Mahaplawa Blog - A Geographical blog space


මහපොළොව මත සිටින අය

Thursday, June 14, 2012

සංවර්ධනය හා ළදරු මරණ අනුපාතය



          සංවර්ධනය මඟින් ලෝකයෙත් විවිධ අවකාශ තුළත්  සමාජීය හා ආර්ථික වර්ධනය මනිනු ලැබේ.  එය කුඩා  සංකල්පයක් ලෙස මුලින් මතු ව සමාජ ගත වුව ද අද්‍යතන සමාජ තුළ වෙන් කළ නොහැකි ගුණාත්මක හා ප්‍රමාණාත්මක ලක්ෂණයක් බවට පත්ව තිබේ.  සෑම රටක ම අපේක්ෂාව යහපත්  සමාජ ආර්ථික තත්ත්වයක් උදා කර ගැනීම වන අතර ඒ සඳහා ඒ ඒ රටවල් විවිධ ආකාරයේ මට්ටම් වලින් සංවර්ධනය අපේක්ෂා කරති.  එමෙන් ම විවිධ කාල වලදි සංවර්ධනය පිළිබඳ සමාජ දෘෂ්ටි කෝණය වෙනස්ව තිබේ.
          මේ නිසා 1961 - 1970 දශකයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සංවර්ධනය ලෙස නිර්වචන කරන ලද්දේ ආර්ථිකමය වර්ධනය ක් වුව ද, 1978 දි   එක්සත් ජාතීන්ගේ සංවිධානය හා අනුබද්ධිත තවත් ප්‍රබල ආයතනයක් වු යුනෙස්කෝ සංවිධානය තම මව් ආයතනයේ හඳුනා ගැනීම වෙනස්  කරමින් ‘රටක ආර්ථික වර්ධනය සමඟ සමාජිය සංවර්ධනයක් ද ඇති විය යුතු බව’ පෙන්වා දෙන ලදී.  මෙම ආර්ථික හා සමාජ සංවර්ධනය  මැනිම සඳහා මුල්  කාලයේ දී ළදරු මරණ අනුපාතය, මිනුම් දඬුවක් සේ භාවිතා කළහ. නුතනයේ සහශ්‍ර සංවර්ධන අභිමතාර්ථ  තුළ පවා  ළදරු මරණ අනුපාතයට සුවිශේෂි අවධානයක් යොමුව පවති.
          ළදරු මරණ වැනි ඉහළ සංවේදි අංශයක වෙනසක් සඳහා අවශ්‍ය සමාජ සංයමය එකවර ගොඩ නඟා ගත නොහැක. ඒ සඳහා කාලයක් ගත වේ. සෑම ගර්භණී මවක් කෙරෙහිම ආවේණික සුවිශේෂි තත්ත්ව තිබේ.  ඔවුන් සියලු දෙනා ම පරික්ෂා කළ බැලීම කළ හැක්කේ ශ්‍රී ලංකාවේ මෙන් නොමිලේ සෞඛ්‍ය සේවය ලබා දෙන රටක පමණි.  නොමිලේ සෞඛ්‍ය සේවය  ලබා  දෙන්නේ නම් එම රටේ රජය එම පිරිවැය දරා ගත යුතුය.  ඉන්දියාව වැනි රටක පවතින ගැටළුව එයයි. එහි ගර්භණීන් සායන වලට තබා දරු ප්‍රසුතියටවත් වෛද්‍ය සහය ලබා නොගනී. අන්තර් ජාලයේ  දැක්වෙන පරිදි ඉන්දියාවේ කතුන්ගෙන් 18 %ක් පමණි  දරු ප්‍රසුතිය සඳහා වෛද්‍ය සහය ලබා ගනු ලබන්නේ. 
          සංවර්ධන හරය තුළත් පර්යන්තය තුළත් එක සමාන වෛද්‍ය සේවයක් මෙන් ම එය ලබා ගැනීමේ සමාන අවස්ථාවක් හා සම්භාවිතාවයක් රටක් තුළ ඇති කිරීම මෙහි ලා සංවර්ධනයෙන් ඉටු විය යුතු සේවයයි. ආසියාවේ ලදරු මරණ අනුපාතය ඉතා සිග්‍රයෙන් පහත හෙළීමට නම් ඉතා වේගයෙන් සෞඛ්‍ය සේවය හා ප්‍රවාහන පද්ධතිය රට තුළ කාර්යක්ෂම අයුරින්  පැවතිය යුතු ය.
          සංවර්ධිත සමාජ වලත් සංවර්ධනය වෙමින් පවත්නා සමාජවලත් ඌණ සංවර්ධිත සමාජ වලත් ළදරු මරණ අනුපාතයේ හැසිරීම  එකිනෙකට වෙනස්ය. අන්තර් ජාලයේ දැක්වෙන ආකාරයට උප සහරානු අප්‍රිකාවේ උපදින සෑම ළමුන් 7 දෙනෙකු අතරින් එක් අයෙකු මිය යෑම සාමාන්‍ය තත්ත්වය යි. ආසියාවේ මෙම අනුපාතය 13 ට එකකි.
         
