Mahaplawa Blog - A Geographical blog space


මහපොළොව මත සිටින අය

Sunday, July 29, 2012

දුප්පතුන්ගේ ලෝකයේ බඩගින්න


දුප්පත් කම කියන්නේ පුදුම තත්ත්වයක්. ඒ තත්ත්වය තුළ සියළු දුක් දොම්නස් අඩංගු වෙලා තියෙනවා. දුප්පත් කමෙත් වර්ග තියෙනවා. මිනිස්සුන්ට වගේ ගහකොළ වලටත් සතුන්ටන් එය පොදුයි. මං මෙතනදි කතා කරන්න යන්නේ මානව සංවර්ධයෙදි කතා කරන දුප්පත් කම ගැන. දුප්පත් කමේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමා බඩගින්න. ඒ මිනිස්සුන්ට යන්තම් ජීවිතේ රැකගන්න පුංචි කෑම වේලක්වත් නෑ.

 මේ පිංතුරේ හොයා ගත්තේ අන්තර්ජාලයෙන්(අයිතිය මුල් අයිතිකරැ සතුය) 
මේ පිංතුරේ මෙතනට අමුණන්න හේතුව වෙන්නේ  එහි තියෙන සෙනෙහස දුප්පත් කමට උඩින් ගලාගෙන යෑම යි.
 මල් වගේ කියන ළමයි දර ඉපැලි වගේ වේලිලා කුසට ආහාර නැතුව හාමතේ මිය යන ලොකේක ඉදන් ඔබ නොකා වීසි කරන ආහාර වලට පව් පුරවා ගන්නවා කියලා හිතෙනවා. වෙජිටේරියන්ද නැද්ද කියලා අහන තැන ඉදන් ඔබේ ආහාර වේල සකස් වෙන්නේ කියක් ජාති එක්කද? නමුත්  මේ අපි ජීවත් වෙන ලෝකේ ම තවත් පැත්තක දරැවෝ පිපාසෙන් පීඩිතව සතෙක් සුළු දිය පහ කරනකොට පොරකනවා ඒවා එකතු කරගන්න. වතුර බීලා කෝප්පේ  ඉතුරැ වතුර ටික වීසි කරන අපියි ඒ අයයි අතරේ මේ කැරකෙන්න‍නේ ඇති නැති පරතරය.
වර්ෂ 1990 දී ලෝක ජන සංඛ්‍යාවෙන් මිලියන 2000 (අද ඉන්දියාවේ ඉන්න ජනගහණයට සමාන ගණනක් )ක් පමණ අන්ත දුගී භාවයෙන් පෙළුනා. අන්ත දුගී භාවය කියන්නේ දිනකට ඩොලර් 1 ක් ඉපැයීමට නොහැකි ජනතාවයි. ඩොලර් 1ක් කියලා දැන් තියෙන වටිනාකම් වලට අනුව නම් රැපියල් 130ක් විතර නේ. මේ වටිනාකම ටිකක් අසාමාන්‍ය උනාට 130 ක් දිනක අදායමක් ලැබෙන කෙනෙකුගේ මාසික ආදායම බලන්න දින 30කින් වැඩි කළාම එන්නේ රැපියල් 4000 කට අඩු ගාණක්. දැන් සම්පුර්ණ ජීවිතේම ‍මාසයක් තුළ ජිවත් කරන්න මේ ගාණ ඇතිද? ඇති කියන අය ඉන්නවාද?
 ඒ අය ලංකාවේ අය නම් මේ ගැනත් හිතන්න. ඔබ තමා පවුලේ එකම උපයන්නා. ලංකාවේ සාමාන්‍ය පවුලක සාමාජිකයන් ගණන 4ක් . එක් පවුලක් රැකෙන්නේ කොහොම ද මේ වගේ ආදායමකින් (මේ අදායමෙන් ජිවත් වෙන අයත් ඉන්නවා.)
අනෙක් අතට ලෝක ආහාර හා කෘෂිකාර්මික සංවිධානය (FAO) පෙන්වා දෙන ආකාරයට අනුව ලෝකයේ මන්දපෝෂණයෙන් පෙළෙන ජනසංඛ්‍යාව 2009 දී මිලියන 925 ක්.  2010 වසර වන විට ඒ සංඛ්‍යාව මිලියන 1023 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ තත්ත්වයට 2008-2010 කාලයේ පැවති ලෝක ආහාර අර්බුදය, ලෝක ආර්ථික අර්බුදය හා අඩු වැඩි වශයෙන් විවිධ ස්වාභාවික හා සමාජීය විපත් හේතු වී තිබේ. ලෝකයේ ප්‍රධානතම හා විශාලතම සෞඛ්‍ය ගැටළුව හා එය නිර්මාණය කරන සාධකය වන්නේ කුසගින්න ය. FAO පෙන්වා දෙන ආකාරයට ලෝකයේ සෑම 7 න් 1 අයෙකු නින්දට යන්නේ කෑමට යමක් නැතිව කුසගින්නෙනි.
 විශේෂයෙන් ම සංවර්ධනය වන ලෝකයේ රටවල සෑම ළමුන් 4 දෙනෙකුගෙන් 1 අයෙක්  එනම් ළමුන් මිලියන 146 ක් මන්දපොෂණයෙන් පෙළේ. තුන්වන ලෝකයේ ජන ගහණයෙන් 16% ක්  කුසගින්නෙන් පෙළෙන ජන කොටසක් වේ.
දුප්පත්කම අහිමි කරනු ලබන්නේ ආහාර පමණක් ම නොවේ. 2011 දී
1)   ලෝකයෙන් බිලියන 1 කට සාක්ෂරතාවයක් නැත.
2)   ලෝක ජන සංඛ්‍යාවෙන් බිලියන 2.6 කට සිය සනිපාරක්ෂාව සපයා ගත නොහැක.
3)   ලෝක ජන සංඛ්‍යාවෙන් බිලියන 2.6 කට (මේ අතුරින් මිලියන 400 ක් ළමුන් ය) බීමට පිරිසිදු පානීය ජලය නැත.
4)   ලෝක ජන සංඛ්‍යාවෙන් බිලියන 1.6 කට විදුලිය නැත.
5)   ලෝක ජන සංඛ්‍යාවෙන් අඩක ආයු අපේක්ෂාව වසර 70 ක් වන අතර අනෙක් අඩෙහි ආයු අපේක්ෂාව 55කි.
6)   වඩාත් ම දුඃඛිත තත්ත්වය වන්නේ ලෝක ආදායමෙන් 75 % ක් බෙදා ගන්නේ ලෝක ජන සංඛ්‍යාවෙන් 20 % කි. ලෝකයේ ඉතාම දුප්පත් 40 % අතර බෙදි යන්නේ ලෝකයේ සමස්ත ආදායමෙන් 5 % කි.

