ වන්නේ නම් එය ඉතාම දුෂ්කර කටයුත්තක් වේ. එය නැගෙනහිර යුරෝපය නමින් හැඳින්වුවත් නියම වශයෙන් පිහිටා ඇත්තේ රැසියාව මුල්කරගෙන යුරේෂියානු කඳු වැටිය පාමුළ පටන් ය. 

යුරේෂියාවේ යුරල් කඳුවැටිය ස්ථාන ගත වී ඇති ආකාරය

 
 
ලෝක දුපත (World-Island) නමින් මැකින්ඩර් හදුනාගත්තේ ආසියාව අප්‍රිකාව හා යුරෝපය යන එක්ව පිහිටි දැවැන්ත ගොඩබිම් ප්‍රදේශය යි. ඒ ප්‍රදේශය ඒ වන විට ලෝකයේ ප්‍රබලම අධිරාජ්‍යයන්ගෙන් සමන්විත වු නිසා දේශපාලනික වශයෙන් එය වඩාත් ප්‍රබල වුවා. එමෙන්ම ඒ සතුව පැවති විවිධ සම්පත් හා මානව ශක්තිය නිසා එහි බල සම්පන්න බව තවත් වැඩි දියුණු විය. ඉතා ප්‍රබල දුපත් රාජ්‍යයන් වන මහා බ්‍රිතාන්‍ය, ජපානය ආදි දුපත් ලෝක-දුපත අවට ඉතා ආසන්නයේ ම පිහිටා තිබිණි. එය ලෝක දුපතට සමහර අවස්ථාවක දී ආරක්ෂාවක් විය. ඒ දුපත් ප්‍රබල නිසා ඒවායේ සාගර කලාපය පසු කර එන හමුදාවක ගමන ප්‍රමාද වේ. අනෙක් දුපත් වශයෙන් සැලකු මහා භු ස්කන්ධ පිහිටියේ භූගෝලීය වශයෙන් ඈත්ව හෝ දුෂ්කර ආකාරයට ය. මේ අනුව ලොකයේ පවතින වටිනාම හා බලවත්ම භූමිය වන  හද බිම භුදේශපාලනික වශයෙන් වැදගත් වන්නේ යම් රාජ්‍යයක් එහි සිය බලය ස්ථාපනය කර ගන්නේ නම් එවිට මුළු ලෝකය පුරාම සිය බලය පතුරුවා ලිය හැකිවීමයි. මැකින්ඩර් කියු ආකාරයට හද බිම පාලනය කරන්නා කවුරු වුවත් ඒ පාලකයාට හිමි වන බලය හුදෙක් දේශපාලන බලයකට පමණක් නොවේ. ඔහු ලෝකයේ සම්පත් වලින් 50% කට වඩා පාලනය කරන්නා බවටත් පත් වනවා.
ගුවන් යානාව නොතිබු බැවින් එකල පැවති පාබල හා නාවික යුධ ශක්තියේ සිට සිතා බලන විට,
(*). ආක්ටික් සාගරය මතින් යුද හමුදාවකට නාවික මඟ ඔස්සේ ප්‍රවේශ වීමට ග්ලැසියර වලින් ගහන සාගරය අවකාශයක් ලබා නොදේ.
(*).  යුරෝපය වැනි ස්වාධින රාජ්‍ය බහුල බිමක් මතුපිටින් පාබල හමුදාවක් යැවීම අතිශයෙන් ම  බැරෑරුම් කාර්යයකි. රාජ්‍යයක් ගණාවකගේ සහයෝගය අවශ්‍ය වේ. පුද්ගලික බව හා නිදහස අගයන රාජ්‍යන් පද්ධතියක් ලෙස ඔවුන් අසල්වැසියා අමනාප කරගැනීම එඟ වීම පිළිබඳ ගැටළු තිබේ.අනෙක් අතට සියවස් ගණනාවක් තිස්සේ ලෝකයේ අධීරාජ්‍යත්වය ඉසිලු යුරෝපය යටත් කරගැනීම ලෙහෙසි නොවීම.
(*). ඉන්දියානු සාගරය හරහා ආසියාවෙන් ප්‍රවේශ වන්නේ නම් එයද යුරෝපය මෙන් ම බෙදි  ගොස් නැතත් ජාතිවාදි, දේශප්‍රේමී, බහුජාතික රාජ්‍යයන් ගොන්නක් මතින් යෑම දුෂ්කර වීම.
(*). පැසිපික් සාගරය හෝ බීරිං සමුද්‍ර සන්ධිය උපයොගි කරගත් විට මහා සයිබිරියානු තැන්නේ අතරමං වීම හා පාබල හමුදාවක් අනවශ්‍ය වෙහෙසකට පත් වීම.
