Mahaplawa Blog - A Geographical blog space


මහපොළොව මත සිටින අය

Saturday, May 26, 2012

නියතිවාදී සංකල්පය







20 වන සියවසයේ දී වඩාත් ප්‍රචලිත වු භූගෝල විද්‍යාවේ ප්‍රධානතම ප්‍රවේශයක් වන නියතිවාදී සංකල්පය ෆෙඩ්රික් රැට්සෙල්ගේ ලිපි ලේඛන හරහා සමාජ ගත විය. එම අදහස් සදහා රැට්සෙල්ට ඩාවින්ගේ පරිණාමවාදී අදහස් බලපාන්නට ඇතැයි සිතිය හැක. මන්ද යත් එකල භොතික විද්‍යාත්මක හෝ රසායන විද්‍යාත්මක සොයා ගැනීම් රාශියක් සමාජ විද්‍යාත්මක විශයයන් පෝෂණය කරගැනීමට ඒ ඒ ක්ෂේත්‍ර වල විද්වත් අය පෙළඹුනු බැවිනි.

  නියතිවාදයේ මුලික අදහස වන්නේ මිනිසා භෞතික පරිසරයට යටත් ය යන්නය. මොවුන් පෙන්වා දුන් ආකාරයට ,
  •    මිනිසාට පරිසරය ජය ගත නොහැක.
  •       මිනිසා පරිසරයට අනුවර්තනය විය යුතුය.
  •       මිනිසා පරිසරයේ කොටසක් (අංශුවක්) පමණි.
 20 වැනි සියවසයට කලින් ඈත අතීතයේ වාසය කළ  ඇරිස්ටෝටල්, සොක්‍රටීස්, හිපොක්‍රොටීස්, මොන්ටෙසික්‍යු, අල් ජාහිශ්, ඉබන් කාල්ඩූම්, යනාදී අය ද යම් යම් නියතිවාදී අදහස් දරන ලද බව පෙනේ. එහෙත් තවත් සමහර අය පෙන්වා දෙන්නේ මෙය චීනයේ ක්‍රි:පූ දෙවන සියවසයේ දී පමණ දක්නට ලැබුණු බවයි.
 