ළදරු මරණ අනුපාතය ඉහළම  හා  පහළම රාජ්‍ය කිහිපයක්  -  2010
තරාව
රාජ්‍ය
ළදරු මරණ අනුපාතය
1
ඇංගෝලාව
180.21
2
සියරාලියෝන්
154.43
3
ඇෆ්ගනිස්ථානය
151.95
4
ලයිබීරියාව
138.24
5
නයිජර්
116.66
219
හොංකොං
2.92
220
ජපානය
2.79
221
ස්විඩීනය
2.75
222
සිංගප්පුරුව
2.31
මුලාශ්‍රය : http//: en.wikipedia.org/wiki/infant mortality rate

2009 වසරේ ලොව පුරා මිය ගිය දරුවන් මිලියන 8.1 න් වැඩි දෙනෙකු මිය ගොස් තිබෙනුයේ අද වන විට ඖෂධ මඟින් සම්පුර්ණයෙන් පාලනය කොට සුව කළ හැකි රෝගාබාධ වලිනි.
          ඉහත වගුවෙන් පෙන්වා දී ඇත්තේ ලෝකයේ ළදරු මරණ අනුපාතය ඉහළ ම හා පහළ ම රාජ්‍ය කිහිපයකි. එම රාජ්‍යයන් හි සමාජිය වර්ධනයේ පොදු බව අනුව එවා කාණ්ඩ දෙකකට බෙදිය  හැකි බව පැහැදිලිවම  දැකිය හැක.
          දෙවන ලෝක යුද්ධය මානව ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් ලෙස බොහෝ විද්වතුන් සැලකිමට හේතු සධක රාශියක් තිබේ. විශේෂයෙන්ම හිට්ලර් ගේ ආඥාදායක පාර්ශවයනුත්  මිත්‍ර පාර්ශවයත් විසින් එකල සඵලතාවය කෙරේ සෘජුවම දායක විය හැකි අති විශාල තරුණ ජන සංඛ්‍යාවක් ලෝකයට අහිමි කළේය. පාචනය,  කොළරාව, මැලේරියාව, ආදී වසංගත රෝග  මෙන් ම පෝලියෝ, මන්දපෝෂණය, දුෂ්පෝෂණය, ආදී තත්ත්ව මෙන් ම එකල පැවති වෛද්‍ය තාක්ෂණයේ ‍මට්ටම ආදීය විසින් පාලනය කිරීමට අපොහොසත් වු  ළදරු මරණ අනුපාතය ආයු අපේක්ෂාව කෙරෙහි තදින් බලපානු ලැබුවේය.
          මිනමාටා, හිරෝෂිමා - නාගසාකි,  චර්නෝබිල්,  අයිවා, භෝපාල්, ආදි න්‍යෂ්ටික ප්‍රහාර හා අනතුරු මඟින් පරම්පරා ගණනාවක් අනතුරේ හෙලීමට අවශ්‍ය මුලික අදියරේ කටයුතු දෙවන ලෝක යුද්ධ සමයේ ආරම්භ කරන ලදී.  අද වන විට ජපානයේ සිදුව ඇති න්‍යෂ්ටික අනතුරු හේතු කොට ගෙන ලෝකයේ අනෙක් රටවල දරුවන් ට වඩා ශරිර ගත විකීරණ  ප්‍රමාණයක් දක්නට ලැබේ.
          1950 වන විට ලෝකයේ ළදරු මරණ අනුපාතය 1000:150 ක්  තරම් ඉහළ අගයක් ගන්නා ලදී.           මේ පිළිබඳ මුළු මහත් ලෝකයේ ම අවධානය යෙමු වු අතර ඉතා සුළු ආබාධ වලින් පවා දරුවන් මිය යාම  ඉතා ඛේදනීය විය. විශේෂයෙන් උපදින රටේ ආර්ථික තත්ත්වය නිසා ම මරණය සඳහා වැඩි සම්භාවිතාවයක් ළදරු ජීවිත වලට එක් කිරීම කණගාටුදායක විය.
පහත ප්‍රස්ථාරය පරික්ෂා කරන විට ළදරු මරණ අනුපාතිකයේ ප්‍රධාන අවධි හතරක්  හඳුනා ගත හැක. මෙම ප්‍රස්ථාරයේ එම අවධි බෙදා දැක්වෙන අතර ප්‍රජා විද්‍යා සංක්‍රන්ති න්‍යායේ මෙන් එය ප්‍රසාරණය කොට විස්තර කළ හැක.

