Mahaplawa Blog - A Geographical blog space


මහපොළොව මත සිටින අය

Thursday, June 28, 2012

බෑවුම් විශ්ලේෂණය කිරීමේ සිතියම් ක්‍රමවේද කිහිපයක් පිළිබද විමසුමක්



          මේ ලිපිය පළ කරන්නේ බෑවුම් විශ්ලේෂණය පිළිබද,
·     ජී.එස් ස්මිත් ක්‍රමය
·        හෙන්රි සහ රේස් ක්‍රමය
·        ඒ.එච් රොබින්සන් ක්‍රමය
                             යන සිතියම් විද්‍යාත්මක ක්‍රම පිළිබද විමසීම සදහා ය.
සැ.යු:මේ ලිපිය තේරුම් ගත හැක්කේ ඉහත ක්‍රමවේද පිළිබඳ හදාරා ඇති අයට පමණි.මේ ලිපියෙන් එම ක්‍රමවේද පිළිබඳ සදහන් නොකර දුර්වලතා හා වාසි අවාසි පිළිබඳව පමණක් කතා කරනු ලබන්නේ එම වාසි අවාසි දුර්වලතා ආදිය පිළිබඳව වඩාත් හොදින් සාකච්ඡා කළ යුතු වු බැවිනි.

        බෑවුම් විශ්ලේෂණය කිරීමේ වැදගත්කම.
අප වාසය කරනු ලබන මේ පොළව තළය විස්තර කිරීමේ විද්‍යාත්මක ක්‍රමයක් වන සිතියමේ ඉතාම විශේෂිත අංගයකි බෑවුම් විශ්ලේෂණය. එසේ පැවසිමට හේතුව වන්නේ බෑවුම ඉතාම අඩු තැන තැනිතලාය. එය වැඩි වීමට අනුව ක්‍රම ක්‍රමයෙන් පොළව කදුකර ලක්ෂණ විදහා පෙන්වයි.

 භූමියක් විස්තර කිරීමේදී පළමුවෙන් එහි ස්වභාවය විස්තර කරනු ලබන අතර එහිදි භාවිතා කරනු ලබන තැනිතලාව, රැළි බිම, කන්ද, හෙළ, දඹය ආදී වචන වලින් විග්‍ර කරනු ලබන්නේ ඒ ඒ භූමියේ පවතින බෑවුමෙහි ස්වභාවය යි. එකම දේශගුණික තත්ත්වයක තිබෙන මානව කටයුතු වෙනස් ලෙස හැසිරවීමට තරම් මෙය ප්‍රබල ය. සෑම තැනකම බෑවුම සමාන නැත.
පෘථිවිය මත වෙසෙන මිනිසා ඒ මත කුමක් කරන්නේ ද යන්න අධ්‍යයනය කිරීම භුගෝල විද්‍යාවේ කාර්යය භාර්යයක් වේ. මේ නිසා මිනිසා හා පරිසරය පිළිබඳව අධ්‍යයයනය කරනු ලබන විශයක් වශයෙන් භූගෝල විද්‍යාව භූමියේ ස්වභාවය අධ්‍යයනය කළ යුතු වේ. බෑවුම් පිළිබඳ අධ්‍යයනය කිරීම මේ අනුව ද භූගෝල විද්‍යාවට ඉතා වැදගත් වේ. 
විවිධ සංවර්ධන කටයුතු සඳහා සැළසුම් සකස් කිරීම, කෘෂිකාර්මික කටයුතු කරගෙන යාමට මෙන්ම මානව ජනාවාස ඉදි කිරීමට අවශ්‍ය භූමි තෝරා ගන්නා විටද බෑවුම් පිළිබඳ අධ්‍යයනයන් වැදගත් වේ.
          පහත රෑපයෙන් පෙන්වන්නේ කඳුකරයක් හා තැනිතලාවක් දැක්වෙන බිමකි. එහි ඇති විශම බෑවුම් තත්ත්වය පෙන්වීම සදහා සිතියම් විද්‍යාත්මක ක්‍රමයක් ලෙස බෑවුම් විශ්ලේෂණය යොදා ගැනේ. මෙම කන්දේ විවිධ ස්ථානවල බෑවුම වෙනස්ය. තැනක බෑවුම ඉතා වැඩි ය (දල ය). තැනක අඩුය. තැනිතලාවේ බෑවුමක් ඇත්තේ ම නැත. 


