Mahaplawa Blog - A Geographical blog space


මහපොළොව මත සිටින අය

Thursday, March 8, 2012

පෘථිවියේ හැඩය

                 මේ මාතෘකාවට ලොකු ඉතිහාසයක් තියෙනවා. ඉස්සර ඉපැරණි ශිෂ්ටාචාර වල මිනිසුන් පෘථිවිය හැඩය සැළකුවේ තැටියක් වගේ හැඩයක් තියෙන අහස ඊට උඩින් තියෙන ආරුක්කුවක් වැනි හැඩයක් තියෙන වස්තුවක් ලෙස.  පහත රූපයෙන් පෙනෙන්නේ ඔය අදහසේ සරළ චිත්‍රයක්.


          මේ ගැන කල්පනා කරලා බලද්දී හිතෙනවා මේ අදහස සත්‍ය සමඟ යම් දුරක් ඇවිත් තිබෙනවා කියලා. හැබැයි අතීත කතා වල ගත යුත්ත මෙන් ම මගදි එකතු වෙච්ච දේ වලින් ඒක විකෘති විමට ඇති ඉඩ   ගැන කල්පනා කරලා ‍, මේක ගැන හිතුවහම තමයි මට මෙහෙම හිතුනේ. ඇල්පඩ් වේග්නර්  (කාලයක් වේග්නර්ගේ  මතය පිළිගත්තේ නෑ) හා තැටි කල්පිතය කිව්වා ව‍ගේ ම අද  විද්‍යාව පිළිගන්නවිදිහට ‍අපේ පෘථිවියේ මහද්විප සියල්ලම එකම ගොඩබිමක් ලෙස තිබි පසුව එය කැඩි ‍පාව යෑම නිසා අද තිබෙන තත්ත්වයට පත්වෙලා තියෙනවා. පෘථිවියේ හැඩය තැටියක් වගේ කියන එකින් අදහස් වෙන්නේ මේ එකට තිබුණු ගොඩ බිම (පැන්ජියාව කියන ඒකීය මහද්වීපය) කියලා මට හිතෙනවා. ඒත් වැඩේ කියන්නේ පෘථිවිය මෙහෙම බෙදෙන කොට  මිනිස්සු හිටියේ නෑ. එතකොට කොහොමද එයාලා මේක දැන ගත්තේ කියන එකයි ප්‍රශ්නේ. අපි නොදන්න කතා ගොඩාක් ඉතිහාසය වර්තමානයට උරුම කරලා තියෙනවා. “චතූගේ කතා” බ්ලොග් එකේ මේ අරුම පුදුම ඉතිහාසය ගැන විශාල ඉඩක් වෙන් කරලා කතා කරලා තියෙන බව සොයා බලන්නෙකුට දැක ගන්න පුළුවන් වේවි.
                ඇනෙක්සිමැන්ඩර්,හෙරඩෝටස්, ටොලමි, ස්ට්‍රාබෝ ආදින් ඈත කාලයේ පෘථිවියේ හැඩය අධ්‍යයනය කළ අය ලෙස වැදගත් වේ. ඔවුන් සිතියම් කරණය සඳහා පෘථිවියේ හැඩය අධ්‍යයනය කළ අය වෙති. ප්‍රකට ගණිතඥයෙකු වන  පයිතගරස්  හා ඔහුගේ අනුගාමිකයන් (ක්‍රි.පු. 5 – 6 වැනි සියවස කාලයේ) පෘථිවිය ගෝලාකාර බව දැන සිටියා. නමුත් ඔවුන් සතුව සිය මතය සනාථ කිරීමට සාක්ෂි තිබුනේ නෑ. එමෙන් ම ඔවුන්ගේ එම අදහස පෘථිවිය පරික්ෂා කර බලා ගොඩ නැංවුවක් නොවේ. එය ජ්‍යාමිතිය පිළිබද ගණිත දැනුමෙන් ගොඩ නගන ලද තර්කානුකුල මතයක් වුණා.
             

