Mahaplawa Blog - A Geographical blog space


මහපොළොව මත සිටින අය

Sunday, July 8, 2012

භූ තැටි කාරක කල්පිතය



     1960 දශකයේ මුල් භාගය වන විට සම්පුර්ණයෙන් පිළිගැනීමට ලක් වු මෙම අදහස ඉදිරිපත් විම සඳහා බලපැ අදහස් ගණනාවක් තිබේ. ශිලා ගෝලයේ සිදුවන අභ්‍යන්තර සංවහන ධාරා හේතුවෙන් ප්‍රධාන වශයෙන් සිදුවන  භූ තැටි චලනය මුහුදු පතුළ විස්ථාපනය වීම, දුපත් චාප නිර්මාණය වීම, සාගරික වැටි ඇති වීම හා ආගාධ ඇති වීම, ගිනි කඳු විදාරණය හා භූමි කම්පා ඇති වීම ආදි ක්‍රියාවලි රැසකට හේතු වේ.පෘථිවිය සෑදී ඇත්තේ විශාල තැටි 14ක එකතුවෙන් බව මෙම අදහසේ මුලික සිද්ධාන්තය වේ. මේවා විශාලත්වය අනුව ප්‍රධාන හා අප්‍රධාන වශයෙන් කාණ්ඩ දෙකකි. (මෙය විවිධ අයට අනුව සංඛ්‍යාවෙන් වෙනස්ව හඳුනා ගනී)

ප්‍රධාන තැටි 7කි
1.                අප්‍රිකානු තැටිය
2.                ඇන්ටාර්ටික් තැටිය
3.                යුරෝපා තැටිය
4.                පැසිපික් තැටිය
5.                ඉන්දු-ඕස්ට්‍රේලියානු තැටිය
6.                උතුරැ  ඇමරිකානු තැටිය
7.                දකුණු ඇමරිකානු තැටිය

අප්‍රධාන තැටි 7කි

1.                අරාබියානු තැටිය
2.                ජුවාන් ඩි ෆැකා තැටිය
3.                නස්කා තැටිය
4.                ස්කොටියා තැටිය
5.                කැරිබියානු තැටිය
6.                කොකොස් තැටිය
7.                පිලීපින සාගරික තැටිය

මෙම තැටි ඉතා සෙමින් චලනය වන බව සොයා ගැනුනේ දෙවන ලෝක යුද්ධයට ආදාලව කෙරැණු සාගරික පතුල් නිරික්ෂණ හේතුකොට ගෙනය. වි‍ශේෂයෙන් මධ්‍ය සාගරික වැටිය ආශ්‍රීත අධ්‍යයනයන් මීට හේතු වී ඇත. 1950 වන විට සාගර පතුලේ භූ රූපනය දැක්වෙන ක්‍රමානුකූලව සකස් කරන ලද මුල්ම සිතියම සකස් කෙරිණි. මෙම සිතියමේ  අත්ලාන්තික් සාගරය මැදින් දිවෙන කොඳුනාරටියක් වන මේ සාගරික වැටිය ආශ්‍රීතව සාගරයේ  ‍ඉතා ගැඹුරු පැලුම් කිහිපයක් තිබෙන බවත් වැටිය දෙපස සාගරයේ අධික ගැඹුරු බවත් භූ චුම්භකත්ව විශමතාවන් හඳුනා ගත හැකිවීමත් ආදිය නිසා පළමු අවධානයන් ඊට යොමු වීමට හේතු විය. මධ්‍ය සාගරික වැටිය ආශ්‍රීත පාෂාණ වයසින් අඩු බවත් එහි දෙපසට යන විට (ඇමරිකානු හා අප්‍රිකා යුරෝපානු මහද්වීප දෙසට) පාෂාණ වල වයස ක්‍රමයෙන් වැඩි වෙන බව බව ද සොයා ගැණනි.
මෙසේ සාගරික පතුල් පුළුල් වන්නේ නම් පෘථිවියේ හැඩය හා ප්‍රමාණය නිරන්තරයෙන් වෙනස් විය යුතුය සහ වර්ධනය විය ව්‍යුතුය යන අදහස නිසා මේ සම්බන්ධව අදහස් ඉදිරිපත් කෙරුණු මුල් කාලයේ විද්වතුන් ට තිබු ප්‍රධාන ගැටළුවක් විය. 1962 දී ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ H. Harry Hess විසින් මධ්‍ය සාගරික වැටිය පිළිබඳ අගනා තොරතුරු රාශියක් අණාවරණය කරන ලදී. මෙයින් ප්‍රධාන වශයෙන් සාගර පතුළ පුළුල් වන බව ද සාගර  පතුල් වල පිහිටි කඳු වල මුහුණත ප්‍රදේශ උණුසුම් බවට ද අදහස්  ඉදිරිපත් විය. එමෙන්ම සාගරික පතුල් පුළුල් වනවා සේ ම ඇතැම් පටු සාගරික ආගාධ දිගේ  කබොල කිඳා බසින බව අදහස් කෙරිණි. මෙසේ පෘථිවි කබොල ආශ්‍රිත සිදු වීම් තුළින් තැටි කල්පිතය ගොඩ නැඟිණි. මෙහිදි විශේෂ අවධානය යොමු වුයේ තැටි මායිම් හි චලන පිළිබඳව ය.තැටි මායිම් ප්‍රධාන වශයෙන් වර්ග 3 කි.