(*).  හදබිම සතුව උතුරු යුරෝපානු තැන්න වැනි  සාරවත් පසක් ඇති ප්‍රදේශ නිසා යහපත් කෘෂිකාර්මික වටපිටාවක් ද කාර්මික ආර්ථිකයේ බලපැවැත්මට අවශ්‍ය සාධකයන් ද මෙහි ම පැණ නැඟ  තිබෙන නිසා එම භුමියේ ස්ථාවර වන දේශපාලනයේ පැවැත්ම ස්වාධීනව ගෙන යාමේ දී එතරම් ගැටළු මතු නොවීම.
(*). උතුරු අක්ෂාංශිය ග්ලැසියර ගහණ සාගරය, යුරල් / කාපේතියන් කදු, පාමිර් සානුව හා හිමාලය කඳු පංති, ගොබී කතර, සයිබිරියානු තැන්න, ආදින් ගේ ස්වභාවික ආරක්ෂාව හද බිම සතු විම. එනම් හද බිම ගිරිදුර්ග, වන දුර්ග, ජල දුර්ග ආදියෙන් සමන්විතව ආරක්ෂා සහිත ස්ථාන ගත වි තිබිම.
(*). ඇමරිකාව හා යුරොපය /රුසියාව අතරමැද උතුරු ධ්‍රැවය පිහිටා තිබීම නිසා බලවතුන්ට ගැටීමට ඇති අවකාශය දුරස්ථ කිරීම.
 මේ අනුව බලන විට ‍හද බිමට ප්‍රවේශ විය හැකි මාර්ග අතලොස්ස අතුරෙන් බොල්ටික් මුහුද හා කාපේතියන් කදු ආශ්‍රීත ප්‍රදේශයන් වැදගත් වුවත් එය පිහිටා තිබු‍නේ හද බිමට වාසි සහගත ආකාරයටයි. ඇෆ්ගනිස්ථානය හරහාත් පිවිසුම් මඟක් වැටි තිබුණා. 1904 දී මේ අදහස ඉදිරිපත් වීම හා ඊට ටික කලකට පසු රැසියානු විප්ලවය ආරම්භ වීම ලෝකයේ බලවතුනගේ කනස්සලට හේතු වු සිද්ධියක් විය. එහෙත් මේ යුද්ධය හදබිමේ බලය තහවුරු නොකිරීම වැදගත් සිද්ධියක් බවට පත් වුණා. හද බිම පරාජය සාගරයෙදී නොව භූමිය තුළ බලවත් බිමක් වන නිසාත් ජපනුන් දුපතක් ලෙස සාගරය ඇසුරු කිරීමේදී දැක්වු ප්‍රවිණත්වයත් හේතු වී ඇතැයි විද්වතුන් පවසයි. මේ හේතුවෙන් හද බිමට එහි අසල්වාසීන්ගේ මිත්‍රත්වය ද අත්‍යාවශ්‍ය බව පෙනිණි. හද බිමේ නව දේශපාලනයක් ස්ථාපනය කළ ලෙනින් 1917 විප්ලවයෙන් පසුව විවිධ විරෝධතා මැද ජර්මනිය සමඟ ගිවිසුමකට එළැ‍ඹෙන්නේ මේ නිසා බව ද සිතිය හැක.
රුසියාව විප්ලවීය මගක් ඔස්සේ ධනවාදි දේශපාලයෙන් වියුක්තව තමාටම ආවේණික දේශපාලනයකට අවතීර්ණ වීම හදබිම පිළිබඳ සංකල්පයේ මහා ප්‍රතිරූපයක් හා අවධානයක් ලබා ගැනීමටත් සමත් විය. දේශපාලනික වශයෙන් ප්‍රතිවාදි පිලක් රුසියාව විසින් හද බිම තුළ ම ගොඩනඟා හදබිම තුළ බලවත් වුවහොත් දැන් දේශපාලනයේ සිටින බලවතුන්ට එය යන එන මං නැති කරන තත්ත්වයක් බව අවබෝධ කරගත් නිසා සීතල යුද්ධයට පදනම වැටුණු බව මැකින්ඩර්වාදීන්ගේ අදහසයි. මේ අහසින් කටයුතු කල සීතල යුද්ධයේ යම් සංහිඳියාවක් දක්කට ලැබෙන්නේ ‍විවිධ ක්‍රියාමාර්ග ප්‍රතිසංස්කරණ මතින් සෝවියට් රුසියාව අඩපණ කළ පසු ය.
හද බිම සහ නුතන බලවතා සිටින්නේ මුහුණට මුහුණලා ය. නමුත් ග්ලැසියර ගහණ සාගරය නිසා එකිනෙකා ගෙන් දුරස්ථය. අනෙක් අතට පටු මුහුදු සීමාවකින් (බීරිං සමුද්‍ර සන්ධිය) වෙන් වන රටවල් දෙක කැනඩාව හා සයිබිරියානු තැන්න නිසා  දුරස්ථ ‍වේ. විශේෂයෙන්ම ඇමරිකාවේ බටහිර වෙරළ  අතිවිශාල රොකි කදු වැටියෙන් ආවරණය විම ද මේ සඳහා බලපාන ලදි.