    නමුත් ක්‍රි.පු.4 වැනි සියවස කාලයේ සිටි ඇරිස්ටෝටල් වඩා විද්‍යාත්මක තර්කයක්  පෙන්වා දුන්නා. ඔහු පෘථිවියේ හැඩය ගෝලාකාර බවට සාක්ෂියක් ලෙස පෙන්වා දුන්නේ චන්ද්‍ර ග්‍රහණයකදි චන්ද්‍රයා මතට වැටෙන පෘථිවියේ සෙවැණැල්ල ගෝලාකාර බව පෙන්වා දෙමිනු යි. මේ පිලිබදව ඔහු  ඔහුගේ “De Coelo” නම් කෘතියේ දි මේ බව සදහන් කර තිබෙනවා.
          පෘථිවියේ වට ප්‍රමාණය නිවැරදිව මනින ලද්දේ ග්‍රිකයන් යැයි බහුතරයක් සිතන අතර එහි ගෞරවය ඉරටෝස්තීනීස්  (ක්‍රි.පු 276-195 කාලයේ ජිවත් වෙච්ච කෙනෙක්) ට හිමි වේ. (මේ කාලයේ විවිධ අය පෘථිවිය මැන්නා,ඒ ඒ ක්‍රම වලට අනුව එක එක උත්තරත් ලැබුණා. තම තමන්ට ලැබුණු උත්තර නිවැරදියි කියලත් මේ අය හිතුවා. ඉරටෝස්තීනීස් කියන්නෙත් එහෙම කෙනෙක් තමා. එත් එයා හරි උත්තරය ගත්තකෙනෙක් නිසා ඉතාම වැදගත් කොට සලකනවා) ඉරටෝස්තීනීස් පෘථිවිය මැනිමට භාවිතා කලේ සරල ක්‍රමයක්.



                                                          ඉරටෝස්තීනීස්  (ක්‍රි.පු 276-195) 


එරටෝස්තීනීස් පෘථිවිය මැන්න හැටි






(රූප සටහන අදහස පැහැදිලි කරනු වස් රචකයා විසින් අදින ලදි.)-


Z = ධ්‍රැවය
A = ඇලෙක්සැන්ඩ්‍රියාව
S = සයිනි 
R = සමකය
Q = පෘථිවි කේන්ද්‍රය
P = කර්කටක නිවර්තනය