ලෝකයේ ළදරු මරණ අනුපාතය 1950 -  2050

මුලාශ්‍රය : http//: en.wikipedia.org/wiki/infant mortality rate (රෑපයට ජන විද්‍යා සංක්‍රාන්ති න්‍යාය කතුවරිය විසින් අන්තර්ගත කොට ඇත.)


·     ඉහළ ස්ථාවර අවධිය.
      ලෝකයේ ළමා මරණ අනුපාතය ඉහළ ය. අඩු විද්‍යාත්මක දැනුම හා ප්‍රාදේශිය සංවර්ධනයේ දැඩි අසමානතාවය මෙයට හේතු වන්නට ඇත. පළමු හා දෙවන ලෝක යුද්ධ අතර කාලයේ   ලෝකයේ මෙන්ම යුරෝපීය  ළමා මරණ අනුපාතය ද ඉහළ ය. මේ තත්ත්වය 1965 පමණ වන තුරු හඳුනා ගත   හැක.

·     ඉහළ ප්‍රසාරණ අවධිය
      1965 සිට 1980  පමණ වන තෙක් කාලය තුළ ළදරු මරණ අනුපාතයේ ශීග්‍ර පහත වැටීමක් පෙන්වනු ලැබේ. විශේෂයෙන්ම ආසියාවේ මෙම තත්ත්වයේ ශීග්‍ර පහත වැටීමක් ප්‍රස්ථාරය පෙන්වයි.

·     පහළ ප්‍රසාරණ අවධිය
      ලෝකයේ සාමාන්‍ය මට්ටමට එකඟ නොවන ළදරු මරණ අනුපාතයක් මේ යුගය වන විට පවතින්නේ අප්‍රිකානු රට වල පමණි. 1985 පමණ සිට 2035 වන තෙක් මෙම අදියරේ ලෝකය පවතී යැයි මෙම ප්‍රස්තාරය ප්‍රක්ෂේපණය  කොට තිබේ.
   
·     පහළ   ස්ථාවර අවධිය
      2050 වන විටත් අප්‍රිකාවේ  තත්ත්වය සුවිශේෂ ලෙස ලෝකයේ සාමාන්‍ය අගයට වඩා ඉහළ අගයක් ගන්නා අතර එම කාලය වන විට ළදරු මරණ අනුපාතය බොහෝ දුරට පහළ වැටෙනු ඇත.

          ළදරු මරණ අනුපාතිකය සියයට සියයක් ම අඩු කිරීම කිසිදිනෙක සිදු කළ හැකි  තත්ත්වයක් නොවේ යැයි පවතින තාක්ෂණය හා ඥාන සම්භාරය අනුව තර්ක කළ හැක. මරණ පමා කිරීමට මිස  නතර කිරීමට ආගමික ලෝකෝත්තර ක්‍රියා මාර්ග හැරුණු කොට වෙනත්, විද්‍යාව මඟින් තහවුරු කළ ප්‍රතිකර්ම නැත. හෘදයාබාධ නිසා මිය ගිය මිනිසුන් කවර දිනයක හෝ දායකයෙකුගේ හදවතින් ජීවය පවත්වාගෙන යාමට කල්පනා නොකරන ලදී. නමුත් නූතන තාක්ෂණය හෘද වස්තු බද්ධ කිරීම ද කෘතීම හදවත් තැනීම ද දැන් සිදු කරනු ලබයි. තාක්ෂණික දියුණුව පිළිබඳ ව සිමාවන් ලකුණු කිරීමට නොහැක්කේ මේ නිසා ය. එය කෙදිනක හෝ අමෘතය හෝ සදාකාලික ජිවිතය පවත්වා ගෙන යා හැකි (මරණය නතර කිරීම) තත්ත්වයක් කෙරෙහි හෝ ඖෂධයක් සොයා ගැනීමට විද්‍යාව හා තාක්ෂණය ලගා වනු ඇත. නමුත් ඒ පිළිබඳව සේයාවක් හෝ විද්‍යාවෙන් නිකුත් ව නැත.

