Mahaplawa Blog - A Geographical blog space


මහපොළොව මත සිටින අය

Friday, January 6, 2012

ප්‍රජා විද්‍යාව හා මර්ත්‍යතාවය.




          ප්‍රජා විද්‍යාවෙන් කෙරෙනුයේ ප්‍රජාව පිළිබඳව නැතහොත් ජන සංඛ්‍යාව හා ඒ සම්බන්ධ සියලු ආකාරයේ අධ්‍යයන කටයුතුය.  ප්‍රජා විද්‍යාව යන්න සඳහා භාවිතා කරනු ලබන ඉංග්‍රීසි භාෂාවේ එන Demography  යන වචනය ලතින් භාෂාවෙන් බිඳි ආ වචන දෙකක එකතුවකි.  (එනම් Deoms යන වචනයෙන් ප්‍රජාව  යන්න ද  Graphia - විදහා දැක්වීම / හුවා දැක්වීම යන අරුත් ද මතුවේ.)  ප්‍රජා විද්‍යාව ‘විද්‍යාවක්’ ලෙස වර්ධනය වනුයේ ජෝන් ග්‍රාන්ට් විසින් මර්ත්‍යතාවය පිළිබඳව 1662 දී සිදුකළ අධ්‍යයන හා පර්යේෂණ හේතුකොට ගෙනය.
          එහෙත් ප්‍රජා විද්‍යාව පිළිබද මානව අවධානයන් යොමුවන්නේ ඉතා ඈත අතීතයේ සිටය. අතීත ග්‍රිසියේ පුර රාජ්‍යය සංකල්පය වැනි සංකල්ප එහි එක් අංගයක් පමණක් වේ. අද වන විට ඉතා දැඩි අවධානයක් ජන සංඛ්‍යාව සම්බන්ධව යොමුව පවතින්නේ එය බිලියන 7ක් පමණ වන හෙයිනි. (එක්සත් ජාතින්ගේ ජන ගහණ වාර්තාව - 2011) මෙම සංඛ්‍යාව පෘථිවියට දරා ගත නොහැකි නොවුවත් ජන ගහණය පාලනයකින් තොරව වර්ධනය වීම පිළිබඳව සමස්ත ජාත්‍යන්තර ප්‍රජාව ම එකඟ නොවන අතර එහි රාජ්‍යන්ට ආවේණික ප්‍රතිපත්ති තිබේ.
          ජන සංඛ්‍යාවේ ස්වභාවික වර්ධනයට තුඩු දෙන සාධක 2 කි. උපත් හා මරණය. මේ අතරින් මරණය නොවැලැක්විය හැකි සාධකයක් බව අතීත සමාජ පිළිගන්නා ලදී. විශේෂයෙන් අපරදිග වැසියෝ මරණයට දේවත්වය ආරුඪ කිරීමත් සමඟ මරණින් මතු ජිවිතය, පුනරුප්පත්තිය, අමරණීය වීම, ආදී අදහස් සංකල්ප මතුවිය. ආගම් මඟින් ත්‍රීව කළ මේ අදහස පසු කාලීන වර්ධනය වු  විද්‍යාත්මක චින්තනය සහ සොයා ගැනීම්, කාර්මික විප්ලවය, තාක්ෂණය  සමඟ වෙනස් විය.
          එංගලන්තයේ 14 - 15 සියවස් තුළ හටගත් දුර්භික්ෂයක් හේතුවෙන් එරට පාලකයෝ කෘෂිකර්මාන්තය සඳහා ජනතාව දිරිමත් කරන  ලදි. මේ සඳහා අවශ්‍ය විවිධ සරළ උපකරණ සැදීම තුළින් කාර්මික විප්ලවය පැන නැඟි බව තිස්ස ඊරියගම විසින් ඔහුගේ ‘එංගලන්තයේ ආර්ථික ඉතිහාසය’ නම් කෘතියේදි පෙන්වා දී ඇත. මෙසේ ඇති වු කාර්මික විප්ලවයේ අතුරු ඵලයක් ලෙස විද්‍යාව හා තාක්ෂණය  පෝෂණය වෙමින් වර්ධනය වු අතර මෙම අති විශාල සිදුවීම්වලියෙහි ඵලයක් ලෙස වෛද්‍ය විද්‍යාවේ දියුණු විය.  එසේ ලැබුණු  අති විශාල ඥන සම්භාරය හේතු කොට ගෙන ජන සංඛ්‍යාවේ ස්වභාවික වර්ධනයට තුඩු දෙන සාධක දෙක  පාලනය  කිරීමට එනම්, 
·        උපත්  පාලනය කිරීම
·        මරණය පමා කිරීම
                      තුළිණි. මේ හේතුවෙන් ක්‍රි..1650 සිට 1950 පමණ වන තෙක් යුරෝපයේ ජන සංඛ්‍යාවේ ස්ඵෝටනයක් සිදු විය. මෙසේ වර්ධනය වු ජන සංඛ්‍යාව 1750 දී මිලියන 127 ක් ද 1800 දී මිලියන 175 ක් දක්වා වර්ධනය විය.  1914 දී යුරෝපයේ සමස්ත ජන සංඛ්‍යාව මිලියන 452 ක් වු අතර දෙවන ලෝක යුද්ධය අවසාන වන විට එය මිලියන 570 ක ජනගහනයක් වාර්තා කර තිබේ. (Geography for advanced study - 361 පිටුව). මේ අනුව පැහැදිලි වන්නේ යුරෝපයේ ජනගහනය සියවස් 3 ක පමණ කාලය තුළ වේගයෙන් වර්ධන වු ආකාරය ය.
          මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය විම පිළිබඳව 1798 දී අවධානය යොමු කළ තෝමස් රොබට් මෝල්තස් ඔහුගේ ජනගහනය පිළිබඳ සුප්‍රකට ලිපිය (An Essay on the principle of population - 1978)  ඉදිරිපත් කරනු ලැබේ. මෙම මතය ඉදිරිපත් වීමට ප්‍රථම ලෝකයේ පැවති වාණිජවාදී ප්‍රතිපත්තිය විසින්  නිෂ්පාදනය ඉහළ දැමිම පිණිස ශ්‍රමය ලබා ගැනීම සඳහා ජනගහනය වර්ධනය වීම සුබවාදී ලෙස සලකනු ලැබිණි. වාණිජවාදය මධ්‍යතන යුගයේ අවසාන භාගයෙන් පැණ නඟින්නක් වන අතර ඊට ප්‍රථම ලෝකයේ සිටි කොන්ඩෝසෙට්, විලියම් ගොඩ්වින්,  වැනි අය ජනගහනය වර්ධනය වීම පිළිබඳ සුබවාදිව ද කොන්පියුසිස් වැනි චීන චින්තකයන්, ග්‍රීක දාර්ශනිකයන්, මැකියාවෙල්ලි ආදීන්  ජනගහනය වර්ධනය වීම පිළිබඳ  අසුබවාදිව ද අදහස් ඉදිරිපත් කරන ලදී. මෝල්තස් විසින් ඉදිරිපත් කළ අදහස ජනගහනය පාලනය සම්බන්ධයෙන් ලෝකයට ඉදිරිපත් කරන ලද ප්‍රථම හෙළිදරව්ව ලෙස ඇතමුන් විසින්  පිළිගනු ලැබේ.
ප්‍රජා විද්‍යා ඉතිහාසය තුළ මෝල්තස්ගේ දැවැන්ත ප්‍රතිරූපය ගොඩ නඟනු ලබන්නේ,  යුරෝපයේ වේගයෙන් වර්ධනය වු ජනගහනය සම්බන්ධව ඔහුගේ අවධානය විසිනි. ඔහුගේ අදහස තුළ මර්ත්‍යතාවයට ලැබුණු තැන ඉතාම වැදගත්ය. මන්ද යත් මෝල්තස් විසින් උපත් පාලනය හා ආහාර නිෂ්පාදනය පිළිබඳ විනා මර්ත්‍යතාවය පිළිබඳ පිළිබද විමසිමක් කොට නැත්තේ එය සෑම විටම පාහේ ‘පාලනයෙන් තොර නොවැලැක්විය හැකි, සාධකයක්’ ලෙස  අතීතයේ දී සලකනු ලැබු බැවිණි. නමුත් මෝල්තස් විසින් මෙසේ නොතකා හැරි සාධකයේ එනම් මර්ත්‍යතාවයේ හැසිරීම දියුණු වෙමින් පැවති වෛද්‍ය විද්‍යාව මඟින් පමා කිරීම යුරෝපීය ජන සංඛ්‍යා ස්ඵෝටනයට  බලපෑ එක් ප්‍රබල හේතුවක් විය. එවකට යුරෝපයේ සිදු වු  ජන සංඛ්‍යා ස්ඵෝටනයට හේතුව සඵලතාවය ඉහළ යාම නොව ‍මර්ත්‍යතාවය පහළ වැටීම බව නොටෙස්ටයින්ගේ ජන විද්‍යාත්මක සංක්‍රාන්ති සංකල්පයෙන් ද  පැහැදිලි වේ.
          මර්ත්‍යතාවය පිළිබඳව ලෝකය පුරා විවිධ මතවාද ගොඩ නැඟීමට හේතු බොහෝමයක් ඇත. ඒ අතර  ජීවින් උපත ලැබීම පිළිබඳව  අතීතයේ දී පැවති බොහෝ රහස් (ඕපපාතික ජනනවාදය, ස්වයංසිද්ධ ජනනවාදය ආදිය)  විද්‍යාත්මක සත්‍යයන් මඟින් අනාවණය කර ගනු ලැබුව ද මරණයට බලපානු ලබන හේතු මිස ඉන් එහා යමක් අනාවරණය කර ගැනීමට විද්‍යාවට නොහැකි වීම වේ.‍ මරණය පිළිබඳ ගොඩ නැඟි ඇති සංකල්ප සියල්ල එකට ගෙන බලන කළ ඒවා වර්ග  දෙකකට  බෙදිය හැක.
                   (1).  පාරභෞතික සංකල්ප. (සමාජ , සංස්කෘතික , දේව / ඇදහිලි ,                               මානව පිළිගැනීමට ලක් වුවත් නුතන විද්‍යාව මඟින් තහවුරු                               නොවු සංකල්ප.)
                   (2).  භෞතික සංකල්ප. (නුතන විද්‍යාව මඟින් තහවුරු කළ                                          සංකල්ප.)
     මෙම නිබන්ධනය විද්‍යාත්මකව හා සහේතුකව පිළිගත් මරණය පිළිබඳ භෞතික සංකල්ප මත අවධානය යොමු කරනු ලැබේ.