           
            එරටෝතීනීස් ඇලෙක්සැන්ඩ්‍රියා නගරයේ පුස්තකාලයේ පුස්තකාලාධිපති ධුරය දැරු අතර ඇලෙක්සැන්ඩ්‍රියාවේ ම වාසය කලා. සයිනි කියන නගරය පිහිටියේ ඇලෙක්සැන්ඩ්‍රියාවට දකුණු දිශාවෙන්. කර්කටකයට හිරු මුදුන් වු දවසක (කර්කටක නිවර්තන රේඛාවට  මතට හිරු මුදුන් වීම සිදු වනුයේ ජුනි 21 එනම් ගිම්හාන නිවෘත්තිය) ඔහු කර්කටක නිවර්තන රේඛාවට අසල සයිනි හා ඇලෙක්සැන්ඩ්‍රියා නගර වල ගැඹුරු ළිං දෙක ක  සුර්යා ගේ කිරණ පිළිබදව පරික්ෂා කලා. (ඉර දිහා කෙළින් බලලා ඔය වගේ වැඩක් හරියට කරා ගන්න බෑනේ. ඒකයි ළිදෙන් බලලා තියෙන්නේ) සුර්යා ගේ ඡායාව මේ දවසේ දවල් 12 ට ලම්බකව සයින් නගරයේ ළිඳකින් බලන්න පුළුවන් බව ඔහු දැනගෙන තිබෙන්නේ ද මුහුදු කොල්ලකරැවෙකුවෙකුගෙන්. සයින් වල තත්ත්වය මෙසේ වුවත් තමන් වාසය කරන ඇලෙක්සැන්ඩ්‍රියාවේ මෙය සිදුවන ආකාරය ගැන එරටෝස්තීනීස් මීට පෙර නිරික්ෂණය කර තිබුණේ නැහැ.
            මෙය පරික්ෂා කරන විට එරටෝතීනීස් දැක්කා සයිනි නගරයේ හිරු කිරණ පෘථිවියට ලම්භකව වැටිලා තියෙන බවත් ඇලෙක්සැන්ඩ්‍රියාවේ දි අංශක 7.2 ක් පමණ ඇලව වැටි තිබෙන බවත්. ඒ වගේම ඔහු දැනන් හිටියා ඇලෙක්සැන්ඩ්‍රියාවේ සිට සයිනි දක්වා දුර ස්ටෙඩියා 5000 ක් බවත් (ස්ටෙඩියම් එකක් ආසන්න වශයෙන් කිලෝ මීටර 1.85 ක් කියලා කිව්වාට ෆයි අගය 7/22 කියලා ගන්නවා වගේ ආසන්න නිවැරදිතාවයක් විතරක් බව ඇතමුන් පෙන්වා දී තිබෙන බව මතක තියාගන්න). ඒ වගේම පෘථිවිය ගෝලාකාර හැඩයක් සහිත ග්‍රහ වස්තුවක් බවත්.
            ඔන්න ඔය ටික හොයාගෙන එයා ඉතිරි ටිකට තමන්ගේ ගණිත දැනුම භාවිතා කළා. පෘථිවිය ගෝලයක් නම්  එහි පරිධිය අංශක 360යි. ස්ටෙඩියා 5000 ක් දුර යන විට සම්පුර්ණ වෙන්නේ අංශක 7.2 යි. මෙම නගර දෙක අතර දුර පරිධියෙන් 1/50 (360 කින් 7.2 ක් යනු 50 න් 1 කොටසකි.) ක් බවත් ,ඇලෙක්සැන්ඩ්‍රියාවේ සිට සයිනි දක්වා දුර 50 න් වැඩි කිරීමෙන් එරටෝතීනීස් පෘථිවියේ මැන්නා.
             එයාට ලැබුණු පෘථිවියේ පරිධිය කිලෝ මීටර වලින් කිව්වොත් 46,250 ක්. නුතන විද්‍යාවෙන් පෘථිවිය මැන එහි පරිධිය කිලෝ මීටර 40,007.86 ක් බව (සැතපුම් 25,000ක් බව ) සොයා ගත්තා. ඉරටෝස්තීනීස්ගේ මැනුම නිවැරදියි කියලා කිව්‍‍වේ මේ ආසන්න බව නිසා.  මේ දාර්ශනිකයා ලෝක සිතියමකුත් ඇඳලා තියෙනවා . මේ ලෝක සිතියමේ ශ්‍රී ලංකාවත් තියෙන බව බොහෝ දෙනා පිළිගත්තත් සමහර අය මෙය අග්නි දිග ආසියාතික රටක් විමට ඉඩ ඇති බව පෙන්වා දෙනවා.

