Mahaplawa Blog - A Geographical blog space


මහපොළොව මත සිටින අය

Wednesday, August 24, 2011

පෘථිවිය ජීවීන්ගෙන් ගහණ ග්‍රහ ලොවක් වන අතර මිනිසුන් වන අපගේ  වාස භුමියයි. පෘථිවිය සුර්යයා හැර ගණින විට 3 වැනි තැන ස්ථාන ගත වී ඇත.හිරු ප්‍රධාන කොට ගත් සෞර ග්‍රහ මණ්ඩලයේ විශාලත්වය අනුව 5 වැනි තැන ගනි.මෙය සුර්යයා ගේ සිට කිලෝ මීටර 149,503,000, ක් ඈතින් පිහිටා ඇති අතර වසර මිලියන 4600 ක් පමණ වයස්ගත වු ග්‍රහ ලෝකයකි.මේ බව විද්වතුන් අනාවරණය කර ගෙන ඇත්තේ පෘථිවියේ පාෂාණ වල වයස ගණනය කිරිමෙන් අනතුරුවය. පෘථිවිය සුර්යා වටා ගමන් කරනුයේ "ඉලිප්සාකාර" හැඩයක් සහිත  ගමන්  මාර්ගයකය.මේ නිසා කලකදි සුර්යාට ලංව ද කලක දි සුර්යාගෙන් ඈත්ව ද පෘථිවිය ගමන් කරනු ලැබේ.පෘථිවියෙ හැඩය පිළිබඳ විවිද මත තිබේ.

මහපොළොව ගැන කියන්නට ඇති දේ




පෘථිවියේ හැඩය තීරණය කීරිමෙහි ලා බෙහෙවින් බලපාන ලද එහි ශිලා ගෝලය පිළිබඳ අදහස් මුල් කාලීන ග්‍රීක මත හා සම්බන්ධ වන බව පොදුවේ පිළිගැනුනත් ඒ මතයන් ඊට වඩා දිගු ඉතිහාසයකට රැගෙන යන්නක් බව ‘සූසැට ශිල්ප’ අතරේ ඇති “භූම්මාජාල”, “භූමි විජය” නම් විෂය නාමයන් ගෙන් අදහස් වේ. එහි දැක්වෙන ආකාරයට එම විශය මඟින් අධ්‍යයනය කොට ඇත්තේ පොළව මතුපිට සිට රියන් හැටක් ඉහළටත් පහළටත් ය. අතීත රාජධානි පිහිටුවීම සඳහාත් නව රාජධානියක් තොරා ගැනීමේදි සැලකිය යුතු භූගෝලීය කරුණු ගැනත් එවකට රජ දරුවන්ට උගන්වනු වස් මෙම විශයන් ඇතිවන්නට ඇතැයි සිතිය හැක.  රජවරුන්ට මේ දැනුම ලබා දෙන්නට ඇත්තේ ඒ පිළිබඳ උගත් විද්වතුන් විසින් වනු ඇත. යුද කටයුතු සඳහා මර්මස්ථාන හඳුනා ගන්නට ඒවා ආරක්ෂා කරනු පිණිසත් යුද සැලසුම් සකස් කිරීම පිණිසත් වැව් අමුණු නිර්මාණය කරන්නටත් රජවරැන්ට භූම්මාජාල හා භූමිවිජය විශයන් උගන්වන්නට ඇත. එකළ කුමාරයන් හා ශිල්ප හදාල අය අතර පතළ මේ විෂය තොරතුරු කෙබඳුද යන්න පිළිබඳ සරල උපකල්පනයකට වඩා යමක් ගොඩනඟා ගත නොහැක්කේ ඉන්දියානු ආගමික හා ලෝකොත්තර චින්තන සම්ප්‍රදායන් විසින් පටවන ලද දේවාරුඪයන් විසින් අතීතය දෙවි දේවතාවුන්ට හා යක්ෂ ප්‍රේතයන්ට ලියා දී ඇති බැවිණි. බමුණු මතවාද නිසා  ඒවන් විශයන් පිළිබඳ ලියවුණු තොරතුරු, ඉතිහාසය අපට නාම මාත්‍රික සඳහනක් කරනු විනා ඉතුරු කරනු ලැබු දායාද නොමැත්තේය. ගිනිබත් වු ඉතිහාසයක් ගැන ගතු කියන අප