ඇමරිකාව හා රුසියාව අතර පිහිටි උතුරු ධ්‍රැවය පහත සිතියමෙන් දැක්වේ. උඩින්ම මුහුදේ බීරිං මුහුද හා සමුද්‍ර සන්ධිය පිහිටා ඇත. ඇලස්කාව (නුතනයේ ඇමරිකා එක්සත් ජනපදයට අයත් බිම) හා රුසියාව වෙන් කෙරෙන්නේ බීරිං සමුද්‍ර සන්ධියෙනි.

(සිතියම ගත්තේ: http://www.lib.utexas.edu/maps/polar.html#arctic)

දකුණු ඇමරිකාව හා ඕස්ට්‍රේලියාව ද එකල තිබු තාක්ෂණය හා තත්ත්වය අනුව බලන විට දුරින් පිහිටි, දක්ෂිණ අර්ධගෝලයේ පිහිටා තිබු දුරස්ථ භුමි වේ.
ලෝකයේ මැද, ලෝකයේ බලවත්ම භූමිය තමාගේ දේශය බව පෙන්වා දුන්නේ මැකින්ඩර් පමණක් නොවේ. ඔහුට කලින් සිටි විද්වතුන් / දාර්ශනිකයන් O-T නැතහොත් T-O සිතියම් (http://en.wikipedia.org/wiki/T_and_O_map) මඟින් ලෝකයේ මැද තමා සිටින බව පෙන්වීමට උත්සහා ගන්නා ලදී.
අද මේ මතය පිළිගැනීම පිළිබදව විවිධ අයගේ සැක සංකාවට ලක්ව තිබුණත් ඇමරිකානු දේශපාලඥයෙකු වු නිකොලොස් ජොන් ස්පයික්මන් (Nicholas John Spykman) විසින් රචිත ලෝක දේශපාලනයේ  ඇමරිකානු උපායමාර්ග’ (American Strategy in world politics, 1942) සහ සාමයේ භූගෝල විද්‍යාව (Geography of the peace, 1944) යන ග්‍රන්ථ දෙකින් මැකින්ඩර්ගේ හද බිම පිළිබඳ සංකල්ප විමසමින් ඔහු ඉදිරිපත් කළ  වළලුලන්තය / ගැටිබිම (Rimland) පිළිබඳව අදහසේ ඇති වැදගත්කම ලෝකයේ ඇතැම් සිද්ධි මඟින් නැවත නැවතත් උද්දීපනය කරන නිසා කෙලින්ම බැහැර කළ හැක්කක් නොවේ. (වළලුලන්තය / ගැටිබිම ස්ථානගත වීම පිළිබඳ මුලින්ම ඇති සිතියමේ දක්වා තිබෙනවා.)

මේ ඉන්නේ නිකොලොස් ජොන් ස්පයික්මන් මහතා.


 ස්පයික්මන් අර්ථ ගැන්වු ආකාරයට හදබිමේ බලය පවත්වාගෙන යා හැක්කේ සාමුහික ආරක්ෂණ ක්‍රමයක් මතය. හද බිමේ සම්පත් වල පිහිටීම හා ව්‍යාප්තිය දෙස බලන විට හද බිමේ නියම වටිනා කම මතුව එන්නේ එය වටා පිහිටි භූමින්ගේ සහය ලැබුණු විට වේ.
 ඔහු කියු ආකාරයට ගැටිබිම විසින් හදබිම ආරක්ෂා කරනු ලබයි. එනම් හද බිම ආරක්ෂාවන්නේ ගැටිබිම ආරක්ෂාවන තාක් පමණි. ගැටිබිම අල්ලා ගනු ලබන කවරෙකුට වුවත් හද බිම නතු කර ගත  හැකි අතර එවිට ගැටිබිම පාලනය කරන්නාට ලෝකයම පාලනය කළ හැකි බව ස්පයික්මන් විසින් ප්‍රකාශ කරන ලදී. සීතල යුද්ධ සමයේ බලවතුන් දෙදෙනාම උත්සහ කරන ලද්දේ මෙම ගැටිබිමේ බලය ලබා ගැනීමට හා ගැටිබිම ආරක්ෂා කරගැනීමට බව මේ අදහස දරන්නෝ පෙන්වා දෙති.
ගැටිබිමේ බලය ආරක්ෂා සහිතව පවත්වා ගෙන යාම සදහා හදබිම ගන්නා සෑම උත්සාහයක්ම ව්‍යර්ත කරන්නට විවිධ උත්සායන් ධනවාදි කඳවුර දියත් කරන ලදී. වියට්නාම්, ඉරාන ඉරාක, කොරියානු අර්බුධ ඇති වන්නේ එහි ප්‍රථිපලයක් වශයෙනි.
 ඒ පමණක් නොව මෑත ඉතිහාසයේ ලෝකයේ පොලිස්කාරයාගේ අත්අඩංගුවට පත් රටවල් ද ගැටිබිමේ කලාපයට අයත් වේ. චීනය සමඟ අවදි වෙමින් සිටි කොමියුනිස්ට් බල කඳවුරේ ශක්තිය පිළිබඳව බියපත් වන ධනවතුන් විසින් ‘පිච්චමල් විප්ලවය’ දියත් කරන්නට ඇති බව ඇතමෙකුගේ අදහසයි. අද වන විට ලෝකයේ ඉදිරිගාමී ම කලාපය වන ගැටිබිම සතුව ඇති මානව,  තාක්ෂණික,  භෞතික සම්පත් හා භූමිය ආදී බලවේග වල එකතුව ගැටිබිමට මහා ප්‍රබලත්වයක් එක් කර තිබේ. ඒ බව ආර්ථික ඝාතකයන්ගේ හෙලි කිරීම් වලින් ද මනාව පැහැදිලි වේ. සංවර්ධනය වෙමින් සිටින රටවල (විශේෂයෙන්ම අප්‍රිකාව හා ආසියාවේ) මානව ශක්තිය සංවර්ධනය වෙමින් පැවති යුරෝපයේ මානව ශක්තියට සමාන වෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ  ලෝක ජනගහණ වාර්තාවේ ප්‍රජා විද්‍යාඥයෙකු හා කතුවරයෙකු වන කාර් හබ් 2011 දී ලෝක ජනගහණ වාර්තාව උපුටා දක්වමින් කියා සිටියේ ය. මේ ආදී හේතු නිසා අදටත් ගැටිබිම තුළ පවතින බලය කෙරෙහිත් එය පාලනය කිරීමේ අදහස කෙරෙහිත් ලෝක බලවතුන්ගේ අවධානය තවමත් යොමුව පවතින බව පෙනේ.  ගැටිබිමේ  කවර හෝ ප්‍රදේශයක පාලනය ලෝකයේ පොලිස් කාරයාට අල්ලන්නේ නැත්නම් එය ස්ථාවර වන්නේ නැත. ස්ථාවර වුවත් පවතින්නේ නැත. විවිධ අර්බුධ මත පැවතියත් කුමක් හෝ හේතුවකින් එය පෙරලී යයි.
බලවත් හදබිමේ බලය තමා පිළිගන්න දේශපාලනයට වඩා වෙනස් දේශපාලනයක් ස්ථාවර වී ඇති අතර /ගැටිබිමේ එක් කොනකින් යලින් ඒ දේශපාලනයෙන් පණ ගැන්වු විශාල භූමි ද තවත් පැත්තකින් තමාගේ වාර්ගිකත්වයට විරැද්ධ සංස්කෘතිකාංග වලින් පණ ගැන්වු අරාබි ජාතික මුස්ලිම් ලෝකය පැවතිමත් මා දකින ආකාරයට ලෝකයේ දිගම යුද්ධය වන  කුරුස යුද්ධයේ ප්‍රතිවාදීන් ලෙස ඔවුන් අදටත් එහි ස්ථාවරව සිටීමත් ලෝකයේ සාම්ප්‍රධායික බලවතුන්ට බලවත් ගැටළුවක් ව ඇතැයි මේ අනුව පෙනේ.
          20 වැනි සියවසයේ මුල් කාලයේ ජර්මනියේ බිහිවු ප්‍රධාන භූ දේශපාලඥයෙකු වශයෙන් ජර්මන් හමුදා නිළධාරියෙකු වන ‘කාල් හව්සෝපර්’ ( Karl Haushofer ) හදුනා ගත හැක.