    අපි ඉගෙන ගන්නේ යුරෝපයේ බිහිවු ග්‍රීක හා රෝම ශිෂ්ටාචාර දෙකේ ඉන්න බුරැතු ගනන් දාර්ශනිකයෝ ගැන විතරයි. එයාලා කිව්ව සමහර දේවල් හරි තමයි ඒත් හැම දේම එහෙම නෑ. හරියට බුද්ධිමත් බවට අක්ෂාංශ බලපානවා කියලා එයාලා කරපු පැහැදිලි කිරීම වගේ. ඉන්දියාව නැත්නම් මහා භාරතයේ (දකුණු ආසියාවේ. මහා භාරතය අද තියෙන ඉන්දියාවට වඩා ලොකුයි. ඒක බොහෝ විට දකුණූ ආසියාවේම පාහේ පැතිර තිබුණු විශාල රාජ්‍යයක්) බොහෝ බුද්ධිමතුන් හිටියා. එත් ඉන්දීය බුද්ධිමතුන්ගේ අවධානය බොහෝ දුරට යොමු උනේ ලෞකීක අංශයට වඩා ලෝකෝත්තර අංශයට. මේ නිසා සමහර සත්‍යන් බටහිර කරණය විසින් සූක්ෂමව වසා තැබිමට අද එය රුකුලක් වී තිබෙනවා. අනෙක් අතට ආරාබිකරයෙන් ඉන්දියාවට ආ ආක්‍රමණිකයන් ඉන්දියාවේ බොහෝ විශ්වවිද්‍යාල  හා වටිනා පුස්තක ගිනිතැබුවා. ඒ ආභාෂය නොඅඩුව අරගෙන අපේ රටට ආපු කාලිංඝ මාඝලා වගේ දකුණු ඉන්දීය ආක්‍රමණිකයෝ කළෙත් ඒක.
    රටක් තවත් රටක් ආක්‍රමණය කරනකොට පළමුවෙන් කරන දෙයක් තමා තම සංස්කෘතිය ඒ ප්‍රදේශවල පතුරවා හරින එක. චීන ව්‍යාප්තවාදය කියන්නේ ඒ වගේ එකක්. රැසියානු සාහිත්‍ය කළේ ඒ වගේ දෙයක්. බටහිර සංස්කෘතිය කියලා දෙයක් ආවේත් අපි ඒකට අහු උනෙත් එහෙමයි. මේ විදිහට එක සංස්කෘතියක් මතුවෙද්දි දහසක් සංස්කෘතීන් වගේම අතිශය ප්‍රබල සංස්කෘතින් අභාවයට ගිහින් නැති වෙලා යනවා. මිසරය මැකිලා ග්‍රීසිය මතු උනාම මිනිස්සුන්ට මිසරය අමතක උනා. රෝමය මතු උනාම ග්‍රීසිය අමතක උනේ ඇමරිකාව ලෝක බලවතා වෙනකොට එංගලන්තය අමතක උන තාලෙටම තමා. ඒක ලෝකේ හැටි. මේ හැටිය දන්න නිසා තමා ඇමරිකාව අද දවසේ තමාට දෙවැනි වන කෙනාට ඔච්චරටම බය. මේ නිසා අරාබි ආක්‍රමණ හේතුවෙන් ඉන්දියානු  දැනුම සේ ම දකුණු ඉන්දීය ආක්‍රමණ හේතුවෙන් ලංකාවේත් දැනුම විනාශ වෙලා ගියා. මේ නිසා මේ ආසියාතික දැනුම එකළ මතු වු මහා ශිෂ්ටාචාරවලින් යට වී ගියා සේ ම විවිධ සංක්‍රමණ හා ආක්‍රමණ හේතුවෙන් වැළලිලා ගියා.
    මේ වගේ ග්‍රීසියේ සුවිශාල බුද්ධිමය කටයුතු රාශියක් සිදුවෙන කොට අතීත භාරතයේත් සුවිශාල බුද්ධිමය ඵල මල් දැරා තිබුණා. නමුත් ග්‍රීක දැනුමේ හා ව්‍යාප්තියේ ආලෝකයෙන් මේ භාරතිය දැනුම වැහිලා ගියා.කොහොම හරි දැනගන්න වටිනම කාරණේ තමා භාරතීය විද්වතුන්  ඉන්නවා පෘථිවිය නිවැරදිව මැන්න. ආර්යභාට ඒ අතරින්  විශේෂිත පුද්ගලයෙක්. ඔහු ජිවත් වුනේ 476-550 CE කාලයේ.
 

                                                            ආර්යභාට ( 476-550 CE)

පෘථිවියේ හැඩය පිළිබඳ ලෝතියන් ග්‍රින්ගේ චතුස්තල කල්පිතය.(1875)


            ඉංග්‍රිසි ජාතික ලෝතියන් ග්‍රින් (1819-1890) නම් භූ රුප විද්‍යාඥයා විසින් පෘථිවියේ හැඩය පිළිබද චතුස්තල කල්පිතය ඉදිරිපත් කළා. වර්ෂ 1875 දී ඔහු කිව්වා මුල්ම කාලේ පෘථිවිය චතුස්තලයක හැඩය ගත් බව. ඔහුගේ  මෙම අදහස ඔහුගේ මරණයෙන් පසුව 20 වැනි ශතවර්ශයේ මුල දි විද්වතුන්ගේ අවධානය දිනා ගත්තා.