ළදරු මරණ අනුපාතය පහළ වැටීම 1990-2000
මුලාශ්‍රය : http://www.unicef.org

මිනිසා සතුව අද පවතින තාක්ෂණික හැකියාව මුල් කාලයේ මිනිසුන් අදහනු ලැබු දෙවි වරුන්ගේ හැකියාවන්ට වඩා ප්‍රබලය. උපත් පාලනය කිරීමක් නොතිබු යුගයක රොබට් මොල්තස්  වැන්නවුන් ප්‍රකාශ කලේ ලිංගික කටයුතු ප්‍රතික්ෂේප කළ යුතු බවය. අද උපත් පාලනය සඳහා පවතින  සුලබ ප්‍රතිකර්ම පිළිබඳ එදා අදහසක් වත් තිබි  නැත. එහෙත් මරණය නතර කිරීමක් දක්වා තාක්ෂණය දියුණු වීම නම් තවත් සියවස් ගණනාවක් දුර ඈත ය. මේ නිසා ළදරු මරණ අනුපාතය සියයට සියයක් අඩු කළ නොහැකි අතර එය විවිධ මට්ටමෙන් පාලනය කළ   හැක. පහත සිතියම පෙන්වා දෙන්නේ මෙසේ ළදරු මරණ සංඛ්‍යාවපහළ දැමීමේ  ප්‍රමාණය යි.

සංවර්ධිත  රටවල ළමා මරණ අනුපාතය.
          සංවර්ධිත රටවල එම තත්ත්වය නිසාම ගොඩ නැඟුන වාතාවරණ ළමා මරණ අනුපාතයටද යහපත් බවක් උදා කර දී ඇත. සෞඛ්‍ය ක්ෂෙත්‍රය නිරන්තරයෙන් කෙරෙන පරික්ෂණ හේතුකොට ගෙන දියුණු වන අතරම විද්‍යාව හා තාක්ෂණය වෛද්‍ය විද්‍යාව සමඟ සමිප සමබන්ධකම් පවත්වනු ලැබේ. යටිතල පහසුකම් ද ඉතාම දියුණු මෙම රටවල ආර්ථික සමාජීය ආරක්ෂාව ද ඉහළ මට්ටමක පවති. නමුත් අතීතයේ මේ රටවල ද ළදරු මරණ අනුපාතය ඉහළ අගයක් ගත් අතර 19 වන හා 20 වන සියවස් වල නුතන අප්‍රිකාවේ  තත්ත්වයටත් වඩා ඉහළ ය. 

යුරෝපයේ රාජ්‍යන් කිහිපයක ළදරු මරණ අනුපාතය 1850 - 1940

රට
1850
1870
1900
1920
1940
ප්‍රංශය.
147.0
201.4
160.8
 99.2
 90.5
ජර්මනිය.
-
-
206.8
131.1
 59.8
ග්‍රිසිය.
-
-
-
-
118.2
නොර්වේ.
102.0
100.7
 90.4
 57.5
 38.7
ස්විඩීනය.
146.2
131.9
 98.5
 63.3
 39.2
එක්සත් රාජධනිය.
-
-
-
-
 61.0
මුලාශ්‍රය : http://data.worldbank.org

           ඉහත වගුවෙන් පෙන්වා  දී ඇත්තේ යුරෝපයේ රාජ්‍යන් කිහිපයක ළදරු මරණ අනුපාතය යි. සංවර්ධත රටවල් අද පවතින තත්ත්වය වෙත එලැඹිමට පෙර ඉහළ ළදරු මරණ අනුපාතිකයක්  සහිත යුගයක් පසු කර තිබේ. පහත දැක්වෙන ප්‍රස්ථාරය පෙන්වා දෙනු ලබන්නේ 1960 ත් 2000 ත් අතර කාලයේ බටහිර රාජ්‍යන් කිහිපයක ළදරු මරණ අනුපාතයේ හැසිරීමය. එය පරික්ෂා කරන විට පැහැදිලි වන්නේ මේ වන විට එම කලාපයේ ළදරු මරණ අනුපාතිකය පහළ ස්ථාවර අදියරක පසුවෙන ආකාරය යි.


සංවර්ධනය වෙමින් පවතින රට වල ළදරු මරණ අනුපාතය.
          සංවර්ධනය වෙමින් පවතින ලෝකය ඉතා පුළුල් භෞතික හා සමාජීය වට පිටාවකින් යුක්තය. සංස්කෘතිකමය විවිධත්වය හේතු  කොට ගෙන ඇති වී ඇති නිරන්තර අරගල දශක ගණනක් තිස්සේ ඇදී යන හෙයින් මේ කලාපයේ රටවල පවතින අස්ථාවරත්වය  සාමාන්‍ය තත්ත්වයකි. මීට අයත් වන සමස්ත කලාපය කොටස් තුනකට බෙදිය හැක.
1.     අප්‍රිකානු කලාපය.
2.     ආසියානු කලාපය.
3.     මධ්‍යම ඇමරිකානු කලාපය.