ලෝක ආහාර ගැටළුවට බලපාන හේතු දෙස භූගෝල විද්‍යාත්මක බලන විට ඒවා;
  • භූගෝලීය සාධක.
  • භූගෝලීය නොවන සාධක.
                    ලෙස වර්ග දෙකකට ලඝු කර ගත හැකියි.

භූගෝලීය සාධක.

  • පාරිසරික දරිද්‍රතාවය (කාන්තාර, ජල සම්පත හිඟ වීම).
  • ස්වභාවික විපත්.

භූගෝලීය නොවන සාධක .

  • ඉඩම් කැබලි වීම, ඉඩම් හිඟය, ඉඩම් අධි භාවිතය හා මුඩු බිම්.
  • තාක්ෂණයේ ඇති හිගතාවය.
  • යුධමය හා දේශපාලන ගැටළු.
  • ජනතාවගේ ආකල්ප (ඉන්දියාවේ ධවල විප්ලවය වැනි).
  • රාජ්‍ය ප්‍රතිපත්ති.

 මේ සියළු  තත්ත්වයන් එකතුව නිර්මාණය කරනු ලබන ආහාර ගැටළුවේ පැති තුනක් තිබේ.
  • ප්‍රමාණවත් පරිදි ආහාර නිපදවා ගත් නොහැකි වීම.
  • ප්‍රමාණවත් ලෙස ආහාර මිලට ගැනීමට ඇති නොහැකියාව.
  • ආහාර බෙදියාම කළමණාකරණයට ලක් නොවීම.
මිනිහෙක් සතුටු වෙන්නේ පෝසත්කම (මුදල් ඇති කම) නිසාම නෙමෙයි, මිනිහෙක් දුක්වෙන්නේ දුප්පත්කම (මුදල් නැති කම)  නිසාමත් නොවේ, ගාන්ධි එහෙම කියලා කියලා තියෙනවා. එත් දුක්වෙන්න මහා හේතු ගොඩාක් මවන්න දුප්පත් කමට පුළුවන්. ඒ වගේම ඒ හේතු නැති කරන්න මුදල් වලට පුළුවන්. මුදල් වලට ගන්න බැරි ගොඩාක් දේ ඇති. නමුත් දුප්පත් අයට ඕන ටිකයි. ඒ ටික ගන්න මුදල් මහ ගොඩාක් යන්නේ නෑ. 

ඒ අය වෙනුවෙන් අපිට කරන්න තියෙන්නේ මොනවාද?



ඉහත දක්වා ඇති දත්ත ලෝක බැංකුවේ දත්ත සටහන් අශ්‍රීතව ලබා ගත් බව සලකන්න

Tuesday, July 17, 2012

නැමි කඳු භූ රෑපණය අනුව වර්ග කිරීම:



02. කොටස
පළවෙනි කොටස කියවන්න ලින්ක් එක.


 (ඡායාරෑපය අන්තර්ජාලයෙනි. the Lower Ugab valley in Namibia)

මේ රෑපයෙන් පැහැදිලි වන ආකාරයේ සැබෑ  නැමිමක් මතු පිට සිට බලන්නෙකු දැක ගන්නේ කලාතුරකිනි. එවැනි එක් අවස්ථාවක් මෙහි ප්‍රථමයෙන් දක්වා ඇති රෑ‍පයෙන් දැක් වේ. බොහෝ විට අප ඇවිද යන භූමිය අභ්‍යන්තරයේ නැමි තිබිය හැක. නමුත් අපට ඒවා දැකිය නොහැක. ඒවා දැක ගත හැකි වන්නේ ඒ පස් ස්ථරය හරහා කැපුමක් යෙදු විටක  වැනි අවස්ථාවක ය.
 
මේවායේ නැමි අක්ෂය වෙනස් වීම විශේෂ අවධානයට ලක්විය යුතුවේ. පහත රෑපයෙන් පෙන්වන්නේ නැමි අක්ෂයේ පිහිටීම ය. මන්ද යත් පාෂාණය නැවෙන්නේ මේ නැමි අක්ෂය මුලික කරගෙනය. බොහෝ විට අධ්‍යයන පහසුව තකා භූ රෑප හඳුනා ගන්නේ ද නැමි අක්ෂයේ ක්‍රියා කාරීත්වය අනුව වේ. පහත රෑපය හොඳින් අධ්‍යනය කරන්නේ නම් ලා නිල් පැහැයෙන් දැක්වෙන නැමි අක්ෂය පිළිබඳ අවබෝධයක් ලබා ගත හැක. එසේම භූ රෑපයන්හි නැමි පිළිබඳ පැහැදි කරන පහත සටහන් වල රතු පැහැයෙන් දක්වා ඇත්තේ ද නැමි අක්ෂය යි.