 මේ ඉන්නේ කාල් හවුසෝෆර් මහතා



 ඇතැම් අය පෙන්වා දෙන ආකාරයට මොහු ඇතුලු ජර්මන් ජාතික භූ දේශපාලඥයන් උත්සහා කළේ හදබිම හා ගැටිබිම යන අදසහට ජර්මන් ජාතිවාදී චින්තනයක් ඇතුලු කිරිමටය. එමඟින් ජර්මන් ව්‍යාප්තවාදය සාධාරණිකරණය කිරීමට තර්කයන් සාහිත්‍යයන් ගොඩනඟන්නට ඔවුන්ට පුළුවන් විය. මේ අදහස ඉදිරිපත් කරන අයම පෙන්වා දෙන ආකාරයට හව්සෝපර්ගේ භූ දේශපාලනයට වඩා හිට්ලර්  පිළිගත් ඔහුගේම ‍භූදේශපාලනික අදහස් තිබු බව ඔහු විසින් රචිත ‘මයින් කාම්ෆ්’ ( Mein Kampf ) ග්‍රන්ථයේහි සදහන් වන බවත් එය දෙවන ලෝක යුද්ධයෙන් ජර්මනිය පැරදවීමට තරම් දුර්වල වු බවත් ය.
          මේ ආකාරයට ජර්මනියේ පරාජයත් සමඟ ජර්මනියේ භූ දේශපාලනය ඊට වග කිව යුතු බවට අදහසක් ඉදිරිපත් වුයෙන් භූදේශපාලය ක්ෂේත්‍රය අවතක්සේරුවට ලක් විය.
          කලක් රුසියානු නාවික හමුදා නිලධාරියෙකු වශයෙන් කටයුතු කළත් පසුව ඇමරිකානු පුරවැසියෙකු වුත් ගුවන් සමාගම් ව්‍යාපාරිකයෙක් වුත් ඇලෙක්සැන්ඩර් පී. ද සර්වෙස්කි ( Alexander P de Seversky ) විසින් ගුවන් බලයෙන් ජයග්‍රහණය’ ( Victory through Air power, 1942 ) හා පැවැත්මට මුල්වන ගුවන් බලය’ ( Air Power: Key to Survival, 1950 ) යන ග්‍රන්ථ දෙක මඟින් ක්ෂේත්‍රයට නව ආලෝකයක් හා සංකල්පයක් එක් කරන ලදී. 

මේ ඉන්නේ ඇලෙක්සැන්ඩර් සර්වෙස්කි මහාතා.