මේ ඉන්නේ ලෝතියන් ග්‍රීන්


                                                  (මුලාශ්‍රය:-http://en.wikipedia.org/wiki/Tetrahedral hypothesis)
                චතුස්තලය තමයි මුහුණත් අඩුම ඝන වස්තුව. මෙය සෑදෙන්නේ සමපාද ත්‍රිකෝණ 4ක එකතුවෙන්.




                                                  (මුලාශ්‍රය: http://en.wikipedia.org/wiki/ Tetrahedral hypothesis)

            ඔහුගේ අදහසට පදනම වැටුණේ ග්‍රෙගරි නම් විද්‍යාඥයෙකුගෙන්. ඒ වගේ ම මේ මතය ගොඩනැගිලා තියෙන්නේ භෞතික විද්‍යාවේ නීතියක් (චතුස්තල හැකිලීම) ඇසුරින්.
ගූගුල් අර්ත් සඳහා සිතියම් සකස් කිරිමේදී ද මෙම මුලධර්මය ආශ්‍රය කරගෙන තිබෙන බව දැකිය හැකිය. ත්‍රිමාණ ආකෘති තාක්ෂණික ක්‍රමවේදය ලෙසින් හඳුන්වන එයින් කෙරෙන්නේ පෘථිවි ගෝලය පළමුව ත්‍රිකෝණාකාර සමතල වලින් සෑදීම යි. පසුව සිතියම විශාල (Zoom) කරන සෑම විටම එක් ත්‍රිනකා්ණාකාර සමතලයක් සමතල හතරකට බෙදෙමින්. පහත  සරළ රූප සටහනින් පෙන්වන්නේ ත්‍රිකෝණයකට ඔය දේ කළාට පස්සේ වෙන දේ. ගෝලයක් මතුපිට වෙන්නෙත් ඒකම යි. මේ ගැන ඉතා වටිනා අගනා ලිපියක් විජය පරිගණක සඟරාවේ 2011 දෙසැම්බර් කලාපයේ ප්‍රධාන විශේෂාංගයට පල කරලා තියෙනවා.
                  

    ලෝතියන් ග්‍රීන් කියන්නේත් මේ වගේ, ‘චතුස්තලයකට ගෝලයක් වෙන්න පුළුවන්’ කියන එකයි. කෙසේ හෝ වේවාමෙම චතුස්තල හැඩය ගත් ග්‍රහ වස්තුවේ මුහුණත් වලින් සාගරයත් දාර වලින් ගොඩ බිම ත් නිර්මාණය වු බවයි ‍ලොතියන් ගේ අදහස. එමෙන් ම පෘථිවියේ භ්‍රමණය නිසා හා පෘථිවි අභ්‍යන්තරයේ සිදු වු විවිධ ප්‍රසාරණයන් හා සංකෝචනය වීම් නිසා මෙහි තිබුණ චතුස්තල හැඩය ගෙවී ගොස් අද පවතින ආකාරයට ගෝලාකාර වී තිබෙන බවත් මෙම අදහසින් කියවෙනවා. මෙම කල්පිතය සනාථ කිරීමට ලෝතීන්  පහත සාක්ෂි පෙන්වා දුන්නා.

  • උත්තරාර්ධ ගෝලයේ වැඩි කොටසක ගොඩබිම් (75%කට වඩා) හා දක්ෂිණාර්ධ ගෝලයේ වැඩි කොටසක  මුහුදු තිබිම.
  • චතුස්තලයේ සෑම දාරයකටම ප්‍රතිවිරුද්ධව  තල තිබෙන සේ මහද්වීප හා සාගර එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශා වල පිහිටිම.
  • ත්‍රී අරීය නිර්මාණ හෙවත් සියළුම මහද්වීප හා සාගර දළ වශයෙන් ත්‍රිකෝණාකාර (චතුස්තල හැඩැති) වීම.
  • පෘථිවියේ සමස්ත ඉඩෙන් 3 න් 1 ක් පැසිපික් සාගරයට අයත් වීම.   