2.2  මරණය හා මර්ත්‍යතාව පිළිබඳ නිර්වචන.
          මර්ත්‍යතාවය පිළිබඳ පොදු නිර්වචනයක් නැත. විවිධ ආයතන හා පුද්ගලයන් විසින් මර්ත්‍යතාවය  තම තමන්ගේ දෘෂ්ටි පථයට අනුව විග්‍රහ කොට ඇත. ඒ අනුව එක්සත් ජාතින්ගේ සංවිධානය මරණය යන්න නිර්වචනය කොට තිබේ.
          “මරණය යනු සජීවී උපතකින් පසුව ඕනෑම අවස්ථාවකදී එම ප්‍රාණියාගේ ප්‍රාණය නිරුද්ධ වීමය.
විකිපීඩියා ශබ්ද කෝෂය මරණය යන්න නිර්වචනය කරනු ලබන්නේ එක්සත් ජාතීන්ගේ හඳුනා ගැනීම අනුව ම යමින් ය.
          Death is the termination of the biological functions that sustain a living organism.
ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂය මරණ අර්ථ ගන්වන්නේ ඉතාම කෙටියෙන් වුව.් නියම අර්ථය ජනනය වන ආකාරයට ය.
“die (v.) = stop living”
          මෙසේ ලෝකය පුරා විවිධ ආයතන හා පුද්ගලයන් කොතෙක් අර්ථ දැක්වීම් කළ ද වෛද්‍ය විද්‍යාත්මක වශයෙන් මරණය යන්න පිළිගනු ලබන්නේ කොන්දේසි කිහිපයක් සම්පුර්ණ වු විටය.
 එනම්;
·        මොළයේ ක්‍රියාකාරීත්වය
·        ශ්වාස නාල පද්ධතියේ  ස්වභාවික ක්‍රියාකාරීත්වය
·        රුධිර සංසරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය

                   යන අංගයන්ගෙන් එකක් හෝ කිහිපයක් යලි සැකසිය නොහැකි ලෙස නතර වීම හෝ අකර්මණ්‍ය වීමය.
          මර්ත්‍යතාවය යනු මරණ ප්‍රමාණීකරණය කිරීමක් වේ.  එය යම් කාල සීමාවක් තුළ ප්‍රදේශයක සිදුවන මුළු මරණ ප්‍රමාණය හා ඒ පිළිබඳව කරනු ලබන  විද්‍යාත්මක අධ්‍යයනයකි. මර්ත්‍යතාවය මැනීම සඳහා “දළ මරණ අනුපාතිකය” භාවිතා කරනු ලැබේ. ඒ මඟින් යම් නිශ්චිත කාල සීමාවක් තුළ යම් නිශ්චිත ප්‍රදේශයක සිදුවන මරණ සංඛ්‍යාව එහි  මධ්‍ය වාර්ෂික ජනගහනයෙන් බෙදා ප්‍රතිශතයක් ලෙස දක්වනු ලැබේ.  එය පහත පරිදි ගණනය කෙරේ.

දළ මරණ අනුපාතය ගණනය කිරීමට ගනු ලබන සූත්‍රය
 





2.3 මර්ත්‍යතාවයේ උප බෙදීම්.
          මරණය ඉතා සංකීර්ණ ප්‍රස්තූතයක් වේ. එය විවිධ මට්ටමින් ජීවින්ගේ ජිවිත අඩාල කරනු ලබයි. එමෙන් ම එය ඕනෑම අවස්ථාවක සිදු විය හැක. මේ හෙයින් එය, සිදු වන වයස අනුව කාණ්ඩ ගත කොට තිබේ.

·     භ්‍රෑණ මරණ.
            සංසේචිත සජීවි කළලයක් එය ප්‍රතිසන්ධිය ලැබු දින පටන් කළලය ප්‍රසුත කරන දිනය දක්වා කාලය තුළ සිදු විය හැකි ප්‍රාණය නිරැද්ධ වීමක් මෙම කාණ්ඩයට අයත් වේ. මෙම භ්‍රෑණ මරණ;  පුර්ව භ්‍රෑණ මරණ (පිළිසිඳ ගැනීමේ සිට සති විස්ස දක්වා)  හා පශ්චාත් භ්‍රෑණ මරණ (පිළිසිඳ ගැනීමේ සිට සති විස්සත් සති හතළිහත් දක්වා) ලෙස කොටස් දෙකකට බෙදා තිබේ.

·     ළදරු මරණ.
            සජීවි උපතකින් පසු වයස අවුරැදු 1 දක්වා (සජීවි  උපතකින් පසු  පළමු දින 365 ක කාලය) තුළ සිදුවන මරණ මීට අයත් වේ. සජීවි උපතෙන් පටන් පළමු දින 28 ක කාලය තුළ සිදුවන මරණ නවජ (නවසූත) මරණ ලෙසත් දින 28ත් 365 ත් අතර සිදු වන මරණ පශ්චාත් නවසූත මරණ ලෙසත් බෙදා වෙන් කර තිබේ.