පුරාණ ග්‍රීකයන් ‍ශීත කලාපය සෞම්‍ය කලාපය හා නිවර්තන කලාපය වශයෙන් කලාප තුනකට ලෝකය බෙදන ලදී. ග්‍රීක ජන සමාජය ස්ථානගතව පැවතියේ සෞම්‍ය කලාපයේ වන අතර ග්‍රීකයන් අන් හැමට වඩා බුද්ධිමත් එමෙන්ම දියුණු සමාජයීය වටපිටාවක් සහිත වු බැවින් ඔව්න්ගෙේදියුණුවට බලපැ පුබලතම හේතුව වන්නේ එහි භූ විශමතාවය බව ඔවුන් ගේ අදහස විය. ලෝක සිතියමේ තමාට ඉහළින් ඇති ශීත කලාපයත් පහළින් ඇති ඝර්ම කලාපයත් අඩු දියුණු කලාප වී ඇත්තේ එහි පවතින දුර්වල පරිසරය බව ඔවුන්ගේ අදහස වීඇත. 
ඇරිස්ටෝල් හා ඔහුගේ මතය දරන්නන් පෙන්වා දෙන ආකාරයට මිනිසුන්ගේ ස්වභාවය තින්දු තීරණ ගැනීම මෙන් ම පදිංචි වීම කෙරෙහි පරිසරය බලපාන් ලැබේ. ග්‍රීසිය බුද්ධිමතුන්ගේ නිවහන වී ඇත්තේ එහි පවතින ඉතා සෞම්‍ය දේශගුණය හා හිතකර භූ විශමතාවය ආදී තත්ත්ව හේතුවෙන් බව ඔවුන් තවදුරටත් පෙන්වා දේ. මේ බව පෙන්වීමට ඔහු සරළ ගණයේ දේශගුණ වර්ගීකරණයක් ද ඉදිරිපත් කර ඇත. යම් ප්‍රදේශයක පවතින භූ විශමතාවය එම ප්‍රදේශයේ පරිපාලනය හා දේශපාලනය ද සකස් කරන බව මොහු පෙන්වා දී ඇත. හෝමර් ද මානව චර්යාව කෙරෙහි භූ පරිසරය බලපාන බව පෙන්වා දුන් අයෙකි. නුතනයේ පවා දේශගුණය හා භූ විශමතාවය කෘෂි ආර්ථිකය කෙරෙහිත් කාර්මික ආර්ථිකය කෙරෙහිත් ඉතා තදින් බලපෑම් කරනු ලැබේ. යම් බෝගයක වගා කිරීම සම්බන්ධව ප්‍රධාන තීරණය ගනු ලබන්නේ එම අවකාශයට බලපානු ලබන පරිසර තත්ත්වය බව පැරණ්නෝ පවා හොදින් දැන සිටිය හ.
උදාහරණයක් ලෙස ලෝකය පුරා ම ‍තිරිගු වැවිය නොහැක්කේ ඊට අවශ්‍ය සාධක ලෝකය පුරාම නැති බැවිනි. තේ වගාවට හිතකර දේශ ගුණයක් ලංකාවේ පැවතිය ද ලංකාව පුරා තේ වගා කළ නොහැක. වගා කළ ද එහි ගුණාත්මක බවේ අඩු ලුහුඩුකම් මතුවේ. නුවර එළියේ වවන සමහර මල් පහත රට වෙරළබඩ කලාපයේ වගා කළ හැකි වුවත් මල නුවරඑළියේ තරම් සාර්ථක කරගැනීමට මහත් වෙහෙසක් දරන්නට සිදු වේ. නුවර එළියේ පොහොර නැතිව හැදි පිපෙන ලොකු රෝස මල් වෙරළබඩ තැන්නේ හෝ අභ්‍යන්තර තැන්නේ වගා කළ නොහැකි බව විනෝද චාරිකා ගොස් මල් අතු කඩාගෙන ආ අය හොදින් දනිති. වෙනත් ඕනෑම වගාවක් එසේ වේ.
කාර්මික කටයුතු කෙරෙහි පවා දේශගුණය / පරිසරය ඉතාම තදින් බලපානු ලැබේ. ‍හැම රටකටම නැව් තැනිමේ කර්මාන්තය, ගුවන් යානා කර්මාන්තය කළ නොහැක. කඩතොළු වෙරළක් නැතිව ගැඹුරු වෙරළක් නැතිව නැව් හදන්නට බැරිවා සේම වියළි කාළගුණයක් සහිත කලාපයක් විමත් අත්‍යාවශය වේ. බොහෝ කර්මාන්ත ස්ථාන ගත වන්නේ ඊට අදාළ පරිසරයේ පාරිසරික තත්ත්වය සලකා බලා ය. 