නැමි වර්ග රාශියක් දක්නට ලැබේ. මේ අතුරෙන් කිහිපයක් පමණක් මෙහි ලා සළකා බලා ඇත. විවිධ විභාග සඳහා භූ රෑප ඇඳ දක්වන විට කාලය ඉතිරි කරගෙන රෑපය ඉතා හොඳින් පැහැදිලි වන ආකාරයට ඇඳ පෙන්විය හැකි ක්‍රමයක් වන්නේ එම භූ රෑප ද්විමානව ඉදිරිපත් කිරීමය.

නැමි කඳු භූ රෑපණය අනුව වර්ග කිරීම: (අවසාදිත ස්ථර ඇසුරින් පැහැදිලි කර ඇත.) ද්වීමාන රෑප සටහන් මා විසින් ඇඳ ඇති අතර ත්‍රිමාණ ඒවා අන්තර්ජාලයෙනි.

සමමිතික නැම්ම.(සාමාන්‍ය නැමි, ) (Symmetrical fold)


දෙපසින් ලැබෙන පීඩන බලයන් සමාන වු විට සහ පාෂාණ ස්ථරයන්ගේ ඒකීයත්වයක් ඇති වු විට මේ බඳු භූ රෑපයක් සෑදේ. නැමි අක්ෂයන්ගේ දෙපස සෑදෙන බෑවුම් කෝණ වල සමාන බවක් දැකිය හැකි නිසා සමමිතික බෑවුම් යන්න යෙදේ. ද්විමාන වර්ණ රැපය දක්වන්න‍නේ සමමිතික උඩු නැම්මකි. එය යටි නැම්මක වුවද පිහිටිය හැක.
          උදාහරණ:- හිමාලය කඳුවැටියේ උසින් අඩු සිවලින් කඳු

 අසමමිතික නැමි.(Asymmetrical fold)

(රෑපය: කතුවරිය විසින් අදහස පැහැදිලි කිරීමට අඳින ලද්දකි)

නිර්මාණය වීමෙදී වෙනස් ප්‍රතිරෝධකතා සහිත පාෂාණ ස්ථර නැවිමෙන් මේවා සෑදේ. දෙපසින් ලැබෙන පීඩනයේ අසමානතාවය හා පාෂාණ ස්ථරයන්ගේ අසමාන බව නිසා එක් පැත්තක පීඩනයට වඩා අනෙක් පැත්තේ පීඩනය අඩු හෝ වැඩි එකක් විය හැක. එවිට සෑදෙන භූ රෑපයේ බාහු වල අසමාන බවක් දැකිය හැකි වීම විශේෂය යි. එනම් නැම්මේ එක් අංශයක් අනෙකට වඩා බෑවුම් සහිත ය. උදාහරණ:- එංගලන්තයේ පෙනයින් කඳු (රෑපයෙන් දැක්වෙන්නේ වෙනත් ස්ථානයකි)

(ඡායාරෑපය අන්තර්ජාලයෙනි. )
         
සමානති නැමි. (Isoclinals fold) 


මෙම භූ රෑපය නිර්මාණය වන පාෂාණ ස්ථරයන් සමාන වේ.
 උදාහරණ:- හිමාලය ආශ්‍රීත සිවලින් කඳු (පහත රෑපයෙන් දැක්වෙන්නේ වෙනත් ස්ථානයකි)

(ඡායාරෑපය අන්තර්ජාලයෙනි. )

ඔත් නැම්ම, සැතපුන නැම්ම (Recumbent fold) 


ඔත් නැම්මක් සැතපුන නැම්මක් ලෙසද හඳුන්වයි. එක් පැත්තක පීඩන බලය අනෙක් පැත්තේ පීඩන බලයට වඩා අතිශයින් වැඩි වු විට නැමි අක්ෂය ද බෑවුම් කරමින් උඩු බාහුව යටි බාහුව මත පිහිටන සේ සකස් වේ.
          උදාහරණ:-ඇලිප්ස් කඳුවැටියේ  මේ ලක්ෂණ දැකිය හැක.

ඒකානති නැමි. (Monoclinefold

මෙය ආකාර කිහිපයකින් නිර්මාණය විය හැක. එක්තරා ආකාරයකට විභෙදයක් සේ ද සැලකිය හැකි මෙය නිර්මාණය වන්නේ නැමි අක්ෂය අසලින් පාෂාණය බිඳිමෙනි. නමුත් නැපියක් සේ විශාල බලයක් මෙයට හේතු නොවන නිසා මෙහි මතුපිට පාෂාණ ස්ථරය එතරම් දුරකට යන්නේ නැත.  මෙහි පහළ තිබෙන ස්ථර තියුණු අවපාතයක් හෝ පොළවට සමාන්තරව විහිදෙන, මෘදු බෑවුමක් සහිත ආකාරයට  සමන්විත වේ. අභ්‍යන්තරික පාෂාණ තට්ටු වෙනස් බල මඟින් සම්පීඩනය වීම හේතුවෙන් නිර්මාණය වේ.