·       අපසාරි චලන (නිර්මාණ තැටි මායිම්)
·       අභිසරණ මායිම් (කිඳා බහින විනාශකාරී මායිම්)
·       පරිවර්තන මායිම් / පරිණාමන විභේද


උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.


මෙම මායිම් වල ක්‍රියාකාරීත්වයන් එකිනෙකට වෙනස් වේ.

·       අපසාරි චලන (නිර්මාණ තැටි මායිම්)

                   උදාහරණ: මධ්‍ය සාගරික වැටිය


        ඉහත දැක්වෙන්නේ අපසාරි තැටි චලනය පිළිබඳ පැහැදිලි කරනු ලබන  සරළ ද්විමාන රූප සටහනකි. A  හා B ලෙස හඳුන්වා ඇති තැටි දෙකක් එකිනෙකාට විරැද්ධ දිශා වලට ගමන් කිරීම නිසා ඈත් වේ. මෙම ඈත් වීම හේතු කොට ගෙන මැදින් සෑදෙන හිඩසට ප්‍රාවණයේ පිහිටි ද්‍රවීභූත පාෂාණ වන ලාවා මතුපිටට විදාරණය වේ. මතු පිට උෂ්ණත්වය අඩු බැවින් එවා සිසිල් වේ. මෙම ක්‍රියාවලිය අඛණ්ඩව සිදු වන බැවින් අපසාරි චලන සිදු වන තැටි මායිම් වල පෘථිවි කබොල නැවත නැවතත් නිර්මාණය වේ.

          මධ්‍ය සාගරික වැටිය වාර්ෂිකව සෙන්ටි මීටර 2.5 ක් පමණ වර්ධනය වන අතර වසර මිලියනයක දී එය කිලෝ මීටර 25 ක් පමණ වර්ධනය වන බව සොයා ගෙන ඇත.එමෙන් ම පසුගිය වසර මිලියනය100-200 පමණ කාලයක් තුළ  ඇමරිකාව, යුරෝපය හා අප්‍රිකාවෙන් වෙන් වී නූතන තත්ත්වයට පත්වී ඇති බව ඇති බව විද්වතුන් ගේ අදහසයි.

·       අභිසරණ මායිම් (කිඳා බහින විනාශකාරී මායිම්)
 
                   උදාහරණ: දකුණු ඇමරිකානු තැටියේ බටහිර වෙරළ හා නැස්කා තැටියඅතර මායිම 

 