ආර්ථිකය මත ජන ජීවිතය සකස් වන අතර ජන ජීවිතය පවත්වා ගෙන යනු ලබන ආකාරය අනුව එහි සමාජය, සංස්කෘතිය, දේශපාලනය සකස් වේ. එනම් දිර්ඝව සිතා බලන විට සියුම් ලෙස පරිසරය මිනිසාගේ සියළු දේ පරිසරයට ඕනා කරන ආකාරයට සකස් කර ඇති බව පෙනේ. 
සංස්කෘතීක අංගයක් ලෙස භාෂාව සලකන්නේ නම් එය සකස් වීම කෙරෙහි පරිසරය බලපා ඇති බව ප්‍රකට කරුණකි. නිවර්තන කලාපයේ වැසියන් බස හැසිරවීමේදී කට හොදින් ඇර වචන උච්චාරණය කරන අතර සීත කලාපයේ වැසියන් සීත බව හේතුවෙන් මුව මදක් විවර කරමින් වචන උච්චාරණය කරයි. සීත කලාපයේ උපත ලද සාම්ප්‍රදායික නර්ථනයන් බොහෝ මන්දගාමී නමුත් නිවර්තන කලාපයේ සාම්ප්‍රදායික නර්තනයන් ‍බොහෝ වේගවත් ය. සත්ත්ව හමින් සාදන බෙර හඩත් සමග කැලතෙන පාරිසරික උෂ්ණත්වය, පරිසරයේ නිරතර සිදු වන චංචල වීම් නිවර්තන කලාපයේ (ඝර්ම කලාපයේ) කවර නර්තන සම්ප්‍රදායක වුව ද අංගයකි / ස්වභාවයකි. රිකි මාටින්ලා ගේ සංගීත සම්ප්‍රදාය ඒ කලාපයේ පවතින දැඩි සිතලෙන් මිදුනු සංස්කෘතියට ගැලපුන ද මෙම කලාප වලට අවශ්‍ය වන්නේ සිත නිවන සනහන සංගීතයක් බව බොහෝ විද්වතුන් ද පෙන්වා දී ඇත.
විශේෂයෙන් ඝර්ම කලාපයේ මනාලියන් රතු වර්ණයත් සීත කලාපයේ වැසියන් හිම වමන් සුදෝ සුදු  මංගල ඇදුමක් ද අදිනු ලබන්නේ පරිසරයට අනුවර්තනය වු සංස්කෘතියක උරැමය නිසාය. සමහර රටවල සම්ප්‍රදාය ගරුකරන මුස්ලිම්  සහෝදරියන්ට කළු පැහැති දිග ලොගුවක් ඇදිමට නියම වේ. ඊට හේතුව වන්නේ ඔවුන්ගේ එළිමහන් කටයුතු අධෛර්යමත් කීරීම ය. (කාන්තාව විනය ගරුක වන තරමට මාජය යහපත් කරගත හැකි යන අදහස ඔවුන් පිළිගනී. දැඩි නීති රීති පැනවීමට හේතුව එයයි.) කාන්තාර පරිසරය නිජ බිම කරගත් ඔවුන්ට කළු ලෝගුවක් ඇග ලා ගෙන එළිමහනේ  කටයුතු කිරිම බොහෝ අපහසුය.
සමහර අවකාශවල ජීවත් වීමට නම් ඒ පරිසර තත්ත්ව වලට හැඩගැසීම අනිවාර්යය වේ. ශීත කලාපයක කෙනෙකුට කපු ඇදුමකින් පමණක් සැරසී එළිමහනේ වීදියක ඇවිද යා නොහැක.එවන් සිතුම් පැතුම් ඒ පළාත් වල අයට පහළවන්නේ ද නැත්තේ එසේ යා නොහැකි බව ඔවුන් දන්නා බැවිනි. හොදින් ඉර පැයූ දිවා කාලයක ඇදුම් දෙක-තුනක් ඇද සීත කබායක් හා ලොම් සළුවක් පැලද හිම තොප්පියක් ද දමාගෙන නිවර්තන කලාපයේ විදීයක ඇවිද යන කෙනෙකු ගැන සිතන්න. ඒ විලාසිතාව එම පරිසරය ප්‍රතික්ෂේප කරන බැවින් ඒවා කළ නොහැක.
