Mahaplawa Blog - A Geographical blog space


මහපොළොව මත සිටින අය

Sunday, June 17, 2012

ශක්‍යවාදී සංකල්පය.



මෙය භූගෝල විද්‍යාවේ  තවත් එක් වැදගත් ප්‍රවේශයක් වේ. නියති වාදී සංකල්පයට පිළිතුරක් වශයෙන් ඉදිරිපත් වු මෙම අදහස විඩාල් ඩී ලා බ්ලාන්චේ (එය විඩාල් ඩී ලා බ්ලාෂ් ලෙස ද දක්වති)ගේ මුලිකත්වයෙන් වර්ධනය වුවක් වේ.
මෙයින් කියවෙන්නේ මිනිසා පරිසරයට යටත් නැහැයි කියලා නෙවේ. පරිසරයේ යම් යම් සීමා කිරීම් මැද මිනිසා පවා මිනිසා පරිසරයට යටත් නොවන බව මේ මතයෙන් කියවෙනවා. මිනිසා පරිසරයේ ජීවත් වන්නේ පරිසරයට උවමනා ආකාරයට නොවන බවත් මිනිසා ඔහුට අවශ්‍ය පරිදි ජීවත් වන බවත් ශක්‍යවාදින් ප්‍රකාශ කළා.
ශක්‍යවාදින්ට අනුව මිනිසා පරිසරය අභිබවා ගිය  විවිධ අවස්ථා මේ සංකල්පයට උදාහරණ සේ පෙන්වා දිය හැකියි. මේ උදාහරණ අපට අතීතයෙන් වගේ ම වර්තමානයෙන් පවා සොයා ගත හැකියි.
අපේ සිංහල පැරැණ්නෝ හදාපු බිසෝ කොටුව මං හිතන ආකාරයට ශක්‍යවාදයට උදාහරණයක්. මේ බිසෝ කොටුව වැව් බැම්මට  වැවේ ජලයෙන් ගෙන දෙන පිඩනය අඩු කළා. මේ තමා පරිසරය මිනිසාට අවශ්‍ය ආකාරයට සකස් කරගැනීම කියන්නේ.අනෙක් අතට වැවක් කියන්නේ ම  ශක්‍යවාදයට උදාහරණයක් තමා. ස්වභාවිකව ගලන ගංගාවක් හොද තැනක් බලලා හරස් කරලා මිනිස්සුන්ට ඕන කරන ආකාරයට ජලය කාලයක් තැම්පත් කරලා තියාගෙන වර්ෂාව ලැබෙන්නේ නැති කාලයේ ජලය ලබා ගන්න පාවිච්චි කළා.
මේ අනුව නුතන ලෝකයේ අය පෙන්වන උදාහරණ අතරේ පහත සිද්ධිත් තියෙනවා.
·       සුවස් ඇළ හා පැනමා ඇළ තැනීම.

        මෙම ඇළවල් දෙක තනන ලද්දේ සාගර දෙකක් සම්බන්ධ කරන්නටය. සුවස් ඇළ මඟින් මධ්‍යධරණි සාගරය (මධ්‍යධරණී සාගරය පිහිටියේ / අයත් වන්නේ අත්ලාන්තික් සාගරයේ ය.) හා රතු මුහුද (රතු මුහුද අයත් වන්නේ / පිහිටන්නේ ඉන්දියානු සාගරයේ ය) සම්බන්ධ කරනු ලැබේ. මේ ඇළ නිසා යුරෝපයේ සිට පැමිණෙන නැව් අප්‍රිකාව වටා යාත්‍රා නොකර මධ්‍යධරණි මුහුදට ප්‍රවේශ වී ඉන් සුවස් ඇළ දිගේ රතු මුහුදට ප්‍රවේශ වී ඉතා පහසුවෙන් ඉන්දියානු සාගරයට ප්‍රවේශ වේ.
 පැනමා ඇළ පැසිපික් සාගරයත් අත්ලාන්තික් සාගරයත් සම්බන්ධ කරනු ලැබේ. ඇමරිකානු වෙළද කටයුතු සදහා මෙන් ම එංගලන්තයේ නාවික කටයුතු සඳහා ද මෙය වැදගත් වේ. රොකි කඳුවැටි ඇමරිකාවට පැසිපික් මුහුද සමඟ සම්බන්ධ වීමට බාධාවක් සේ නැඟී සිටී. ලෝකයේ විශාලතම සාගරයට ප්‍රවේශ වීමට ලෝකයේ බලවත් ම රාජ්‍යට නොහැකි විම වෙළද හා නාවාක වශයෙන් ඉතා විශාල පාඩුවකි.‍ අනෙක් අතට එසේ ප්‍රවේශ වීමට නම් දකුණු ඇමරිකාව වටා ගොස් ඊට ප්‍රවේශ විය යුතු ය. මේ අවකාශීය දුර මඟහරවා ගැනීමට පැනමා ඇළ තනන ලදි.