විසින් නැති කරගත් හා අපට අහිමි කරන ලද උරුමය මෙතෙකැයි කියා කියන්නට බැරි තරම් වටිනේ වුවද අපට ඉතිරිව ඇති දේ අල්පය. ඒ අල්ප බව කොතෙක්ද කියා කියන්නේ නම් අපට විශය නාම හා භූගෝලිය වශයෙන් සැලකිලිමත් වී ගොඩ නැඟු රාජධානි වැව් අමුණු  පමණක් ඉතිරි කොට දැනුම මිය ගොස් ඇත. හෙල දැනුම ගිනිබත් වුයේ ඉන්දියානුවන්ගේ ආගමනයන් වුවද ඉන්දියාවේ ඔවුන්ගේ දැනුම ඉස්ලාම්වරුන්ගෙ ගිනි හුළෙන් ආරක්ෂා කරගන්නට ඔවුන් සමත්ව තිබේ. ඊනියා ජාතිවාදයක් විසින් දිවයින කලඹන අකාලික සමයක ගල් පිළිම දෙනොදාහක් මැද හුදකලාව කඩා වැටෙද්දි බොල් පිළිම වලට සුවඳ දුම් අල්ලා සත්කාර කරන අපේ වර්ථමානය පිළිබඳ සා දුකින් පෙළෙන අතලොස්සක් අතර රැදි ජාතියේ ලේ සුවඳ පරයා නැ‍ඟෙන මිනිස් වර්ගයේ උත්තම හැඟිම විසින් ගිය හකුර ගැන නාඩා තියෙන හකුර වෙනුවෙන් කරනු ලබන නිහඩ සටන නොවන්නට අප ලේ මසින් මොළ පිරැණු මුත් බුද්ධියෙන් හෝ උගත්කමින් හීන උන්ගේ ආධීපත්‍ය හමුවේ වැළලි ගොස් බොහෝ කල් ය. මිනිස් වර්ගයේ ම පවට අප ඉපැද ඇත්තේ බුද්ධිමතුන්ගේ හීනයාන සමයක ය. 
දැනට ඇති මුලාශ්‍ර සලකද්දි ඉපැරණි භාරතීය චින්තනය වනාහි මුළුමනින් ම මැකී ඇත්තක් නොවේ. ඔවුන්ගේ පැරණි අධ්‍යයන් ලියැවි ඇත්තේ සංස්කෘත පාලි වැනි බසින් විමත් ඒවා ශ්ලෝක ලෙසින් ලියැවි තිබිමත් නිසා භාවිතය තරමක් අපහසු වේ. එමෙන් ම ඒ පිළීබඳ පරිවර්ථනයන් පවා දුර්ලභය. එහෙත් සැලකිය යුතු තරමේ ඉතා විශාල තොරතුරු ගොන්නක් අන්තර්ජාලයේ දි ඉංග්‍රීසියට පරිවර්ථනය කර තිබෙනවා දැකිය හැක. ආර්යභාටා වැනි දාර්ශනිකයන් විසින් ලියා ඇති තොරතුරු ඒ අනුව විග්‍රහ කළ බැලිය හැකි අතර ඉපරණි භාරතීය දාර්ශනිකයන් බෙහෝ විට තොරතුරු ගවේශනය කර ඇත්තේ ලෝකයේ සිරස් අතට බව එවැන්නන්ගේ අධ්‍යයන දෙස බැලු බැල්මට පෙනේ. ඒ අනුව භාරතීය චින්තනයේ පොදු බවට අනුව උඩින්ම දිව්‍ය ලෝකය පිහිටා ඇති අතර පොළව යටින් අභ්‍යයන්තරයේම අපාය පිහිටා ඇත. දිව්‍ය ලෝකයත් අපායත් අතර මැද පොළව උඩ මනුස්ස ලෝකය පිහිටා ඇත. මේ ‘ත්‍රිලෝක සංකල්පය’ භාරතීය විද්‍යා චින්තනයේ කළු කුහරයකි. එය නොවන්නට භාරතය වනාහි ග්‍රීක- රෝම ආදීන්ට කිට්ටු විය නොහැකි අමරපුරයක් වන්නට නිසැක වශයෙන් ම ඉඩ තිබුණු බව පෙනී යයි. පශ්චාත් අධිරාජ්‍යවාදයත් ගෝලියකරණය ආදි වු නම් දහසකුත් ‍පවරාගෙන ලෝකයේ කෙරෙන බුද්ධිය හා දැනුමේ ධ්‍රැවයන් ආක්‍රමණය කර අයිතිය