අප ආගම් පවා ඇදහිල්ල, පුද සිරිත් පවා සකස් කර ඇත්තේ පරිසරයයි. නිවර්තන කලාපයේ මුල් බැසගත් ආගම් දහම් සත්ත්ව ආහාර හෙළා දකිති. ඉහළ ජෛව විවිධත්වයක් හිමි මෙවන් කලාපයන දී එය මුල් බැස ගත්තද ගෝලීයකරණය නොවු ජන සමාජයක ජාත්‍යන්තර වෙළදාම දුර්වල කාලයක ශිත කලාපයේ වැසියන් කෙසේ එවැනි ආගමක් අදහන්න ද? ඔවුන් මේ උයනේ ඇති සියළු ගහ කොළ සේ ම සියළු සතුන් ද උඹලාට ආහාර පිණසය, කියා කියන දහමක් පිළිගත්තේ ඔවුන්ට එකල එය ගැලපුණු බැවිනි. මුකුණුවැන්න, කංකුන්, ගොටුකොළ මිටි / නැවුම් පලතුරු, එළවළු අද මැපෙරදිග වෙළදපොළේ ද විකිණිමට ඇති බැවින් අද නම් ලොව පුරා සියලු ආගම් පිළි ගැනෙන්නේ පුද්ගල නිදහස මත ය. එහෙත් එය වාණිජවාදී ය, මුල්‍යවාදීය. එනම් වෙලදපොලේ බහුලව ඇති මාංශ ආහාර නොගෙන පිටරටින් ගෙන්වන ශාක ආහාරයට ගැනීමට මුදල් අවශ්‍ය වේ. මේ නිසා ශාක භක්ෂක බව රැක ගැනීමටත් එය පවත්වා ගෙන යාමටත් මුදල් අවශ්‍යය.
ආර්ද්‍රතාවය උච්ඡත්වය භූ විශමතා ආදී ලක්ෂණ මිනිස් ජීවිතයට බලපෑම් කරන බව හිපොක්‍රොටීස් පෙන්වා දී තිබේ. 
මිනිසුන් ගේ බාහිර කායික ස්වරෑපය තීරණය කරනු ලබන්නේ ඒ ඒ පුද්ගලයා උපත ලබන, වාසය කරන  පාරිසරික තත්ත්වය බව පස්වන සියවසයේ විසු  සොක්‍රටීස්  හා අල් ජාහිශ්, ඉබන් කාල්ඩූම් යන අය පෙන්වා දී ඇත. ස්ට්‍රබෝ විසින් මානවයාගේ භෞතික ජීවන රටාවට පරිසරය බලපාන බව පෙන්වා දී ඇත. අප්‍රිකාවේ මිනිසුන්ගේ සමේ අධික කළු පැහැයට හේතුවක් වන්නේ සහරාව ඇසුරු කරගත් අප්‍රිකාවේ අධික උෂ්ණත්වය බව මොවුන් පෙන්වා දී ඇත.‍  අල් ජාහිශ් පෙන්වා දී තිබෙනවා මානවයා මෙන් ම විවිධ සතුන් ද පරිසරයට අනුවර්තනය වීමෙන් සිය ජිවිතය රැක ගනු ලබන ආකාරය ය. එමෙන් ම ඔහු තවදුරටත් පෙන්වා දුන් ආකාරයට සත්ත්ව සමේ තද අදුරැ පැහැයට හේතුව වන්නේ අරාබි මහද්වීපයේ ඇති භාෂ්මික පාෂාණ, බැසෝල්ට් වල බලපෑම නිසා බවයි.
සාමාන්‍ය වෘකයා දුඹුරු හා එවැනි අදුරැ පැහැයක් ගත්ත ද හිම ආශ්‍රීතව වෙසෙන සතා සුදු පැහැතිය. මුවා පිණි මුවා වු විට ද බස්සා හිම බස්සා වු විට ද වලහා හිම වලහා වු විට ද මෙසේ සමේ පැහැය වෙනස් වන බව පෙනේ. පැහැය වෙනස් කරමින් ජිවත් වන කටුසු විශේෂ ලංකාවේ බොහෝ පළාත් වල සුලබ දසුනක් වන අතර බොහෝ සතුන් පරිසරයේ ම හැඩ ගෙන වෙනත් සතුන්ගේ ගොදුරැ බවට පත් වීම වලක්වා ගනී. මෙම නියතය මිනිසාට  පමණක් වෙනස් නොවන බවත් මිනිසුන් ද මෙසේ ප්‍රබල පරිසරයේ නියති වාදී පාලනයට යටත් වන බවත් ප්‍රකාශ කෙරිණි. නමුත් පසුකාලීන විවේචකයන් විසින් පෙන්වා දුන්නේ නියතිවාදීන් මෙවැනි කරැණු තුළින් වර්ණභේදවාදය හා වර්ගබේදය පෝෂණ කරන බවය.