            මේ ආදි වශයෙන් සාක්ෂි ඉදිරිපත් වුවත් විද්‍යාඥයෝ මෙම මතය බැහැර කරනුයේ පහත තර්ක පදනම් කරගෙන.

  • පෘථිවිය අභ්‍යවකාශයේ ඇති විශාල ග්‍රහ වස්තුවකි.එහි ඇති කේන්ද්‍රාභිසාරි ලෙස තමා වෙතට යම් යම් වස්තු ඇද ගැනිමේ   බලයක් තිබේ. මේ මගින් සමබර  ආකරයට විවිධ  වස්තුන්  ඒ දෙසට ඇද ගනි. පෘථිවිය චතුස්තලයක් වී නම් මේ බලය අසමාන වන අතර පෘථිවි භ්‍රමණය පවා වීමට නොහැකි දෙයක් බවට පත් වේ.
  • එ මෙන් ම යම් හෙයකින් එසේ  චතුස්තලාකාර හැඩයක් සහිතව භ්‍රමණය වුවහොත් පෘථිවිය (එහි වේගය හා අසමබර හැඩය නිසා) අද වන විට විනාශ විය යුතු වීම.
  • දැනට හදුනා ගන්නා ලද කිසිදු ග්‍රහ ලොවක් චතුස්තල හැඩයක් නොගැනීම හා ඉතා ළදරු අවස්ථාවේ පවතින ග්‍රහ වස්තු පවා චතුස්තලාකාර නොවීම.
  • අද දියුණු කරන ලද අභ්‍යවකාශ ගමනාගමනය නිසා ගගනගාමින් රැසක් පෘථිවියෙන් එපිටට ගොස් ඇති අතර ඔවුන් දුටු පෘථිවිය හැමවිටම ගෝලාකාර වන අතර  ඔවුන් ලබාගත් ඡයාරෑප ද ඊට සාක්ෂි වේ.
            චතුස්තල කල්පිතය බැහැර උනා ඇල්ෆඩ් වේග්නර්ගේ මහද්වීප කල්පිතය හා තැටි කල්පිතය හමුවේ ප්‍රතික්ෂේප උනා. චතුස්තල කල්පිතය බැහැර කලත් එය අදටත් පත පොතේ සදහන් වෙන්නේ එය මහද්වීප හා සාගර නිර්මාණය වීම පිළිබදව යම් විද්‍යාත්මක සිද්ධාන්ත මුල් කරගෙන ගොඩ නැගුන අදහසක් නිසා.

 අද පිළිගන්න විදිහට, පෘථිවිය ගෝලාකාරයි කියලා කියන්න සාක්ෂි ඕන තරම් තියෙනවා.

පෘථිවි හැඩය සනාථ කරනු ලබන සාක්ෂි:
මුහුදේ ගමන් කරන නැවක් නොපෙනී යන ආකාරය.  (පෘථිවිය තැටියක් උනානම් හැම නැවකම බඳ කොටස ඈත දියඹෙදීත් පෙන්න ඕනේ. ඒත් සෑබැවට සිදුවන්නේ ටික ටික නැවේ බඳ පටන් ක්‍රමයෙන් කුඔ ගහ දක්වා නොපනිලා යන්නේ පෘථිවියේ ගෝලාකාර හැඩය නිසා ) 
 (රූප සටහන අදහස පැහැදිලි කරන පරමාර්තයෙන් අන්තර්ජාලයෙන් ලබාගන්නා ලදී.)

  • ලෝකවාසී සියලු දෙනාටම  එකවර හිරු උදා වි එකවර හිරු බැස නොයාම, එය සිදුවන රිද්මය .
  • උස් තැනක සිට බලන විට පෘථිවියේ ක්ෂිතිජය වක්‍ර හැඩයක් ගැනීම.
  • හිරු චන්ද්‍රයා ඇතුළු අප දකින(පියවි ඇසෙන් හා දුරේක්ශයෙන්) බොහෝ ග්‍රහ ලෝක ගෝලාකාර වීම.
  • චන්ද්‍ර ග්‍රහණයකදි චන්ද්‍රයා මතට වැටෙන  පෘථිවි සෙවණැල්ල. ‍ 
  • චන්ද්‍රිකා ඡයාරූප/පෘථිවියෙන් පිටත සිට ගනු ලැබු ඡයාරූප.
  • අභ්‍යවකාශයට ගොස් පැමිණි ගගනගාමීන්ගේ සාක්ෂි හා ඔවුන් ගෙන ආ ඡයාරූප .