(ඡායාරෑපය: විකිපීඩියාවෙනි. ස්ථානය: Colorado National Monument)

උදාහරණ:- ග්‍රෑන්ඩ් කැනියොන් ප්‍රදේශය - ඇරිසෝනා- USA

                   බ්ලු මවුන්ටන් - ඕස්ට්‍රේලියාව

                   කොළරාඩෝ උද්‍යානය - USA


උලැඟි නැම්ම, නැපිය  (Nappe fold) 


ඔත් නැම්මක හෝ ඒකානති නැම්මක උඩ පිහිටි බාහුව මතට වැඩි පීඩනයක් ඇති වු විට එය යට කොටසට වඩා ඉදියට තල්ලු වී යා හැක. මෙසේ තල්ලු වන කොටස උලැඟිවීම සිදුවු ස්ථානයෙන් කිලෝමීටර ගණනාවක් ඈත තැම්පත් වී තිබිය හැක. එවිට ඒවා එකවරම හඳුනා ගැනීම අපහසු වේ. අයෙකුට මෙය සම්පීඩනය නිසා ඇතිවන විභෙද අවස්ථාවක් සේ වුවත් සැලකිය හැකි නමුදු මෙය නිර්මාණය වන්නේ නැමි කඳු නිර්මාණය වන ආකාරයට ම බැවින් හා විභේද වීම ඒ පාෂාණ ස්ථරයන්ගේ දරා ගැනීමේ හැකියාවට වඩා වැඩි වීම හේතුවෙන් නිර්මාණය වන නිසා මෙය බොහෝ අය සලකන්නේ නැමි කන්දක් ලෙස ය(1). කෙසේ වුවත් මේ වැනි සංකීර්ණ නැමි ලෝකයේ ඉතාම විරල වේ. උපරිපතනය, අතිව්‍යාප්ත ව්‍යුහය යනුවෙන්ද මෙම භූ රෑපය හැදින් වේ. නමුත් මේවා කුඩා පරිමාණයෙන් කඳුවල දැකිය හැකි යැයි ඇතැම්හු අදහස් කරති.
          උදාහරණ:- ස්කොට්ලන්තයේ වයඹ දිග කඳු අතර මේ ලක්ෂණ දැකිය හැක. එමෙන් ම යුරෝපයේ මධ්‍යම ඇල්ප්ස් වලද, නැගෙනහිර රොකී කඳු වල දැකිය හැකිය(2)


උඩු හා යටි නැමි මඩුල්ල . (සහනති මඩුල්ල  හා ප්‍රතිනති මඩුල්ල)  

(රෑපය: කතුවරිය විසින් අදහස පැහැදිලි කිරීමට අඳින ලද්දකි)

(ඡායාරෑපය අන්තර්ජාලයෙනි. )
උඩුකුරැව ඇති වන වන උඩු නැමි ප්‍රතිනති (Anticline) නමින් ද යටි නැමි සහනති (Syncline) නමින් ද හැඳින්වේ. කුඩා නැමි රාශියකින් සමන්විත උඩු හා යටි නැමි පිහිටි විට එය උඩු හා යටි නැමි මඬුල්ල ලෙස හැදින්වේ.
·       විශාල සහනති මඩුල්ලක (උඩු නැම්මක) සුළු ප්‍රතිනති හා සහනති (උඩු හා යටි නැමි) සංඛ්‍යාවක් / රාශියක් ඇති වු විට එය සහනති මඩුල්ල ලෙස හැඳින් වේ.(3)
උදාහරණ:- ශ්‍රී ලංකාවේ ව්‍යුහයේ බටහිර-නැගෙනහිර හරස්කඩ පරික්ෂා කිරීමෙන් මධ්‍යම කඳුකරය මෙවැනි භූ රෑපයකට නිදසුන් සපයන බව  විද්වතුන් පෙන්වා දේ. (ඒ ගැන සවිස්තරාත්මකව ලංකාවේ භූ විද්‍යාත්මක සැකැස්ම පිළිබඳ කරනු ලබන ලිපි පෙළින් පැහැදිලි කර ගමු). ඒවා නිර්මාණය වී තිබෙන්නේ ප්‍රාග් කේම්බ්‍රීය අවසාදිත හේතුවෙනි. ඒ අනුව යටි නැම්මේ දුම්බර මිටියාවත හා වත්තේගම සිට කටුගස්තොට ද උඩු නැමි වල හන්තාන දොළොස්බාගේ උඩුවෙල ආදී ප්‍රදේශ පිහිටා ඇත. මේ බව පැහැදිලි කරන රෑපසටහනක් භෞතික භූගෝල විද්‍යාව අ.පො.උ. සඳහා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව (2009) ග්‍රන්ථයේ 28 වන පිටුවේ තිබේ.
තරමක් විශාල උඩු නැම්මක්
 ·       එමෙන්ම විශාල ප්‍රතිනතියක් (යටි නැම්මක) තුළ සුළු ප්‍රතිනති හා සහනති (උඩු හා යටි නැමි ) රාශියක් ඇති වු විට එය ප්‍රතිනති මඩුල්ලක් වේ(3). එංගලන්තයේ විල්ඩ් ප්‍රදේශයේ මිට නිදසුන් තිබේ

 
තරමක් විශාල යටි නැම්මක්. නමුත් ලෝකයේ මීට වඩා  අති දැවැන්ත යටි නැමි තිබේ.
      යටි නැම්මක්. රෑප දෙකින්ම පෙනවන්නේ එකම ස්ථානයක්. එය පාර සෑදීමට කන්ද කැපිම නිසා දැක ගත හැකිව තිබෙනවා.