ඔහු පෙන්වා දුන් ආකාරයට සාගර බලය හා ගොඩබිම් බලය අභිබවා දැන් ගුවන් බලයේ කාලය එළඔ ඇති බවය. ගුවනින් බලනවිට ග්ලැසියර කඳු බාධක ආදිය තවදුරටත් බාධාවන් නොවන බවත් ඇමරිකාව හා හද බිම පමණක් නොව ඕනෑම තැනක් තවත් තැනකට වෙනදාට වඩා ඉතා කිට්ටුවෙන් ඇති බවත්  ප්‍රවේශතාවය දියුණු වී ඇති බවත් පෙන්වා දෙන ලදී. මේ අනුව ලෝකය කාර්මික වශයෙන් ඉතාම දියුණු තත්ත්වයට පත්ව ඇති අතර කාර්මිකරණය හා තාක්ෂණය මගින් ලෝකයේ බලය තීරණය කරන බව ඔහු සිය ලේඛන වලින් පෙන්වා දී ඇත. ඔහු විග්‍රහ කළ ආකාරයට ලෝකයේ කාර්මික හද බිම් දෙකක් ( ඒ කාලය වන විට) පැවතිණි. ඒ රුසියාව හා ඇමරිකා එක්සත් ජනපදයයි.  මේ කලාප දෙකට අයත් ගුවන් කලාප දෙක වටා සීමාවක් ඇඳ එවා ඡේදනය වන පොදු කලාපය වඩාත්ම බලවත්ම බිම වන බව ඔහු පෙන්වා දෙන ලදී.

          මේ ලිපිය මඟින් උත්සහා ගන්නේ ලෝකයේ පැවති එක්තරා සංකල්ප කිහිපයක් ඉදිරිපත් කර විමසීම ය. අතීතයේ පටන් ලෝකයේ බලය ව්‍යාප්ත කිරීම පිළිබඳ අදහස් ‍වරින් වර විවිධ රටවල පාලකයන් විසින් ‍ක්‍රියාත්මක කර තිබේ. ජාත්‍යයන්තර එකඟතා තුළ අතීතයේ මෙන් රටවට කඩා වැදිම අපහසු බැවින් ගෙන යනු ලබන විවිධ උපාය මාර්ග පැහැදිලි කිරීමේදී / තේරුම් ගැනීමේදී ඉහත අදහස් ඉතා වටිනා මෙහෙයක් ඉටු කරනු ලබයි. දෙවන ලෝක යුද්ධයෙන් පසුව නිර්මාණය වු කොහේටවත් නැති අදහස් දැරුවන්ගේ කුලකය වන තුන්වන ලෝකයේ රටවල් ගැටිබිම තුළ සිටීම එක්තරා ආකාරයට බලවතුන් දෙදෙනාටම නියම තිරණයක් ගැනීමට ඉඩ නොදෙන හා ඒ නිසාම  හිඟන තුවාලයක් ‍සේ පෙනන සම්පතක් බවට පත්ව තිබේ.



ඉහත ලිපිය ලියද්දී  තොරතුරු, අදාල විස්තර, සිතියම් ලබා ගත්ත තැන්:
·       ජේෂ්ඨ කථිකාචාර්යය එන්. පී. සකලසුරිය මහතා, ‘ලෝක බලය හා එහි භූ දේශපාලනික පදනම’, භෞම විද්‍යා  - හතරවන කලාපය

·       මහාචාර්යය ශාන්ත කේ. හෙන්නානායක මහතා, ‘ශ්‍රී ලංකාවේ භූ දේශපාලනය’, ඉදුවර(භූගෝල විද්‍යාව) පර්යේෂණාත්මක ලේඛන සංග්‍රහය
 




Saturday, August 25, 2012

සංවර්ධනය මනිනු ලබන ප්‍රකට මිනුම් කිහිපයක් පිළිබඳ සරල විමසුමක්.






හැමෝම සංවර්ධනය ගැන කතා කරනවා. ඒ පිළිබඳ මිනුම් ගැන කතා කරනවා ඉතාම අඩුයි. සමහර මිනුම් මිනුම් කිහිපයක ප්‍රථිපල මතයි අවසාන නිගමනය ලබා දෙන්නේ. සමාජ ආර්ථික සංවර්ධනය පිළිබඳව ඇති මිනුම් කිහිපයක් පිළිබඳව සරල විමසීමක් මෙයින් ඉදිරිපත් කෙරේ.
මුල් කාලයේ සංවර්ධන යනුවෙන් අදහස් කළේ ආර්ථික වර්ධනය පමණක් නිසා මිනුම් වලින් මුල් කාලේ මැන්නේත් ආර්ථික වර්ධනයම තමා. 



ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදනය / ඒක පුද්ගල දළ ජාතික ආදායම/ ප්‍රතිශිර්ෂ ආදායම:

          සාම්ප්‍රදායික සංවර්ධන මිනුමක් ලෙස හඳුනා ගැනේ. මෙය තම මිනුම මඟින් ලෝකයේ සියළුම රටවල් වර්ග 5කට බෙදා දක්වනවා.
(*). අඩු ආදායම් ලබන රටවල්
(*). මධ්‍යම ආදායම් ලබන රටවල්
                    *). පහළ මධ්‍යම ආදායම් ලබන රටවල්
                    *). ඉහළ මධ්‍යම ආදායම් ලබන රටවල්
(*). ඉහළ ආදායම් ලබන ඛණිජ තෙල් අපනයනය කරන් රටවල්
(*). කාර්මික/ වෙළඳපොළ ආර්ථික රටවල්
(*). වාර්තා නොසපයන / සමාජික නොවන රටවල්
*මෙයින් මධ්‍යම ආදායම් ලබන රටවල් හි උප කාණ්ඩ දෙකම අයත් වන්නේ සංවර්ධනය වන රටවල් කාණ්ඩයටයි.