         ඉහත දැක්වෙන සරළ ද්වීමාන රූප සටහනේ දැක්වෙන පරිදි තැටි දෙක එකම දිශාව ගමන් කරනු ලැබේ. මේ නිසා ඒවා  එකිනෙක හා ගැටේ. මෙසේ ගැටීමෙන් ඉතා විනාශකාරී දේ සිදු විය හැක.භූමි කම්පා ඇතිවීම, ගිනිකඳු විදාරණය වීම, දුපත් චාප ඇතිවීම, සාගරික ආගාධ ඇති වීම, නැමි කඳු ඇති වීම, ආදිය සිදු වේ. මෙම තැටි මායිම් ආශ්‍රීතව සිදුවන තවත් විශේෂ සිදු වීමක් වන්නේ එක් තැටියක් යටින් තවත් තැටියක් ගිලා බැසීම ය. ඉහත උදාහරණයක් ලෙස දී ඇති නස්කා සාගරික තැටි මායිම දකුණු ඇමරිකානු තැටි මායිම ඉදිරියේ මෙසේ  මෙසේ කිඳා බසිනු ලැබේ.
          මෙවැනි තැටි මායිමක සිදු විය හැකි තවත් සිදු වීමක් වන්නේ මහද්වීපික තැටියක් තවත් මහද්වීපික තැටියක් හා ගැටිය හැක. මෙවැනි ගැටිමක් හේතුවෙන් හිමාලය කඳු වැටිය නිර්මාණය වී ඇත. මෙවැනි  මායිම් නිසා ඇති වු  සුප්‍රකට නැමි කඳු රාශියක් ලොව පුරා ඇත.
         
·       පරිවර්තන මායිම් / පරිණාමන විභේද
                            
                             උදාහරණ: පැසිෆික් තැටිය හා උතුරු ඇමරිකානු තැටිය හේතුවෙන් සැන් ඇන්ඩ්‍රියාස් විභේදය ඇති වීම.


 ඉහත රුප සටහනට අනුව වර්ණ දෙකකින් දක්වා ඇති ආදර්ශ තැටි දෙක ආංශිකව චලනය වේ.මේවා බොහොමයක්  පිහිටා ඇත්තේ සාගර පතුල් වල ය.


මෙසේ තැටි මායිම් සියල්ලක් ම  ඉහත දැක්වු පරිදි  ම සරළ ලෙස ක්‍රියාත්මක නොවේ. මෙම තැටි චලන; එකම තැටියක චලන වර්ග කිහිපයක් ම සිදු වන තරමට සංකීර්ණ ය. එකම වර්ගයේ හෝ වෙනස් වර්ග තුනක තැටි මායිම්  හමුවන කලාප ‘ත්‍රිත්ව සන්ධි’ (තුන් කුට්ටි සන්ධි) ලෙස හැඳින් වේ. මෙසේ භූ තැටි ගමන්කිරිමට (චලනය වීමට) හේතුවන චාලක ශක්තිය සපයනුයේ පෘථිවි අභ්‍යන්තරයේ ඇති වන සංවහන ධාරා ය (නමුත් මේ පිළිබඳ තවමත් පර්යේෂණ සිදු වෙමින් පවති). මෙම සංවහන ධාරාවන්ගේ චලන ශක්තිය ඇති වන්නේ පෘථිවි අභ්‍යන්තරයේ පවතින විකීරණශීලි ක්ෂය වීම් හා පෘථිවි අභ්‍යන්තරයේ ඇතැයි සැලකෙන අධික උෂ්ණත්වයන් තවමත් ඉතිරි වී ඇතැයි සැළකෙන ‘අවශේෂ තාපයන්’ ගෙනි.
 තාප සංවහනය පෘථිවි ශිලා ගෝලය තුළ සිදුවන ආකාර කිහිපයක් ඇති බව නුතන ශ්‍රී ලංකාවේ භූ ගෝල විද්‍යාව පිළිබඳ  සෙනවි එපිටවත්ත ඇඳුරු තුමා එතුමාගේ භොතික භූගෝල විද්‍යාව 1 (භූ රූප විද්‍යාව) නම් ග්‍රන්ථයේ (දෙවන පරිච්ඡේදය 71, 72 පිටු ) දක්වා ඇත. ඊට අනුව
·       උපරීම ගැඹුර කී.මී.300 දක්වා ක්‍රියාත්මක වන නොගැඹුරු සංවහන කලාපය.