·     ළමා මරණ.
            සජීවි උපතකින් පසු පළමු වසර පහ තුළ සිදුවන මරණ මීට අයත් වේ.

·     මාතෘ මරණ.
            ගර්භණි භාවය හෝ එම තත්ත්වය හේතු කොට ගෙන සිදුවන මරණ මේ යටතේ හදුනා ගනු ලැබේ.

·     රෝග මර්ත්‍යතා අනුපාතිකය.
         යම් රෝගයක් වැළදී මිය යන සංඛ්‍යාව මින් මනිනු ලබන අතර රෝගය වැළදුණු  පුද්ගලයන් 1000 කට හෝ 10000 කට සාපේක්ෂව මනිනු ලබයි.

·     වයස් විශේෂිත මරණ.
            මෙය තවත් උප බෙදිම් රාශියකින් යුක්ත වේ. සිදුවන වයස අනුව කාණ්ඩ ගත කරනු ලැබේ.
                    මෙසේ මර්ත්‍යතාවය පිළිබඳව විවිධ  සංරචක මත ඇති කරගන්නා ලද උප බෙදීම් රාශියක් තිබේ. මෙම විශ්ලේෂණ හේතු කොට ගෙන මර්ත්‍යතාවය හෝ මරණය පිළිබඳ මිනුම් සංකීර්ණ ස්වභාවයක්  උසුලයි. වෛද්‍ය විද්‍යාත්මකව මරණය කෙරේ බලපාන හේතු / සාධක ප්‍රධාන කොටස් දෙකකට බෙදේ.
1.              ජීව විද්‍යාත්මක හේතු.
2.              ප්‍රජා හා සමාජ විද්‍යාත්මක හේතු.
          ඉහත සාධක දෙක වෙන් වෙන් වශයෙන් ද තනිව ද මරණය සඳහා හේතු නිර්මාණය කරයි. සමාජ විද්‍යාත්මක හේතු ඉතාම සංකීර්ණ ලෙස තවදුරත් බෙදී යන අතර මරණය සඳහා බලපාන ජීව විද්‍යාත්මක හේතු අතර හෘදය ආශ්‍රිත රෝග ප්‍රධාන වේ . 2002 වසරේ ලෝකයේ මරණ 12.6 % ක් හෘදය ආශ්‍රිත රෝග නිසා සිදුව  තිබේ. එම වසරේ ම 9.7 % ක් මෂ්තිෂ්කයේ ආබාධ නිසා ද 6.8 % ක් ශ්වසන රෝග නිසා ද 4.9 %  ක් ඒඩ්ස් රෝගය නිසා ද මිය ගොස් තිබේ. 4.8 % ක් මිය යාමට හේතුව පෙනහළු ආශ්‍රිත නිධන් ගත රෝග වන අතර අතීසාරය (පාචනය) හේතු කොට ගෙන 3.2 % ක් ද ක්ෂය රෝගය හේතුවෙන් 2.7 % ක් ද ශ්වාසනාලය හා පෙනහල්ලේ පිළිකා නිසා  ද 2.2 % ක් ද මැලේරියාව හේතුවන් ද මිය ගොස් තිබේ. (http:// en.wikipedia.org/wiki/mortality trends )
          ලෝකයේ  වැඩිම මර්ත්‍යතා අවධානමක් දරණුයේ ළමුන් හා වයස් ගත කාණ්ඩ වේ. ඒ නිසා සාමාන්‍යයෙන් මර්ත්‍යතා වක්‍රය J අක්ෂරයේ හැඩය ගනී. නමුත් සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවල මර්ත්‍යතා වක්‍රය U හැඩයක් ගනු ලබන්නේ ඒ රටවල වයස් ගත මරණ මෙන්ම ළමා මරණ ද ඉහළ බැවිනි.

මේ බ්ලොග් ලිපි ගැන ඔබට හිතෙන දේ?

මහපොළොව ගැන දන්න අය ...