චෙව්රන් (නිලපටි ආකාර) නැම්ම.(Chevron Fold)
          
  ඇත්තෙන්ම මේ නැම්මට සිංහලෙන් කියන නම මා දන්නේ නැහැ. Chevron  කියන වචනය ඉංග්‍රීසියේ දී යොදා ගැනෙනවා. මේවා නිලධාරින්ගේ නිලපටි ආකාරයට සමාන නිසා මේ නම භාවිතා වන බවක් තමා විකිපීඩියාව නම් දක්වන්නේ. මේවා තද නැමි වන අතර අංශක 70-80 ක් පමණ ආනත වී තිබෙනවා. ඍජු බාහු මෙන් ම මේවායේ උල් වු කොන් සහිත නැමි දැකිය හැකියි.  ස්ථර / තට්ටු රාශියකින් සමන්විතයි.
       උදාහරණ:- මඩගල් හා වැලි ගල් වලින් සැකසුණු උතුරැ කොන්වෝල් හි මිල්ලොක් කන්ද මීට උදාරණයක්.
(ඡායාරෑපය: විකිපීඩියාවෙනි. ස්ථානය: The Millook, North Cornwall.UK)

විවිධ භූ රෑප තවදුරත් ඊළඟ ලිපි  පෙළෙන් උගෙනිමු...

ලිපි පෙළටම පහත පොත් කියවලා ගත්ත දැනුමත් ලොකු පදනමක් සැපයුවා.
·        1.) භූ දර්ශනය ගොඩබිම සහ සාගරය- මහාචාර්යය එන්. කේ. දන්ගල්ල මහතා - අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තුමේන්තුව. (1981)

·        2.) භෞතික භුගෝල විද්‍යාව හා දේශගුණ විද්‍යාව ආචාර්යය එන්. කේ. හොරොක්ස් (සිංහල මුද්‍රණය - 1976) ඇම්. ඩී ගුණසේන සහ සමාගම.

·        3.) භෞතික භූගෝල විද්‍යාව අ.පො.උ. සඳහා. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව (2009)

·        4.) උසස් පෙළ භෞතික මානව  හා ආර්ථික භූගෝල විද්‍යාව - නිව්ටව් කේ ප්‍රනාන්දු (1972) ඇම්. ඩී ගුණසේන සහ සමාගම.

·        5.) භෞතික භූගෝල විද්‍යා මුලධර්ම - එෆ්. ජේ .මොන්ක්හවුස් - රාජ්‍ය භාෂා පරිවර්තන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන අංශය (1966)

·       මෙහි පලවන හා මෙම ලිපි මාලාවටම පදනම් වන සියළුම අන්තර්ජාලයෙන් ලබා ගත් ඡායාරෑප එහි අයිතිකරැවන් සතුවන ඒවා බව සලකන්න. කතෘ අයිතිය සුරකින්න.

*ද්විමාන හා ත්‍රිමාණ රෑපසටහන් ආකාර දෙකින් ම ඉදිරිපත් කර ඇත්තේ ඉතා පහසුවෙන් තේරැම් ගැනිමට ය. එය කියවන ඔබ වෙහෙස කරවනේ නම් කණගාටු වෙමි. සමහර රෑප සටන් අන්තර්ජාලයෙන් ලබා ගැනීමෙදී හමුවන්නේ රෑපය පමණි. ඒවායේ ස්ථාන නාම නැත. නමුත් උත්සහ කරන්නේ නම් ඒවා සොයා ගැනීමට නොහැකි නොවේ යැයි සිතමි.




Monday, July 16, 2012

පෘථිවියේ නැමි කඳු හා ඒවායේ සැකැස්මට අදාළ වු භූ රෑප.



01 කොටස
පෘථිවියේ භූ රෑප පිළිබඳ විමසිමේ පළමුවැන්න.
 (ඡායාරෑපය අන්තර්ජාලයෙනි. )

සෑම මහද්විපයකම ඊට ආවේනික වු රටාවකට හැඩ ගැසුණු විවිධත්වයකින් යුතු භූ රෑපනයක් දක්නට ලැබේ. කඳු නිර්මාණය වන්නේ පෘථිවියේ අභ්‍යන්තරයේ සිදුවන විවිධ ක්‍රියාවලි නිසා බව විද්වතුන්ගේ විශ්වාසය යි. ඒ කඳු අතර දැවැන්ත නැමි කඳු සුවිශේෂි තැනක් ගනී.
වසර දහස් ගණනක් තිස්සේ පාෂාණ තැටි තල්ලු වී යාම හා තෙරපීම හේතුවෙන් පාෂාණ නැමීම ‍නිසා මෙම නැමි කඳු සෑදී ඇත. ලෝ ප්‍රකට දැවැන්ත කඳු වන අන්දීස්, රොකී, හිමාලයා, ඇට්ලස්,  ඇල්ප්ස්, ආදී න් නැමි කඳුවලට උදාහරණ වේ. මේවා සාගරයට ඉතා ආසන්නයේ තැටි මායිම් අසළ පිහිටා ඇත. එමෙන් ම මේ කඳු මුදුන්වල තිබී සාගරික මසුන්ගේ ෆොසිල හමු වී ඇත. යුරල් ඇපලාචියන් වැනි අභ්‍යන්තරික ව විහිදි ඇති නැමි කඳු ද තිබේ. නමුත් වැඩි වශයෙන්ම පරික්ෂණ පවත්වා ඇත්තේ ඇල්පයින් කඳු පද්ධතිය පිළිබඳව වේ. ඇල්පයින් කඳු වලට යුරෝපයේ ඇල්ප්ස් සහ ආසියාවේ හිමාලයා කඳු අයත් වේ.මෙම කඳු පෘථිවි භූ ඉතිහාසයේ තෘතික භු යුගයේ දී ඇති වී ඇතැයි සැළකේ.