මේ වෙනස සාමාන්‍ය සිතියමකින් නිරෑපණය කළ නොහැක. සාමාන්‍යයෙන් බෑවුම පිළිබද ඉදිරිපත් කීරීම් කරනු ලබන්නේ සමෝච්ඡ රේඛා සටහන් වලින් වන අතර වඩා දිර්ඝ වූත් සංකිර්ණ වුත් අධ්‍යයනයන් සදහා සංකීර්ණ බෑවුම් හදුනා ගැනීමට බෑවුම් විශ්ලේෂණ ක්‍රම ඉතාම වැදගත් වේ.
 ඒ අනුව පහත දැක්වෙන සිතියම් විද්‍යාත්මක ක්‍රමවේද තුන ම ප්‍රාදේශිය බෑවුම් විග්‍රහ කිරීමට විවිධ විද්වතුන් ගත් උත්සාහයන් වල ප්‍රතිඵල වේ.

·        ජී.එස් ස්මිත් ක්‍රමය
යම් ප්‍රදේශයක උසම තැනත් එහිම පහත ම තැනත් දැක්වීම පිළිබද මෙහි දී විශේෂ අවධානයක් යොමු කර ඇත. එමෙන් ම මෙය තැනකට සාපේක්ෂව තවත් තැනක භූ විෂමතාවය දක්වනු ලැබේ.
මෙහි ප්‍රධානතම දුර්වලතාවයක් වන්නේ මෙම සිතියම් ක්‍රමයෙන් උපරීම හා අවම අගයන් අතර අන්තරය පමණක් සැළකිල්ලට ගැනීම ය. ඒවා  ඕනෑම චතුරස්‍රයක විකර්ණයක දෙකොනේ ඇති ලක්ෂ්‍ය දෙකක් විය හැකි ය. අඳිනු ලබන  සමෝච්ඡ රේඛාව නිවැරදිව දක්වන අගයට වඩා වෙනස්ම අගයක් සමචතුරස්‍රයේ මැද ලිවිමට සිදු වේ.පසුව ඒ මත සිට සමස්ත සිතියම ම නිර්මාණය වේ. වැරදි ස්ථාන ගත කිරිමක් පදනම වශයෙන් ගැනිම සුදුසු නැත.
ලම්භ දඹයක නම් තිරස් තුල්‍යක් කොහෙත්ම නැති විය හැකිය. මන්ද එහි දී සමෝච්ඡ රේඛා එක මත එක වැටෙමින් සමෝච්ඡ රේඛා අතර අන්තරයක් කොහෙත්ම දක්වන්නේ නැනි නිසා ය. අන්තරයක් නොමැති නිසා එය මේ ක්‍රමයෙන් ඒම සමෝච්ඡ රේඛා විශ්ලේෂණය කෙරෙන්නේ නැත.
මේ සදහා ස්මිත් විසින් ම විසඳුමක් ඉදිරිපත් කර තිබේ. අත්‍යන්තයන් දක්වන ලක්ෂ්‍ය එකිනෙකට ඈතින් පිහිටන චමචතුරස්‍ර නැවතත් බෙදිය යුතු යැයි ස්මිත් පෙන්වා දුන්නේ ය. නමුත් මෙය දිගින් දිගට කරගෙන යාම ආධුනික සිතියම් නිර්මාණය කරන්නා වෙහෙසට පත් කරවන්නකි.
 එකම පදනම් සිතියම මුලික කරගෙන අඳිනු ලබන සිතියම් දෙකක් දෙ ආකාරයක් වීම ද ආධුනිකයා වෙහෙස කරවන හේතුවකි. එකම පරිමාණයක් අනුව එකම පදනම් සිතියම භාවිතා කර තමා අදින ලද සිතියමක් අනෙකා අඳින ලද සිතියමෙන් සම්පුර්ණයෙන් වෙනස් විය හැක. මෙය සිතියම පිළිබඳ විශ්වාසභාවය අඩු කිරීමට හේතු වන තත්ත්වයකි. විද්‍යාත්මක ක්‍රමයක නොතිබිය යුතු ලක්ෂණයකි.
පදනම් සිතියමේ දැක්වෙන සෑබෑ භූ දර්ශනයට ඉඳුරාම වෙනස් සිතියමක් අවසානයේ දක්නට ලැබීමද දුර්වලතාවයක් වේ.
 පටු නිම්න ප්‍රපාතාකාර බෑවුම් තැන්වල දක්නට ලැබෙන ගොඩැලි වැනි භූ රූප සහිත පුදේශ වල මෙය යොදා ගැනීම පිළිබද ගැටළු තිබේ. මන්ද මෙහි සලකන්නේ උපරීම අගයන් හා අවම අගයන් මිස ඒ අතර තිබෙන තත්ත්වයන් නොවේ.
මෙ නිසා ඒකාකාරී ලෙස විහිදෙන බෑවුම් සහිත සරළ භූ රූප ඉතිහාසයක් ඇති තිරස් අවසාධිත පාෂාණ ව්‍යුහයක් ඇති පරිණත වු විච්ඡින්න සානුවලට මෙය වඩාත් ම උචිත වන බව පෙන්වා දී ඇත. එසේ සරල නොවන සංකීර් භූරූප සහිත බෑවුම්  විශ්ලේෂණය සදහා මෙය සුදුසු නැත.