බලවතා විසින් දුබලයා පාලනය කරන බව කියන මෙම අදහස වහල්බව පැවති සමාජ වල එම අසාරණ ක්‍රියාව නිවැරදි කිරිමට කරන ලද සුදු හුණු ගෑමක් ලෙස ඇතැමෙක් දකින්නේ ඒ නිසාවෙනි. මෙය නියතිවාදීන්ට එල්ල වු චෝදනාවකි. 
නිවර්තන කලාපයේ සිටින අශිෂ්ට මිනිසුන් ශිෂ්ට සම්පන්න කිරීමේ උදාර අරමුණ ඇතිව සෞම්‍ය කලාපයේ ප්‍රබලයෝ දුබලයන් සිටින්නේ යැයි ඔවුන්ම විශ්වාස කළ ඝර්ම කලාපයට පැමිණ සිය ආධිපත්‍ය පැතිර  වුහ. බාරොන් මොන්ටෙස්ක්‍යු (1689-1755) ප්‍රකාශ කලේ නිවර්තන කලාපයේ මිනිසුන් මහල්ලන් සේ හැසිරෙන අලස මිනිසුන් කියා ය. ‘ද ස්ප්‍රිට් ඔෆ් ද ලෝ’ කෘතියෙන් පරිසරය හා ඉතිහාසය රාජ්‍ය ආයතන නිර්මාණයට බලපාන සැටි ‍ඔහු පෙන්වා දී ඇත. ශීත කලාපයේ මිනිසුන් තරැණයන් මෙන් ක්‍රියාශිලි වන බවත් ඔහු පෙන්වා දුන්නේ ය. අති විශිෂ්ඨ ශිස්ටාචාරයන් විනාශ කළ අධිරාජ්‍යවාදය පෝෂණය කළ මුල් කාලීන අදහස් නියතිවාදින් ද දරණ ලදි යැයි පසු කාලීනව එල්ල වු චෝදනාවකි.