ලෝකයේ පවත්නා ආර්ථිකමය වශයෙන් ලබන ආදායම පිළිබද අගනා අදහසක් මේ මිනුම නිසා ලබා ගත හැක. නමුත් ආර්ථික වර්ධනයම සංවර්ධනය නොවන්නේ යැයි කියන අය මෙය විවේචනය කරති.
          රටක වසරක් තුළ (කැමති කාලයක් ආදේශ කර ගන්නත් පුළුවන්) නිපදවනු ලබන සියලුම භාණ්ඩ හා සේවාවන්හි වෙළදපොළ වටිනා කම දළ ජාතික නිෂ්පාදනය ලෙස සැලකේ. එනම් නිෂ්චිත කාලයක් තුළ රටක් නිෂ්පාදනය කරනු ලබන සමස්ත නිෂ්පාදනවල වටිනා කම මෙයින් ගණනය කෙරේ. මෙම වටිනාකම ගණනය කරන්නේ අන්තර්ජාතික වශයෙන් පිළිගත් පොදු මුදල් ඒකකයකින් ‍ය. පසුව මේ අගය රටේ ඒ අදාල කාලය තුළ වාසය කළ ජනසංඛ්‍යාවෙන් (බොහෝවිට පදනම් කරගන්නේ මැදි වසර ජනගහණයයි) බෙදනු ලැබේ. ඇතැම් අය මෙහි අඩුපාඩු පෙන්වා දී ඇත.

1.එය ආදායම විවිධ සමාජ කාණ්ඩ තුළ සිටින පුද්ගලයන් අතරේ විෂම ආකාරයෙන් බෙදියන ආකාරය පෙන්වන්නේ නැත.

2. මේ මිනුම තුළ පවුල් සංස්ථාව තුළ සේවය කරනු ලබන ගෘහනියගේ සේවයට වටිනාකමක් නොදේ. එමෙන්ම පවුලේ සාමාජිකයන්ගේ ශ්‍රමයද මෙම මිනුම විසින් නොසලකා හරිනු ලැබේ.

3. ආර්ථික ක්‍රියාකාරකම් වල සෘණාත්මක අගයන් මෙයින් නොසැලකේ. 

4. මේ මිනුම මඟින් ආර්ථික වර්ධනය නිසා සිදුවන පාරිසරික හානිය ගණනය නොකරන නිසා එය කාලීනව විශාල දුර්වලතාවයක් බවද විවේචකයෝ පෙන්වා දෙති.

5. මේ මිනුම මඟින් පාරිසරික දරිද්‍රතාවය නිසා පිඩාවට පත් දුප්පතුගේ / මුඩුක්කු / පැල්පත්වාසීන්ගේ (අවිධිමත් ජනාවාස වල ජනපදිකයන්ගේ ) අපහසුතා ගණනය නොකරයි. ඔවුන්ට පිරිසිදු පානීය ජලයේ හිඟතාවය තදින් බලපාන අතර ශබ්ද දුෂණය, වායු දුෂණය ආදීන්ගේ ප්‍රතිවිපාක දැනුවත්ව හෝ නොදැන්වත්වම ඔවුන්ව පීඩාවට පත්කරමින් තව දුරටත් දුබල රෝගීන් කෙරෙනුයේ තවත් අයගේ සංවර්ධනය උදෙසා ගෙවනු ලබනු පිරිවැයක් ලෙස ය. ඒ අනුව බලද්දි අවධිමත් ජනාවාස වල රෝගීන් බිහිවන්නේ වෙනත් අයගේ සංවර්ධන ප්‍රයත්නයන් හි ප්‍රතිඵලයක් ලෙස ය.

6. බොහෝ ග්‍රාමීය ප්‍රදේශ වල ගම්වාසීන් මෙන්ම කාන්තාවන්ගේ ස්වයං රැකියාවලින් ලැබෙන ආදායම් නැතහොත් නිසි ආදායම් වාර්තා නොතබන කුඩා ව්‍යාපාර (දැනුමක් නොමැති කම නිසා වාර්තා නොතබන අයගේ ආදායම්) වල තත්ත්ව මෙහිදී ගණනය නොකෙරේ.

7. මේ මිනුම මඟින සංවර්ධනය පිළිබඳ ප්‍රමාණාත්මක මිනුමක් ලබා දෙනවා මිස ගුණාත්මක තත්ත්ව පිළිබඳ සාකච්ඡා නොකරයි.

8. මේ මඟින් මැනෙන්නේ ආර්ථික වර්ධනය පමණි.

මේ ආකාරයට අඩුපාඩු පෙන්වා දිය හැකිවුවත් අන්තර් ජාතික වශයෙන් සැසදීමේදී හෝ අවකාශයන් කිහිපයක් සංසන්ධනය කිරිමේදී  මෙය වැදගත් සේවයක් ඉටු කරයි. ඒ  ඒ අවකාශය සතු සම්පුර්ණ ජනසංඛ්‍යවෙන් සම්පුර්ණ ආදායම බෙදීම නිසා එය ඒ ඒ මනිනු ලබන අවකාශයන් අතර තත්ත්වය වටහා ගැනීමට උපකාර කරනු ලැබේ. එමෙන්ම රටක කාලීන වශයෙන් ආර්ථිකයේ සිදුවන වෙනස්කම් (වර්ධනයන් හෝ අවපාතයන් )හඳුනා ගන්නටද මෙය උපාකාර කරයි.