·   හෙන්රි සහ රේස් ක්‍රමය
මෙම ක්‍රමය ගොඩනැගෙන්නේ ම ස්මිත් ක්‍රමයේ දුර්වලතා මඟ හැරීම සදහාය.
     මෙහි ප්‍රධානත ම ගැටළුව වන්නේ සිතියම් කොටසේ බැරෑරුම්ම කොටස වන ප්‍ර‍දේශ වෙන් කිරීම පුද්ගල තීරණය මත යැපීම ය. මේ නිසා සිතියම එකිනෙකාගේ දැනුම හා දුෂ්ටි කෝණය මත යැපේ. මෙම සිතියම් ක්‍රමය භාවිතා කරන කිහිප දෙනෙකුට එකම ප්‍රදේශයක බෑවුම් විශ්ලේෂණය විවිධ අයුරින් කළ හැක. විද්‍යාත්මක ක්‍රමයක් මෙසේ පුද්ගලයාට සාපේක්ෂව වෙනස් වන විට එහි විශ්වාසනීය බව බි‍දේ.
එකවර බලන්නෙකුට සිතියම අවබෝධ කරගැනීම අපහසු ය. එය සාමාන්‍ය සිතියමක ස්වරෑපයෙන් තරමක් දුරස්ථ බැවින් අවබෝධ කරගැනීම සදහා බෑවුම් විශ්ලේෂණ ක්‍රමයන් පිළිබඳව දැනුමක් තිබිම අත්‍යාවශ වේ.
නමුත් මේ මඟින් එකම ආකාරයේ බෑවුම් ව්‍යාප්ත වී තිබෙනුයේ කොහේද කියා දැනගැනීමේ පහසුව තිබේ. මේ නිසා යම් වගාවක් සඳහා සුදුසු බෑවුමක් තීරණය කිරීමේදී (රබර් වගාව වැනි) , යම් සංවර්ධන ව්‍යාපෘතියක් සදහා බෑවුම් ප්‍රදේශ තෝරා ගැනීමේ දී, නාය යාම් ඇතිවිය හැකි ප්‍රදේශ හඳුනා ගැනීමේදී, ඉදිකිරීම් (ජනාවාස වැනි) කටයුතු වලදී, භූමිය හා ප්‍රදේශය පිළිබඳ තොරතුරු අධ්‍යයනය කිරීම  වැනි තත්ත්වයන් වලදී ප්‍රයෝජනයට ගැනීමට  සුදුසු ම සිතියම් ක්‍රමවේදයක් වේ.