·       අස්වාන් වේල්ල ඉදි කර නයිල් ගංගා ජලයෙන් සහාරාවේ වගා කටයුතු කරගෙන යාම.
·       එංගලන්තයේ ක්‍යු ජාතික උද්‍යානයේ සමහර ශිත සමයේ පවා පවතින හරිත වර්ණ ගහ කොළ.
·       මිනිසා අභ්‍යවකාශ ගත වී සද මත පා තැබීම මෙන් ම පෘථිවියට ඉහළින් සාදනු ලබන අභ්‍යවකාශ නැවතුම් පොළ.
·       ඩොලි වැනි සතුන් මෙන්ම ශාක වර්ධනය හා ව්‍යාප්ත කරගැනීමට ක්ලෝන කරණය හා ජාන තාක්ෂණය යොදා ගැනීම.
·       සම්බැරීන භාවිතා කර මුහුදු පතුලේ දින/ මාස ගණනාවක් ජීවත් වීම.
 මිනිසාට ජලයේ දී හුස්ම ගැනිමට නොහැකි නිසා හේ ජලය මතු පිට විවිධ කටයුතු කරගෙන ගිය ද ජලය තුළ කළ හැකි කටයුතු සීමා සහිත විය. නමුතු සම්බැරීනය හේතුවෙන් මිනිසුන් දින ගණනාවක් ජලය තුළ රැදේ. අඩි සිය ගණනක් ගැඹුරු  මුහුදු පතුළ ගවේශනය කරයි.

මෙසේ මිනිසා තමන්ට අවශ්‍ය පරිදි පරිසරය වෙනස් කරගත් අවස්ථාවන්ට උදාහරණ ඕනා තරම් පෙන්වා දිය හැකියි. මේ අදහස මතු වන්නට ඇත්නේ මිනිසාගේ ආධපත්‍යය මතු කර දැක්වීමට බව මිනිස් ස්වභාවය මනාව වටහා ගන්නා විට පසක් වේ.
මිනිසා ස්වභාවයෙන් ම යටත් වීමට කැමති සතෙකු නොවන අතර අතීතයේ පටන් මිනිසා පරිසරයට යටත් ය කියනු ලබන මතවාදය මිනිසා‍ට මදි පුංචි කමක් සේ දැනෙන්නට ඇතැයි සිතේ. මේ අනුව ම කල්පනා කරන විට මට සිතෙනුයේ දේවවාදය යනු මිනිසා මේ පාරිසරික යටත් භාවයෙන් මිදෙන්නට හදා ගත් චින්තනයක් බව ය. එනම් මිනිස් දෙවියන් ගේ ප්‍රතිරෑපය සෑදී ඇත්තේ මිනිසාගේ ස්වභාවයට අනුව ම ය. දේව  රූපකාය මිනිසාට අනුව සදා සියලු ගහ කොළ ද සතුන් ද මිනිසාගේ රුවට ඉතාම සමාන මිනිසාට අධිපති වන්නා වු දෙවියන් විසින් ය යන කාතාන්දරය දේවවාදයේ යටපත් වී ඇති කතාන්දරය යැයි මට සිතීම මේ තර්කය සනාථ කිරීමට මට උපකාර කරනු ලැබේ. (නමුත් දේවවාදය ඇරඹෙන්නේ මේ මානව ආධිපත්‍යය තහවුරු කරගැනීම ට ම නොවන බව කෙනෙකුට තර්ක කළ හැක. එය ට ඉඩ තිබේ. නමුත්  මෙහි ලා මා සම්පුර්ණයෙන් ම වැරදි බව කීමට කිසිවෙකුට නොහැකිය.) මේ අනුව බලන විට ‍පැහැදිලි වන්නේ මිනිසා පරිසරයට යටත් වන බව නොවේ. මිනිසාගේ රැව ම ඇති  මිනිසාගේ දෙවියන්ට පරිසරය ය යටත් වන බවය. මේ යටත් බවට අනුව අපේ පැරණි ලාංකීකයෝ ගස්වලටත් වන්දනාමාන කළහ (අද ද බෞද්ධ බෝධි වන්දනාවන් ප්‍රකාශ කරනුයේ ශාක වන්දනාමානය යි. එක්තරා දුරකට නත්තල් ගහ ද මේ කුලකයට අයත් වේ යැයි මට සිතේ. එහෙත් නත්තල් සමරන අය ඒ ගහට වන්දනා මාන කරන බවක් / පුජනීය බවක් මා අසා නැත ). ගරු බුහුමන් කළ හ.
 සමහර අය මෙය දුටුවේ යටත් බවක් ලෙස ය. ඒ නිසා යටත් වැසියා කපා කොටා පෙරලා දියුණු වන්නට පටන් ගත්තේ ය. පරිසරය පිළිබද මේ පෙරඅපර දෙදිග චින්තනයන් මේ ආකාරය පෝෂණ කළේ ශක්‍යවාදයේ මූල බීජ යැයි මේ අනුව මම සිතමි. මේ ආදිපත්‍ය පළුදු කරන නියතිවාදය කළක් තිස්සේ භූගෝල විද්‍යාවට ප්‍රවේශය සැපයීම ශක්‍යවාදය විසින් සුණු විසුණු කර දැමීම මා සමාන කරන්නේ පාරිසරයට යටත්ව උන් මිනිසා දේවවාදය හරහා හිස එසැවීමේ අරගලයට යි.
මේ අනුව පේනවා ස්වභාවික පරිසරය මිනිස් කටයුතු සම්පුර්ණයෙන්ම තීරණය නොකරන බවත් ස්වභාව ධර්මය මිනිසාට  තෝරා ගැනීමට ශක්‍යතා ප්‍රමාණයක් දෙන බවත්.  ඒ වගේ ම මේ දෙනු ලබන ශක්‍යතාවයන්ගෙන් මානවයා ගනු ලබන ශක්‍යතාවය මත පරිසරය විවිධ ප්‍රතිචාර දක්වනු ලබනවා. උදාහරණයකට අපි කාබන්ඩයොක්සයිඩ් ඇතුළු ‍තවත් හරිතාගාර වායු පෘථිවියට නිකුත් කරද්දි පෘථිවිය ඊට පිළිතුරක් වශයෙන් / ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් ගෝලයේ උශ්ණත්වය වැඩි කරනවා. කවුද දැන් මේ ප්‍රශ්නේ ඇති කළේ ?. මිනිස්සු. විසඳුම කව්ද ගන්න ඕන ?. ඒත් මිනිස්සුම තමා.