භෞතික ජිවන තත්ත්ව දර්ශකය (Physical Quality of Life Index) (PQLI)

මෙය මිනුම් කිහිපයක එකතුවක් වේ. මේ මිනුම මඟින් රටක ජිවත් වන ජන සංඛ්‍යවේ ජිවන තත්ත්වය පැහැදිලි කරනු ලැබේ. 1979 දී මොරිස් ඩී. මොරිස් විසින් මෙය ඉදිරිපත් කරන ලදී. මේ දර්ශකයේ අගය ලබා ගැනීමට තවත් මිනුම් 3ක උපකාරය ලබා ගැනේ.  මේ මිනුම අවසානයේ ලැබෙන අගය 1 සිට 100 තෙක් දක්වා පරාසයක විහිදෙන අතර වඩා යහපත් රටක තත්ත්වයන් 100 ට ආසන්න වේ.
(*). ළදරු මරණ අනුපාතය
(*). උපතේදී ආයු අපේක්ෂාව
(*). සාක්ෂරතාව



රෑපය සකස් කලේ ඉන්ද්‍රලාල් ද සිල්වා මහතාගේ ජනගහන අධ්‍යයනය කෘතියේ 15 වන පරිච්ඡේදය ඇසුරිනි.

 මේ මිනුම් වල යහපත් ම අගයත් අයහපත් ම අගයත් ගණනය කර ගත යුතුය. එසේම සාක්ෂරතාවය 1 සිට 100 අතර අගයක් ගන්නා නිසා අනෙක් අගයන්ද 1-100 ට පරිවර්තනය කළ යුතු බව මොරිස් ගේ අදහසයි. කෙසේ වුවද ‍භෞතික ජීවන තත්ත්ව දර්ශකය ගණනය කිරීම සදහා මුලින් දක්වන ලද මිනුම් තුනට අදාල අගයන් තුනම එකතු කර තුනෙන් බෙදිය යුතුය.



රෑපය සකස් කලේ ඉන්ද්‍රලාල් ද සිල්වා මහතාගේ ජනගහන අධ්‍යයනය කෘතියේ 15 වන පරිච්ඡේදය ඇසුරිනි.

ඉහත මිනුම් නිසා ‍මෙම දර්ශකය තුළින් සංවර්ධනය පිළිබඳ ප්‍රමාණාත්මක සේම ගුණාත්මක මිනුමක් ද‍ වේ. අනෙක් අතට  මේ මඟින් සංවර්ධයේ ප්‍රතිලාභ බෙදීයාමේ විවිධාකාර වු වෙනස්කම් පිළිබඳ සංවේදී වෙමින් මැනීමට ලක් කරනු ලබයි. මේ දර්ශකය මඟින් යම් රටක සමාජ සංස්කෘතික අදි අංශ පිළිබඳ අවබෝධයක් ලබා ගත හැක. උපතේදී අපේක්ෂිත ආයු කාලය මැනීමෙන් රටේ සෞඛ්‍ය තත්ත්වය හා සෞඛ්‍ය පහසුකම්, ජනතාවගේ පෝෂණ තත්ත්වයන් ආදීය පිළිබඳ අවබෝධයක් ලබා ගත හැක. සාක්ෂරතාවය මඟින් රටේ ජනතාවගේ උගත් බව , අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණුව, රටේ ජනතාවගෙන් කොපමණ ප්‍රමාණයක් අධ්‍යපපනය ලබනවාද වැනි කරුණු රාශියක් පිළිබඳව දැන ගත හැක. ළදරු මරණ අනුපාතිකය මඟින් රටේ ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳව සේම  ඒ රටේ ජනගහනයේ ගුණාත්මක තත්ත්ව පිළිබඳ ඉතා පැහැදිලි අවබෝධයක් ලබා ගත හැක.

මේ මිනුම කොතරම් යහපත් සේ පෙනුනත් මෙහි අඩුපාඩු ද පවතී.

1. මෙම මිනුම මඟින් ආර්ථික සංවර්ධනය මැනෙන්නේ නැත. 

2. මෙම මිනුම මඟින් ජිවිතයේ ගුණාත්මක තත්ත්වයන් පෙන්නුම් කරන සියළු සාධක මනින්නෙත් නැත. උදාහරණ වශයෙන් ආරක්ෂාව,  සාමය, පුද්ගල නිදහස / පුද්ගලිකත්වය , මානව අයිතිවාසිකම්, සේවා නියුක්තිය ආදී ලක්ෂණ මෙයින් මැනෙන්නේ නැත. 

3. භෞතික ජිවන තත්ත්ව දර්ශකය ඉහළ මට්ටමක පැවතියද  රටක් සංවර්ධිත රාජ්‍යක් බවට පත් නොවේ. ( උදා: ශ්‍රී ලංකාව) එමෙන්ම ලෝකයේ ආදායම ඉහළ රටවල භෞතික ජිවන තත්ත්ව දර්ශකය ඉහල අගයක් ගන්නේත් නැත. (උදා: සෞදි අරාබිය)

4. මේ මිනුම ජිවන තත්ත්වය හා අදායම් මට්ටම අතර විධිමත් සම්බන්ධතාවයක් පෙන්නුම් කරන්නේ නැත.