මිනිසාට පරිසරය ජය ගත නොහැකි බව කියන  නියතිවාදීන් සියලු සංවර්ධන ප්‍රයත්නයන් විග්‍රහ කරනු ලබන්නේ පරිසරය නැමැති ප්‍රබලයාට යටත්ව සිය කටයුතු කර ගෙන යාමට දරන ප්‍රයත්න වශයෙනි. එය පරිසරය ජය ගැනීමක් නොව යටත් වැසියෙකු ජිවත් වීම පිණිස ජීවිකාවක් කරගෙන යෑමක් මෙනි. 
ගෝලීය උශ්ණත්වය ඉහළ යාම වැනි කරුණු වලින් මිනිසා කළබළ වීම ම තුළින් පවා පෙන්වනු ලබන්නේ මිනිසාගේ යටත් බව ම ය. නියතිවාදය තවදුරටත් පැහැදිලි කරන විට ඔවුන් පෙන්වා දෙන ආකාරයට ගිනි කදු පිපිරී යාම්, භූමි කම්පා, සුනාමි, ටො(ර්)නාඩෝ, වාසුළි, කුණාටු, ආදී නොයෙකුත් පාරිසරික ක්‍රියාකාර කම් මිනිසාට පාලනය කළ නොහැක. තුන්වන සහශ්‍රකය එළඹීමත් සමග ආ පාරිසරික උපද්‍රව රැසක් මිනිසාගේ බලවත් ම රාජ්‍ය කැළඹු (කැත්‍රිනා, විල්මා, බිටා, චාලි ආදී නිවර්තන වාසුළි) අතර දහස් ගණනක් මරා දැමුවේය. මෙය පශ්චාත් නියතිවාදයේ උපතට බලපෑ අතර මේ වන විට නියනිවාදය නැවත වරක් සමාජයේ මුල් බසිමින් පවතී. 
අනෙක් අතට ඔවුන් කිය පරිදි පරිසරයට මිනිසා නැතිව පැවතිය හැක. එය එහි උපතේ සිට වසර බිලියන ගණනක් පැවතියේ ද එසේ ම ය. නමුත් මිනිසා බිහි වුයේ විශේෂ පාරිසරික තත්ත්වයක් යටතේ වන අතර එම තත්ත්වය වෙනස් වී ගිය දිනෙක යළි මිහිමත මිනිසා නොමැතිව පවතිනු ඇත. 
නුතන සංවර්ධන ප්‍රයත්නයේ නව මානය ලෙස දකින තිරසර සංවර්ධන සංකල්පය ‍ද නියතිවාදය මත යැපෙන බව මේ අනුව පෙනේ. පරිසර හිතකාමී සංවර්ධනය යනු පරිසරයට යටත්ව ගොඩ නගනු ලබන සංවර්ධනයකි. පරිසරයට අනුගත නොවන සංවර්ධන ප්‍රයත්නයන් නොපවතින්නේ යම් හෙයකින් අප පරිසරයට එරෙහි වුවහොත් එදාට ඌ අපේ ගෙල මිරිකනු ඇතැයි යනුවෙන් ඉන්දීය ලේඛිකා කමලා මාකන්දයාර් කියු කතාව සනාථ කරමිනි. 
20 වන සියවසයේ විසු ජර්මන් ජාතික ෆෙඩ්රික් රැට්සෙල් (Fredrick Ratzel)ගේ ලිපි ලේඛන විසින් මේ අදහස නැවත පණ ලැබු අතර ඔහුගේ ශිෂ්‍යාවක වු එලන් සෙම්පල් (E.C. Sempal) (1863-1932) ද නියතිවාදය පැතිරවීමේ ලා විශාල දායක්ත්වයක් දෙන ලදී. ඇයට අනුව මෙම නියතිවාදය යන ක්ෂේත්‍රය අයත් වන්නේ මානව භූගෝල විද්‍යා ක්ෂේත්‍රයට ය. ඈ තවදුටත් පැහැදිලි කර ඇති පරිදි යමක භූගෝලීය වශයෙන් සිදුවන පාලනය නියතිවාදය වේ. එමෙන් ම මිනිසා පරිසරයේ නිර්මාණයක් මිස පරිසරය මිනිසාගේ නිර්මාණයක් නොවන බව පෙන්වා දී ඇත. ඉන්දියාවේ කටුක පාරිසරික තත්ත්ව මුල් කරගෙන බුදු දහම බිහි වන්නට ඇති බව ද බොහෝ ආගම් එවැනි දුෂ්කර තත්ත්ව යටතේ බිහිව ඇත්තේ පරිසරයට යටත් වීමෙන් දැනුණු පීඩනය හේතුවෙන් ය. යුරෝපය පුරා මේ අයගේ අදහස් පැතිර යන විට ඇමරිකා එක්සත් ජනපදයේ නියතිවාදය පැතිර වීමට එල්ස්වර්ත් හංටින්ටන් ( E. Huntintion) වැන්නෝ කටයුතු කළහ.
1966 දී Gorden R. Lewthwaite පරිසරය හා නියතිවාදය නම් ලිපියේදී ඔහු පැහැදිලි කරන්නේ ද භෞතික පරිසරය මානව ක්‍රියාකාර කම් පාලනය කරන බවයි. එ මෙන් ම නියති වාදය ප්‍රභේද ගණනාවකින් සමන්විත පද්ධතියක් සේ සැලකිය හැකි බව ඔහු පෙන්වා දී ඇත. සෙනවි එපිටවත්ත මහතා සිය භූගෝල විද්‍යාවේ න්‍යායාත්මක පසුබිම නම් කෘතියේ පස්වන පරිච්ඡේදයේ 72 පිටුවෙදී මේ පිළිබදව සාකච්ඡා කොට ඇත. එහි දැක්වෙන ආකාරයට ‘පාරිසරික සාධක වලින් නිපදවෙන බලයට යටත්ව හෝ එම බලයට යටත්ව හෝ එම බලයට පැහැදිලි ලෙස ගැටුමක් ඇති නොකරන ආකාරයට මානව ක්‍රියාකාර කම් නිර්මාණය වන බව’  ලෙව්ත්වේට් විසින් පෙන්වා දී ඇත. 
ඉතා සුප්‍රසිද්ධ විද්වතෙකු වු එච්. ජේ. මැකින්ඩර් ද මානව භූගෝල විද්‍යාව භෞතික පරිසරය අනුව බව පෙන්වා දී ඇත.
නියතිවාදින් පෙන්වා දෙන කරුණු බොරුවක් කියා කීමට විවේචකයන්ට අද වන තුරු ම නොහැකි වී ඇත. එහෙත් ආනාගත ලෝකයේ විද්‍යාව හා තාක්ෂණය මත ඔවුන් බලාපොරොත්තු  තබා සිටිති. නමුත් මිනිස් ක්‍රියාකාරකම් වලට පිළිතුරැ ලෙස පරිසරය ගන්නා විවිධ ක්‍රියා මාර්ග තුළ මිනිස් හැකියාවන්ට අත පෙවිය හැකි මානය තවත් දුරස් වන බවක් දැන් දැන් පෙනෙමින් තිබේ. ‍

අන්තිමේදී මට හිතෙනවා.....
 මිනිසා ගේ අවසාන දවසට එම අවසානය ආරම්භය සේ ම පරිසරය බලා සිටිනු ඇත. නමුත් පරිසරයේ අවසාන දවස මිනිසාට කිසිම දිනයක දැකිය නොහැකි වනු ඇත. පෘථිවියේ අවසන් දිනය සැබවින් ම බලා සිටින කෙනෙක් වෙතොත්, හේ මිනිසෙකු නොවනු ඇත. මන්ද මිනිසා කියා කියත හැක්කේ පෘථිවියේ ඉපදි ඒ මත ඇවිද ගිය, ඒ තුළ මිහිදන් වන ජිවියෙකුට  පමණය .


No comments:

Post a Comment

මේ බ්ලොග් ලිපි ගැන ඔබට හිතෙන දේ?

මහපොළොව ගැන දන්න අය ...