 (ඡායාරෑපය: ඇපලාචියන් කඳු හා ඇලිගෙනි සානුව වෙන් කෙරෙන තැන.විකිපීඩියාවෙන් උපුටා ගතිමි. )

රැපයෙන් පෙනෙන පරිදි හො ස්ථිර හා බලවත් පාශාණයක් හමුවෙදී දුර්වල පාශෘණ ස්ථරය නැවේ. කෙසේ වුවද මේ නැමි කඳු දිග පේළි වශයෙන් හෝ චාප වශයෙන් ඇති බව පෙනේ.  නැමි කඳු සැදෙන්නේ පීඩන ඇති වු දිශාවට සෘජු කෝණි ලෙස ය.
          ලෝකයේ විශාල කඳු හා සානු තැනිතලා ආගාධ ඇති කරනු ලබන්නේ පෘථිවි පාෂාණ අතර සිදු වන චලන මඟිනි. එම චලනයන් එසේ ඇති වන්නේ පෘථිවි අභ්‍යන්තරයේ පවතින සංවහන ධාරා හා විකිරණශීලී ඛනිජ වල ශකිතිය මුක්ත කිරීම් වල ප්‍රථිපලයක් වශයෙන් බව විද්‍යාඥයන්ගේ  අදහසයි. ඒසේ ම මේ හැම ක්‍රියාවකටම ශක්තිය ලබා දෙන්නේ සුර්යයා විසින් ය. සුර්යය තාපය හේතුවෙන් හට ගන්න භූ තාපය බොහෝ අන්තර්ජන්‍ය ක්‍රියාවලීන්ට අවශ්‍ය ශක්තිය නිපදවනු ලැබේ.
 මේ ලිපිය අවසානයේ දී මතක තබා ගත යුතුම කරුණක් වන්නේ එක කන්දක් හැදෙන්න බලපාලා තියෙන්නේ මේ තනි සිද්ධියක් විතරක් නෙවේ ය යන්න යි. එක කන්දක මේ වැනි විවිධ නැමි වර්ග බොහෝමයක් තිබිය හැකියි.
          පෘථිවියේ හට ගන්නා සියලුම භූ ලක්ෂණ ක්‍රියාවලීන් දෙකකට අයත් වේ. ඒවා නම්,
·       බහිර්ජන්‍ය ක්‍රියාවලි
බහිර්ජන්‍ය ක්‍රියාවලි අර්ථයෙන් හැඟවෙන පරිදීම පිටතින් සිදු වේ. නග්නීකරණ ක්‍රියාවලීන් ලෙසින් ද මේවා හඳුනා ගත හැක. ගලන ජලය, සුළඟ, අයිස්, සාගර තරංග, ග්ලැසියර යන ඒවා නග්නීකරණකාරක නැතහොත් බහිර්ජන්‍යකාරක ලෙස හඳුනා ගත හැක. මේවා විසින් පෘථිවි පෘශ්ඨය ගෙවීමකට ලක් කිරීම එනම් විශමතාව නැති කිරීම සිදු කරයි.

·       අන්තර්ජන්‍ය ක්‍රියාවලි
මේවා පෘථිවියේ අභ්‍යන්තරයේ සිදුවන ක්‍රියාවලි වේ. භූමිකම්පන වල ප්‍රතිඵල වශයෙන් ඉරිතැලීම් හා ‍දැදුරැ (වෙන් විම්) ඇති වීමෙන් ද,යමකම ක්‍රියාවලියේ දී ඒවා විදාරණය වීමට යමහල් මුඛය විවෘත විමෙන් ද මේවා ඇති වේ. මෙම බලවේග ආකාර දෙකකි.