පවරා ගැනීමේ ක්‍රියාවලියෙන් නුතන ඉන්දියාවට ගැළවී ගත නුහුණු බව මාගේ හැඟිමයි. දැනුම නම් එය රැදි මොළයේ මරණයත් සමඟ පොළවට පස් වී පාංශු ක්‍රියාවලියේ සක්‍රීයත්වයට දායක නොවි ‍කවර හෝ ජාතියක වර්ගයක උන්නතියට පිහිට වන එක සතුටකි. එහෙත් යලි අඳුරු යුගයක යටපත් නොවනු පිණිස ගොනා පොල් පැළේට හැරෙද්දි කෙල්ල ගෙට ගත යුතු බවට මා කල්පනා කරමි. මේ දේව වාදය යටින් ඇති විද්‍යාත්මක තොරතුරු ලෝකය තවමත් සලකා බලා නැති වීම කණගාටු දායකය. ආර්යභාටා වැනි අය ග්‍රහ ලෝකයක් ලෙස පෘථිවිය ගැනත් එහි වට ප්‍රමාණය ගැනත් සෞර ග්‍රහ මණ්ඩයේ හැසිරීම ගැනත් තොරතුරු දක්වා තිබේ. ඍග් වේදයේ සුර්යා හා ධුමකේතු පිළිබඳ තොරතුරු දක්වා තිබේ. අපේ යටපත් වු ඉතිහාසය මෙන් නොව ආසියාවේ ඉතිහාසය ඇති ඉන්දියානු කේන්ද්‍රය තවමත් වැනසී නැත. මේ කරුණු වසා ග්‍රීක -රොමාදීන්ගේ වන්දිභට්ටයන් ලෙස වමාරන භක්ති ගීත වැනි ගුත්තිල ගීතිකා ගැන කණගාටු දායකය. ග්‍රීක රෝම යුරෝපා ආදි චින්තනයන් ලෝකය අධ්‍යයනය කර ඇත්තේ තිරස් අතටය. මේ නිසා ඔවුන් දේශ ගවේෂණයෙන් අනාවරණය කරගත් තොරතුරු බෙහෝ වෙති.
දිවයිනක් යනු සාගරයෙන් වටවන්නක් හෙයින් ඒ දිවයිනේ ධිවරයින් අනිවාර්යෙන් විසිය යුත් ය. අපේ රටේ සාමුද්‍රික බෑඳිම ගැන ඇත්තේ ඉතාම දුර්වල සාක්ෂිය. මුතු පිණිස කිමිදුණු අය ඒ සඳහා භාවිතා කළ තාක්ෂණයන් ගැනත් අතීත ධිවරයා ගැනත් අපට තොරතුරු නැත. නුදුරේ වු ඉන්දියාව හා අපේ වු නාවික සම්බන්ධතා කෙබඳුද අපේ රජවරුන්ගේ නාවික බලය කෙසේද යන්න පිළිබඳ අපට තොරතුරු නැත. දිවයිනේ අභ්‍යයන්තරය විජය විසින් වීයෙන් අස්වද්දන්නට පෙර අප කෑවේ මොනවාදැයි සිතා බලන්නට වටිනා කරුණකි. අතීත ලක්වැසියෝ දඩයමෙන්ම රැකුණෝ ද ඒ දඩයම සාගරයට නොයෙදුනේ ද? කපු ගෙතු කුවේනි මස් බුදින මන්තරකාරියක් පමණි ද? එහෙව් මන්තරකාරියක් රවටා ගන්නට විජය කොතරම් ශූර කපටියෙක් විය යුතු ද? අඩුම තරමේ හත් සීයයක් රැවටුණු කතට ඔහු මුලා නොවුයේ ඇයි? ඔහු ශුර බුද්ධියක් අත්තෙක්ද?  ඒ තරම් ශුරයෙක්  අර සා සල්ලාල වී රටින් පිටුවහල් වන තුරු උඩුදුවන ප්‍රශ්නයක හිමිකාරයෙක් වේ ද? සේරටම වඩා මිදි තිත්තයි කියා කියු නරියා (නරියා කපටි සතෙකි) කියු කතාව ඇත්තද? අප සිතිය යුතුය... විටෙක රාජ පක්ෂපාති ලියවිල්ලක් වු හා අනිවාර්යෙන් ම එහි ආරම්භය දැක්වීමේදි පසු කතාවක් වු මහාවංශය කියන ‍සියල්ල ඇත්තද?