          මෙම කලාප වල සංවර්ධනයෙන් ඉතා පසුගාමී ජන සංඛ්‍යාවක් වෙසේ. පහත සිතියම් අංක 2.9.1 න් දැක්වෙන්නේ ලෝකයේ 2008 වර්ෂයේ දරිද්‍රතා රේඛාවෙන් පහළ ජීවත් වු ජනගහනය යි. 

ලෝකයේ දරිද්‍රතා රේඛාවෙන් පහළ ජීවත් වු ජනගහනය - 2008

මුලාශ්‍රය: විකිපිඩියා


මෙම සිතියමෙන් පෙන්වා දෙන පරිදි සංවර්ධනය වෙමින් පවතින ලෝකය රතු සහ කහ වර්ණ වලින් පෙන්වා දී තිබේ.  ‍මෙම  සිතියමෙන් දැක්වෙන දරිද්‍රතාවය සෑබැ ජීවිත වලට ආරෝපණ වන විට සමාජ ආර්ථික වශයෙන් ඉතා ඛේදනීය තත්ත්ව නිර්මාණය කරනු ලබයි.  එම පරිසරයන් තුළ දක්නට ලැබෙන දරිද්‍රතාවයේ විශම චක්‍රය නැවත නැවත ක්‍රියාත්මක වීම මත ඉතා කණගාටු දායක සංසිද්ධි බිහි වේ.
          සියෙරා ලියෝන් ලෝකයේ ළදරු මරණ අනුපාතය ඉතා ඉහළ රාජ්‍යයකි. මෙම රට සමග එකම දේශ සීමාව බෙදා ගනු ලබන රාජ්‍යයන් දෙකකි ගිනියාව හා සයිබීරියාව.  මෙම රටවල් ත්‍රිත්වයේ ම ළදරු මරණ අනුපාතය ඉහළය. ඇෆ්ගනිස්ථානය ආදි රටවල් හේතුවෙන් ආසියාවේ ළදරු මරණ අනුපාතය ද ඉහළ ය.

ලෝකයේ කලාප කිහිපයක ළදරු මරණ අනුපාතය - 2002
මුලාශ්‍රය: World-Infant-Mortality-Trends.jpg

 ඉහත ප්‍රස්ථාර  පෙන්වා දෙනු ලබන්නේ ඉහත දක්වන ලද කලාපයන් හි ළදරු මරණ අනුපාතයයි. ලෝකයේ ළදරු මරණ අනුපාතයේ හැසිරීමෙහි කාලීක හා අවකාශිය රටාවක් හඳුනා ගත හැකිය. සාක් කලාපයේ එනම් දකුණු ආසියාවේ  ළදරු මරණ අනුපාතිකයේ හැසිරීම කෙරෙහි දරිද්‍රතාවය හා ප්‍රාදේශීය අසමානතාවය ඉතාම තදින් බලපානු ලැබේ. ඇෆ්ගනිස්ථානය, පකිස්ථානය,  ඉන්දියාව, ආදී රටවල මෙම තත්ත්වය ඉතා හොඳින් දැකිය හැක. දකුණු ආසියාවේ පහළම ළදරු මරණ  අනුපාතිකය ශ්‍රී ලංකාවෙන්  වාර්තා වේ.

         
          ලෝකයේ ළදරු මරණ අනුපාතය ඉහත ආකාරයට විවිධ විචල්‍යතා පෙන්වනු ලැබේ. එය ප්‍රාදේශිය සංවර්ධනයේ විෂමතාවය හේතුකොට ගෙන සිදු වී ඇති බව ද පෙනේ. එමෙන්ම ඒ ඒ රටවල් සතු සංවර්ධනයේ ස්වභාවය මත ළදරු මරණ අනුපාතය වෙනස් වන බව ද දක්නට ලැබේ.

2 comments:

  1. ඔයාගේ වැඩ අති සාර්ථකයි කියලා මම දකින්නේ මමත් මෙිවගේ අයට ගෙ‍ාඩක් කැමතියි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ප්‍රතිචාරයට.. ආයෙත් ඉඩ ලද විටෙක මහපොළොව පැත්තේ ඇවිත් යන්න එන්න.

      Delete

මේ බ්ලොග් ලිපි ගැන ඔබට හිතෙන දේ?

මහපොළොව ගැන දන්න අය ...