·       සිරස් චලන (මහද්වීපකාරක (අරීය) බල සහ චලන.)
අභ්‍යන්තරයේ ඇති වන බලවේග ක්‍රියාත්මක වන්නේ සිරස් අතර නම් ඒවා සිරස් බලවේග වේ. මේ මඟින් මහද්වීප හා සාගර වල චලනයන් සිදු කරනු ලැබේ.
පෘථිවිය පුරා ඇති පාෂාණ නිරන්තරයෙන් ඛාදනයට ලක්වේ. මෙසේ ඛාදනයට ලක් වන පාෂාණ ඛාදනය වී තැම්පත් වන්නේ පහත් තැන් වලය. (එනම් නිම්න, වෙරළ ආශ්‍රීතව වැති පහත් බිම් වල).  මෙසේ තැම්පත් විමෙන් පෘථීවියේ යම් තැනක එනම් ඛාදනයට ලක්වන තැන පිහිටි භූ ස්කන්ධයේ බර අඩු වීමත් ඛාදිත ද්‍රව්‍ය තැම්පත් වන ස්ථානයේ බර වැඩි විමත් සිදු වේ. කලක් තිස්සේ මෙසේ බර දරා සිටින භූ ස්කන්ධ වල බර සැහැල්ලු වීම නිසා මේවා එසවීමට පටන් ගනී. සමස්ථිතිකවාදයෙන් කියවෙන්නේ මේ සිද්ධාන්තයයි. මේවා එක්තරා ආකාරයක සිරස් චලනය වීමක්  ලෙස ඇතැමුන් විග්‍රහ කරන්නෙ එබැවිනි.
 ඉතා වැදගත් ම කරැණ වන්නේ භූ ස්කන්ධයක් මේ ආදී ක්‍රියා නිසා ඉහළ පහළයාමක් පමණක් නොව තිරස් අතට චලනය වෙමින් තිරස් චලන ද නිර්මාණය කරන බව ය.
ග්ලැසියර් වැනි දේ වසර දහස් ගණන් පෘශ්ඨය මත තැම්පත්  වීම නිසා කලකදී ඒවා ඒ බරින් පහත් විය. පසුව මෙම ග්ලැසියර ක්‍රම ක්‍රමවෙයන් දියවී යාම හේතු කර ගෙන අර භූමිවල තිබු බර සැහැල්ලු වී එසවෙන්නට පටන් ගනී භූ විද්‍යාඥයන් විග්‍රහ කරන ආකාරයට වසර දසලක්ෂයකට ඉහත ප්ලයොස්ටොසින නම් යුගයේදී යුරෝපය මතුපිට තිබු බවට විශ්වාස කරන ඉතා තද ග්ලැසියර තට්ටුවේ බරට පහත් විය. පසුව ග්ලැසියරය දියවි ගිය පසු අද පවා මේ භූ ස්කන්ධය නැවත එසවෙමින් තිබේ. මේ ආකාරයට මහද්වීපික කොටස් ඉහළ පහළ යාම කෙරෙහි මේ චලන බලපා ඇත.නැත්නම් එසේ ඉහළ පහළ යන චලන වලට මේ නම භාවිතා කරති. සිරස් භූ චලන නිසා නිර්මාණය වන්නේ විශාල පරිමාණයේ භූ රෑප වන සානු , ද්‍රෝණි (පළිහ හා කුට්ටි) වැනි ඒවා වන අතර ඉහළට එසැවෙන විට සානු ද පහළට ගිලා බසින විට ද්‍රෝණි ද නිර්මාණය වේ.
සානු:-
o   අප්‍රිකානු සානුව
o   රුසියානු වේදිකාව
o   ඉන්දීය අර්ධද්වීපික සානුව

ගොඩබිම් ද්‍රෝණි:-
o   උතුරැ ඇමරිකාවේ නොවාඩා ද්‍රෝණිය
o   උතුරැ ඇමරිකාවේ ඌටා ද්‍රෝණිය
o   අප්‍රිකාවේ චැඩ් ද්‍රෝණිය.
o    අප්‍රිකාවේ කොංගෝ  ද්‍රෝණිය.
o   පැරිස් ද්‍රෝණිය.

මුහුදු ද්‍රෝණි:-
o   මධ්‍යධරණි ද්‍රෝණිය
o   කැස්පියන් ද්‍රෝණිය.

·       තිරස් හෙවත් ආංශීක චලන (පර්වතකාරක භූ චලන)
අභ්‍යන්තරයේ ඇතිවන බලවේග ක්‍රියාත්මක වන්නේ තිරස් අතට නම් එය තිරස් බලවේගයක් වේ. පෘථිවියේ දුර්වල පෘෂෘණ කොටස් තිරස් බලවේග නිසා පවතින හැඩයෙන් වෙනස් වේ. මේවා වර්ග දෙක කි.

  • ආතතීය බල සහ චලන.      සම්පීඩනය යනු දෙපැත්තෙන්ම තෙරපීම ය. මේ බලවේගයන්ට නතු වීමෙන් පාෂාණ ස්ථර රැළි ගැසී නැමේ.
  •   සම්පීඩන බල සහ චලන.     සම්පීඩනය යනු දෙපැත්තෙන්ම තෙරපීම ය. මේ නිසා පැලීමට ලක් වී එකිනෙකින් ඈත් වේ. එක තැනක සම්පිඩනයක් ඇති වන විට ඒත් සමඟ ම තවත් තැනක (එම ඈත් වීම නිසා ම, එය හේතු කොට ගෙන ම) ආතතීය බලවේගයක් ඇති විය හැක.
 නග්ණිකරණ මඟින් ඛාදිත ද්‍රව්‍ය (භාරය) පහත් බිම් වල තැම්පත් වන විට ඒවා බරින් වැඩි ය. නමුත් ඛාදනය වු භූමියේ සැහැල්ලු වීම නිසා ඒවා එසවෙමින් එකිනෙකට ලං විය හැක. එවිට මැද පිහිටි ඛාදිත ද්‍රව්‍ය තිබෙන තැන සම්පීඩනය වෙමින් රැළි ගැසේ (නැමි ඇති වේ). මෙලෙස මේ තවදුරත් සම්පීඩනය වන විට නැමීමට ඇති අවකාශය පටු නිසා (ආතතීය නිසා) නැමි කඳු ලෙස උතිකිෂිප්ත(ඉහළට එසවීම) වීම සිදු වේ.මෙසේ ඇති වු කඳු ලෙස පීරනීස්-ඇල්පයින්-හිමාලයා නැමි කඳු හඳුනා ගැනේ. ඒවා අංගාරාලන්තය හා ගොඩ්වානාලන්තය  අතර පිහිටි ටේටිස් මුහුදේ (මේ භූමි දෙක හා සාගර පෘථිවි ඉතිහාසවය් තිබු මුල්ම භුමි හා සාගරික ද්‍රෝණිය වේ. ඒ විහාල මුල් භූමි බිඳි ගොස් පාවී අද පවතින හැඩයට ලෝකයේ මහද්විප හා සාගර පිහිටා ඇත. භූ කාරක තැටි කල්පිතයෙන් ද, ඇල්ෆඩ් වෙබර් ගේ මහද්වීප ප්ලවන කල්පිතයෙන් පැහැදිලි කරන්නේ ද මෙයයි.)තැම්පත් වු අවසාදිතයන් ඇසුරින් නිර්මාණය වී ඇත. රොකී- අන්දිස් කඳු ද මේ වැනිම කඳු වේ.
මෙවැනි විශාල කඳු පද්ධති ඇති කරන්නට මේවා බලපානවා සේ ම කුඩා ප්‍රමාණයේ සම්පීඩනය වීම් නිසා ද නොයෙක් අන්දමේ නැමි ඇති වේ. (ඒ ගැන ඊලඟ ලිපියේ සඳහන් වේ.)
නැමි වර්ග හඳුනා ගන්නේ ඒවායේ හැඩය, නැම්මේ ස්වභාවය, සමමිතික බව, ආදි ලක්ෂණයන් සලකා බලමිනි.
(ඡායාරෑපය අන්තර්ජාලයෙනි. )