මිනිස්සු අද කොච්චර නම් දියුණු කියනවානම් පස් නැතුව පැළත් වවන්න පුළුවන් ලු. පසුගිය දවසක මං දැක්කා ගෝල්ඩ් ෆිෂ්ගේ මාළු ටැංකියේ මේ ගැන පෝස්ට් එකක් තියෙනවා. මිනිස්සු පොළවේ ඉන්න ඉඩ මදි හංදා පොළව සාගරයට යටවෙන්න පුළුවන් හංදා (සාගර ජල මට්ටම ඉහළ ගියොත් යට වෙනවා නේ) සාගරයේ කෘතීම දුපත් පවා හදනවා.
 මිනිස්සු  කියන්නේ මිනිස්සුන්ට. උන් මහ පුදුම ජාතියක්. ශක්‍යවාදය කියන්නේ ඒ පුදුම සතා ගැන පුංචි කතාවක් විතරයි. එයාලා ගැන කතා කරන්න තව ගොඩාක් තියෙනවා. ඊට පස්සේ පෝළිමක් තියෙනවා මේ මිනිසා කියන එකා කරපුවා ගැන කියන්න. ඊට පස්සේ කරන එව්වා. ඊටත් පස්සේ කරන්න ඉන්න එව්වා. මේ බ්ලොග් එක එවිවාගෙන් මෙව්වාගෙන් පිරෙන්නේ ඒ දේවල් කතා කරන කොට තමයි.
අපි නියති වාදය ගරු කළත් නැතත් ශක්‍යවාදය ගරු කළත් නැතත් මතක තියාගන්න ඕන කරන එකක් තියෙනවා ඒ තමයි අපි කරන හැමදේටම පරිසරය ප්‍රතිචාර දක්වනවා !
(සෑම ක්‍රියාවකටම සමාන වු ද ප්‍රතිවිරුද්ධ වු ද ක්‍රියාවක් ඇතැයි කියා නිව්ටන් කියා ඇත.)

No comments:

Post a Comment

මේ බ්ලොග් ලිපි ගැන ඔබට හිතෙන දේ?

මහපොළොව ගැන දන්න අය ...