·     ඒ.එච් රොබින්සන් ක්‍රමය
මෙය ද පුද්ගලයාගේ කැමැත්ත හා හැකියාව මත තීරණය වන සිතියම් ක්‍රමවේදයකි.
 ප්‍රධානත ම ගැටළුව වන්නේ මෙහි තිත් තැබිමේ ක්‍රමය යි. තිත් වල ස්ථාන ගත වීම සිදු විය යුත්තේ කොතැන ද යන ගැටළුව මතු වේ. විශේෂයෙන් ආධුනිකයන් සිතියම සකස් කරන විට මේ ගැටළුව ඉතා තදින් ස්මතු වේ.
තිතක් තබන තැන තීරණය කිරිමට සිතියම නිර්මාණය කරනු ලබන්නාට රොබින්සන් ක්‍රමයෙන් දී ඇති උපදෙස වන්නේ, ‘එක් එක් සමචතුරස්‍රයේ බෑවුම අනුව බෑවුමේ එක් අංශකයකට එක් තිතක් බැගින් තැබිය යුතු ය. එහෙත් ඒවා සමමිතික / ජ්‍යාමිතික හැඩයක් මතු නොවන ලෙස ස්ථාන ගත කළ යුතුය. තිත තබන තැන තීරණය වන්නේ යාබද කොටුවේ තබන ලද තිත් වලට අනුව වේ. මෙය ආධුනිකයෙකුට වටහා ගැනීමට අපහසු ය. හේ තීරණ ගැනීමට කොතරම් දුර්වල වන්නේ ද ඒ තරමට සිතියම ද දුර්වල වේ.
නමුත් බැලු බැල්මට එය තිත් සිතියමක් සේ කියවීම පහසුය. එමෙන් ම ආලෝකය අඳුර අතර දෘශත්මක වෙනස සිතියමේ බෑවුම නිරෑපණය කිරීමට මනා පිටුවහලක් ලබා දේ.
බෑවුම දළ වන විට තිත් ළඟ ළඟ ද බෑවුම මද වන විට තිත් ඈතින් ඈතද පිහිටයි. මේ හේතුව නිසා  සිතියම අවබෝධ කරගැනීම  පහසුය.


 මං මේකට නැවත කරුණු එකතු කරන්න හිතාගෙන ඉන්නවා. ඒවා වෙනස් වර්ණයකින් දක්වන්නම්.

1 comment:

  1. පියුමි අක්කේ,ප්‍රායෝගික භූගෝල විද්‍යාව යටතේ ඇති ''සිතියම් විවරණය" සහ "සංඛ්‍යාන හා ප්‍රස්තාරික ක්‍රම" ආදිය පිළිබඳ ලිපි පෙලක්‌ පළකරන්න පුලුවන්නම් ලොකු දෙයක්.මොකද කිසිම පන්තියක සිතියම් විවරණයක් කරන හැටි හරියට කියල දෙන්නේ නෑ.අක්කේ ඔයා බ්ලොග් එක දිගටම යාවත්කාලීන කරන්න අපි බලන් ඉන්නේ අලුත් ලිපි පලවෙනකන්.බොහොම ඉස්තූතීයි.....

    ReplyDelete

මේ බ්ලොග් ලිපි ගැන ඔබට හිතෙන දේ?

මහපොළොව ගැන දන්න අය ...