විවිධ භූ රෑප තවදුරත් ඊළඟ ලිපි  පෙළෙන් උගෙනිමු...


ලිපි පෙළට ම පහත පොත් කියවලා ගත්ත දැනුමත් ලොකු පදනමක් සැපයුවා.

·  1.) භූ දර්ශනය ගොඩබිම සහ සාගරය- මහාචාර්යය එන්. කේ. දන්ගල්ල මහතා - අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තුමේන්තුව. (1981)

·2.) භෞතික භුගෝල විද්‍යාව හා දේශගුණ විද්‍යාව ආචාර්යය එන්. කේ. හොරොක්ස් (සිංහල මුද්‍රණය - 1976) ඇම්. ඩී ගුණසේන සහ සමාගම.

·3.) භෞතික භූගෝල විද්‍යාව අ.පො.උ. සඳහා. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව (2009)

මේ පොත් බොහෝ දුරට පුස්තකාල වල තියෙන ඒවා. නමුත් පරිශිලනය ඉතාම අඩු හංදා ඒවායේ දැනුම සමාජ ගත වෙන්නේ නෑ. හැමවිටම න්‍යායෙන් සංකල්පයෙන් මෙන් ම අත්දැකීම් හා අත්විදිම් වලින් පෝෂණය වන තරමට තමා වටිනාකම වැඩි වෙන්නේ. අන්තර්ජාලයේත් ඕන තරම් විස්තර තියෙනවා.



මේ ලිපි මාලාවේ පිංතූර ටිකක් වැඩි විය හැකියි. මං උත්සහ කරන්නේ හැම දේකට ම උදාරණයක් පෙන්වන්න. අනික පුංචි පුංචි රෑපවලින් මේ දැවැන්ත ක්‍රියාවලින් පැහැදිලි වෙන රෑප දාන්නත් බෑ. ඉතිං ලොකු පිංතුර එක්ක තමා මේ වැඩේ කරන්න වෙන්නේ.
මේ තමා ආශ්චර්යමත් පෘථිවියේ පය ගහලා ඉන්න ගෙන්දගම් පොළොව  මැවුනු හැටි. දැවැන්ත පර්වත එකිනෙකාගේ හැප්පිලා තෙරපිලා හැදුණු හැටි.  මේවා අධ්‍යයනය කරපු භූගර්භ විද්‍යාඥයින්, භූගෝල විද්‍යාඥයින් ඒවා අඳුන ගන්න විවිධ පදනම් අනුව වර්ග කළා. අපි මේ කියවන්න යන්නේ ඒ වර්ගකිරීම තමයි.
 අපට පාෂාණ ස්ථරවල නැමි නිරික්ෂණය කරන්නට අවශ්‍ය නම් මහා කඳු සොයමින් යා යුතු නැහැ. ඉතා කුඩා ප්‍රමාණයේ නැමි ඔබගේ ගෙවත්තේ ඇති කුමක් හෝ ඉදි කිරීමකට ගෙන ආ කළු ගල් කැබලිවල පවා තිබිය හැකියි. මේ අනුව පහසුවෙන් ම බොහෝ නැමි වර්ග අධ්‍යයනයට උදාහරණ සොයා ගැනීමට පුළුවන්.
 අනෙක් අතට නැමි වර්ග ගවේෂණය කිරීමට මැටි (ක්ලේ) වර්ණ කර තට්ටු වශයෙන් තබා දෙපසින් විවිධ ආකාරයට පීඩනයන් යොදමින් නැමි සඳහා ආදර්ශ නිර්මාණය කළ හැකියි. පාසල් සිසුන්ට අධ්‍යාපන ප්‍රදර්ශන සඳහාත් කණ්ඩායම් ව්‍යාපෘති සඳහාත් මෙවැනි දේ කළ හැකි අතර ඒ ආදර්ශ බාල සිසු පරපුර වෙත තිලිණ වශයෙන් තබා යන්නට හැකියි. කෙසේ වුවත් භූ රෑප විද්‍යාව ඉතාම රසවත් ක්ෂෙත්‍රයක් වන අතර ගවේෂණශීලි ක‍වරෙකුගේ වුව ද සිත් ඇද ගනී. භූ රෑප පිළිබඳ අධ්‍යයනය කරන්නා නිරන්තරයෙන් ම ඇවිද යන්නට සංචාරය කරන්නට සුදානම් වී සිටින්නෙකු විය යුතුයි.

‘වෙනස්වන’ බව වෙනස් කරන්න බෑ.

මේ බ්ලොග් ලිපි ගැන ඔබට හිතෙන දේ?

මහපොළොව ගැන දන්න අය ...