            පෘථිවියේ හැඩය ගෝලාකාරයි කියලා සාමාන්‍යයෙන් කිව්වට ඒක “චිපිටාකාර ගෝලයක්”. ඒ කියන්නේ ‍පෘථිවියේ සිරස් උසයි තිරස් අතට පළලයි සමාන නෑ.



                                                                     (රූප සටහන අදහස පැහැදිලි කරනු වස් රචකයා විසින් අදින ලදි.)
                මේ රූප සටහනෙ  නිල් පැහැති වෘත්තයෙන් පෙන්නන්නේ පෘථිවිය  ලෙස සලකන්නේ නම් එහි N සහ S අතර දුර හා  W සහ S අතර දුර සමාන නොවෙන බව තමා මේ චිපිටාකාර  ගෝලයක් කියලා අදහස් කරන්නේ.
            මේ කියන කාරණේ තවත් විධිහකින් කියනවා නම් පෘථිවියේ  අරය සමකයේ දි කිලෝ මීටර 6,378.1 යි.නමුත් ධ්‍රැවයේ දි කිලෝ මීටර 6,356.8 යි. පෘථිවි අරයේ ධ්‍රැව සහ සමක වශයෙන් ගත්තහම කිලෝ මීටර 21.3 ක විතර (විෂ්කම්භයේ වෙනස 43 kmක් පමණ) වෙනසක් තියෙනවා. තවත් කියනවා නම් සමකයේදි පෘථිවි ගෝලයේ යම් නෙරිමක් හා ධ්‍රැවයේ දි පැතලි වීමක් තියෙනවා. මේ වෙනස නිසා පෘථිවි වායු ගෝලයේ ස්තර වලත් සමකයේ දි සහ ධ්‍රැවයේ දි  වශයෙන් උස වෙනස් වෙනව.
චිපිට හැඩය පෘථිවි භ්‍රමණය නිසා ඇතිවන කේන්ද්‍රඅපසාරි බලය නිසා සිදු වුවක් බවයි විද්‍යාඥයන්ගේ අදහස.
            මහද්වීපික හා  සාගරික පෘෂ්ඨිය (මතු පිට) වශයෙන්   ඇති ගුරුත්ව බලය වෙනස්ය. සාගරික පෘෂ්ඨිය බහුලය.මෙම පොදු බව සලකා “ජ්‍යාභය හැඩය” යන්න ද පෘථිවි හැඩය විස්තර කිරීමේ දී යෙදෙනවා.


ලිපියට අදාළ  තොරතුරැ ගත්තේ පහත තැන් වලින්;
1. අධ්‍යයන පෙදු සහතික (උසස් පෙළ) විභාගය සදහා භෞතික භූගෝල විද්‍යාව, අධ්‍යාපන     දෙපාර්තමේන්තුව; (2009 ), 1 පරිච්ඡේදය
2.උසස් පෙළ භෞතික මානව හා ආර්ථික  භූගෝල විද්‍යාව, නිව්ටත් කේ. ප්‍රනාන්දු,     (1972):සීමාසහිත ඇම්.ඩී.ගුණසේන සහ සමාගම, 1 පරිච්ඡේදය
3. http://en.wikipedia.org/wiki/Superseded_scientific_theories
4.-විජය පරිගණක සඟරාව, 2011 දෙසැම්බර්, ප්‍රධාන විශේෂාංගය, 4-6 පිටු,

No comments:

Post a Comment

මේ බ්ලොග් ලිපි ගැන ඔබට හිතෙන දේ?

මහපොළොව ගැන දන්න අය ...