මානව සංවර්ධන දර්ශකය (Human Development Index) (HDI)

මෙය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් 1990 දී හඳුන්වා දුන් මිනුමකි. භෞතික ජිවන තත්ත්ව දර්ශකයේ අඩුපාඩු මගහරවමින් මේ මිනුම නිර්මාණය ක ඇත.  ආර්ථික සංවර්ධන මානව සංහතියේ දියුණුව සඳහා කොතෙක් දුරට දායක වන්නේ දැයි මේ මඟින් සොයා බලනු ලැබේ. අනෙක් අතට සමාන මිනුමකින් ලෝ‍කයේ සියලු රාජ්‍යයන් මැනීමෙන් සංසන්දනාත්මක අගයක් ලබා ගැනිම බලාපොරොත්තු වේ. මෙය මිනුම් කිහිපයක එකතුවක් වේ.

(*). උපතේදී ජිවන අපේක්ෂාව.

(*). අධ්‍යාපනික සාධනය (මෙයට මිනුම් දෙකක් අදාළ කර ගනී. වැඩිහිටි සාක්ෂරතාවය පිළිබඳ දර්ශකය (2/3 බර තැබිමක් කරනු ලැබේ) / ප්‍රාථමික, ද්විතික හා තෘතික මට්ටම් වල පාසල් යාම පිලිබඳ සංයුක්ත අනුපාතය (1/3 ක බර තැබීමක් කරනු ලැබේ) ).

(*). ඒක පුද්ගල දළ දේශිය නිෂ්පාදිතය.

ඉහත මිනුම් 3ට අදාල මිනුම් වෙන වෙනම ගණනය කරනු ලැබේ. දර්ශක ගණනය කිරීම සඳහා එසේ ලැබෙන අගයන් එකතු කර  3 න් බෙදනු ලැබේ.එමෙන්ම මෙහිදීත් යහපත්ම අගය  හා අයහපත්ම අගය පිළිබඳව සලකනු ලැබේ.
 මේ අගය 0 ත් 1 ත් අතර අගයක් ගනී. 1 ට ආසන්න අගයන් ගන්නා රටවල් වල තත්ත්වය යහපත් සේ සලකනු ලැබේ. බොහෝ සංවර්ධිත රාජ්‍යන්ගේ මානව සංවර්ධන දර්ශකයේ අගය ද ඉහළ ය. මෙය ලෝකය පුරා බහුලව සංවර්ධනය මැනීම සදහා  භාවිතා කරනු ලබන මිනුමක් ලෙස සැලකේ. මානව සංවර්ධන දර්ශකය අද ලෝකයේ සංවර්ධනය මැනීම සඳහා භාවිතා කරන දැනට පොදුවේ පිළිගන්නා හොඳම මිනුම් වලින් එකකි.

කෙසේ වුවත් කුමන සංවර්ධන දර්ශකයක් හෝ ආර්ථික හෝ සමාජ සංවර්ධනය උදෙසා පරිසරය පසුබසින හැටි පරිසරය විනාශ වන හැටි  මනින්නේ නැත. මෙය කාලීන අවශ්‍යතාවයක් වුවත් එසේ මනින්නේ නම් ලෝකයේ සංවර්ධිත යැයි සලකන බොහෝ රටවල්වල සංවර්ධනය නමින් අත්පත් කරගෙන ඇති දේ පිළිබඳ තර්ක කිරීමට / නැවත සිතා  බැලීමට සිදු වේ. කාබන් වෙළදාම වැනි හොර බොරු පසෙක ලා පාරිසරික වශයෙන් නියම සංවර්ධනයක් අත්පත් කරගැනීමට ඇති ඉඩ කඩ පිළිබඳිව තිරසර සංවර්ධනය නම් මායාවෙන් සාකච්ඡාවට බඳුන් කළ ද එයින් සිමා මායිම් පැනවුයේ දුප්පතුන්ට මිස ධනවතුන්ට නොවේ. එනම් හොඳය යහපත් ය කියන තිරසර සංවර්ධනයේ සාහිත්‍ය විසින් මේ වන විට ගොඩ නඟා ඇති තර්කය වන්නේ දුප්පත් කම පරිසරය දුෂණය කරයි යන්නයි. මා නම් කිසිසේත් එකඟ නොවන මේ පුහු තර්කය මත ගොඩනැඟි ඇති ඊනියා තිරසර සංවර්ධන දැක්ම තුළ වසන් කරනු ලබන සැබෑ තිරසර සංවර්ධනය/ වඩාත් යහපත් තත්ත්වයන්, පාරිසරික වශයෙන් පොහොසත් නිවර්තන ලෝකය සතු යැයි මා සිතමි. නමුත් ආර්ථික වර්ධනය සංවර්ධනය යැයි කියන දැක්මෙන් වියුක්ත වන්නට ධනවාදි සංවර්ධන ප්‍රයත්නයන්ට කිසිදා නොහැකි නිසා ඒ රාමුව තුළ සංවර්ධන කුසලානය සිප ගැනීමට දඟලන සංවර්ධනය වෙමින් පවතින ලෝකයට නොහැකි වීම නිසා අර හිමි සංවර්ධනය අහිමි වී කාන්තාර මුල්‍යවාදී සංවර්ධනයක් අත් පත් කර ගැනීමට තුන්වන ලෝකය / සංවර්ධනය වෙමින් පවතින ලෝකය නොනිමි උත්සාහයක නිරතව සිටි.

මේ බ්ලොග් ලිපි ගැන ඔබට හිතෙන දේ?

මහපොළොව ගැන දන්න අය ...