·       මතුපිට සිට කී.මී. 700 දක්වා ක්‍රියාත්මක වන ඉහළ ප්‍රාවරණ කලාපයේ සංවහන කලාපය.







·       පෘථිවි හරයට ඉහළින්  සමස්ත ප්‍රාවරණය ම තුළ සිදු වන සංවහන කලාපය.


 
·       වැටි තල්ලුව.
 




   
ගුරුත්ව රූටා යාම.

පොරු රූටා යාම.







        








ඉහත රුප සටහන් සෙනවි එපිටවත්ත මහතා ගේ ඉහත සඳන් කරන ලද ග්‍රන්ථය (71, 72, පිටු) පරික්ෂා කරමින් ඒ අනුව අඳින ලදී. වඩා හොඳ පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් එම ග්‍රන්ථය පරික්ෂා කිරිම වඩාත් උචිත වේ. 




 
තැටි මායිම් දැක්වෙන සිතියමක්

තැටි ගමන් කිරීම පිළිබඳ පරික්ෂා කිරීමට යොදා ගනු ලබන ශිල්පීය ක්‍රමය හඳුන්වන්නේ ‘ඉතා දිර්ඝ මුල රේඛා නිරෝධන මාන ක්‍රමය’ (very-long-baseline interferometry (VLBI)) ලෙස ය.1980 පමණ සිට මෙය භාවිතා කරනු ලැබේ. මේ අනුව පෙනී යන්නේ සාගර පතුළ නිරන්තරයෙන් ප්‍රතිචක්‍රීකරණයට බඳුන් වෙමින් පවතින බවය. සාගර පතුළේ පාෂාණ වල උපරීම වයස  වසර මිලියන 180 ක් පමණ (ජුරාසික අවධියට අයත්) වන බවත් මහද්වීපීක කබොල මත හමුවන ෆොසිලයන්ගේ වයස අනුව බලන විට  මහද්වීපික කබොල සාගරික කබොලට වඩා වයසින් ඉතා ම වැඩි බවත් හඳුනා ගෙන ඇත. මෙම මතය පිළිගැනීමට ලක් වීමත් සමඟ ම එතෙක් බැහැර  කර තිබු ඇල්ෆඩ් වේග්නර් ගේ මහද්වීප ප්ලවන කල්පිතය ද පිළිගැනීමට ලක්විය.


ආශ්‍රිත මුලාශ්‍ර:

·       භූ රූප විද්‍යාව, සෙනවි එපිටවත්ත, ස්ටැම්ෆඩ් ලේක් ප්‍රකාශන, 2006.
·       පාරිසරික භූ ගෝල විද්‍යාව, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව,1996.
·       ඛනිජ පාෂාණ හා පරිසරය,භූ විද්‍යා සංගමයේ ප්‍රකාශන,1997.





3 comments:

  1. වැදගත් ලියමනකි..නොදන්නා දෙෑ දැනගන්නට හැකිවිය..
    වර්ඩ් වේරිෆිකේෂන් ඉවත්වූයේනම් කොමෙන්ටු දැමීමට එය පහසුවකි...

    ReplyDelete
    Replies
    1. අමිල,
      මං හිතන්නේ දැන් වර්ඩ් වෙරිෆිකේෂන් නෑ.ස්තුතියි ඒ පිළිබඳව දැනුවත් කළාට. නැවත දවසක මහපොළොවට ඇවිත් යන්න එන්න කියා ඔබට ආරාධනා කරනවා.

      Delete
  2. මිස් වැඩේ නම් එළකිරි.......

    මම කලින් Blog එකේ ලිපි කියෙව්වට අද තමා මිස්ගෙ ක්යල දැක්කෙ.......

    Good Work......
    හුදී ජනයාගේ දැනුම වර්ධනය කිරීම සඳහා මෙවැනි ලිපි ඉදිරිපත් කිරීමට හැකිවේවායි පතමින් මමම නවතිමි.

    මම........
    දුමින්ද රත්නායක (Student at Vidyalankara 2nd Year)

    ReplyDelete

මේ බ්ලොග් ලිපි ගැන ඔබට හිතෙන දේ?

මහපොළොව ගැන දන්න අය ...