මහාවංශයෙන් ඉතිහාසය නො-කිරන්නේ නම් අප කුවේනියත් විජයත් හැර දමාපියා ලංකාවේ පාෂාණි භූත අතීතය සොයන පුරාවිද්‍යාඥයන් දෙසට හැරුණු විට දක්නට ලැබෙන කුරුවිට එක්නැලිගොඩ බටදොඹලෙන ආදි තැන්වල විසු හොමෝ සේපියන්ස් සේපියන්ස් බලන්ගොඩ නම් මානව විශේෂය විසුවේ රට අභ්‍යන්තරයේ පමණිද? හොමෝ සේපියන්ස් ලා ලොව පුරා පැතිරුණු සංක්‍රමණික සංචාරකයෙකි. හේ ලංකාව වැනි දිවයිනකට පැමිණෙන්නේ ම හනුමාගේ පාලම දිගේ ඇවිද ගෙන නොවේ. ඔහු ආයේ ජල තලය තරණය කරගෙන නම් අපේ නාවික ඉතිහාසය හොමෝ සේපියන්ස්ලා මෙරටට ආ දිනය දක්වා ම පැරණි විය යුතු නැතිද? එවන් නාවික ඉතිහාසයක් තිබුනා නම් අපේ රටේ සාගර ගවේෂණ පිළිබඳ කතාවලියක් ලියවිය යුතුය. අඩුම තරමේ අරාබිකරයේ උන් ‘සිම්බෑඩ්’ මෙන් මුහුදු ගිය වීරයන්ගේ වැනි කතා අපට සාහිත්‍ය විසින් දායාද කළ යුතු ය. කුමක් හෝ හේතුවකට හෝ අහේතුවකට අපේ ඉතිහාසය මහා දරුණු කඩ තුරාවකින් වැසි ඇතැයි ඔබට මේ අනුව නොසි‍තෙන්නේ ද? ලංකාවේ භූ විද්‍යාත්මක ඉතිහාසය ඉගෙන ගන්නා සමයේදිත් මට ඒ බව සිතිණි.
ලංකාවේ ඉතිහාසයේ ඇති අඳුරු කාලපරිච්ඡේදය පිළිබඳ විපරම් කරන්නට බැරි කම කණගාටුවක් ලෙස දැනෙන්නේ භූ විද්‍යාඥයන්ට පමණක් නොවේ. ඉතිහාසය මායාවෙන් ද පුරාවිද්‍යාව ගල් ගෙඩිවලින්ද වැසි ඇත. ඒ නිසා අපට පරිහරණය කරන්නට වෙන්නේ මෙතෙක් ඉතුරුව ඇති ග්‍රීක රෝම ආදි වු බටහිර ඉතිහාසයේ කරුණුය. ඒ අනුව දැනට දන්නා ඉතිහාසය කියන පරිදි  ශිලා ගෝලය ගැන ඉපැරණි තොරතුරු හමුවන්නේ ග්‍රීකයන් අතරිනි.
පද්ධතියකට එක ඉතිහාසයක් නොමැති අතර  එයට ඉතිහාසයන් රාශියක් තිබිය හැකි වේ යැයි රිචඩ් ෆෙයින්මන්[1]  කියා තිබේ. මේ පෘථිවියේ හැඩය ගැන අදහසත් එසේ දහසක් ද්වාරයන් ඇති තැනෙකි. එය ඉතිහාස කතා රාශියකින් සමන්විත ය. පෘථිවිය කැස්බෑවෙක්ගේ පිට උඩ තියෙන දෙයක්, කාන්තාව‍කගේ (පොළෝ මහි කතගේ/ මිහිකතගේ) ඇඟිල්ලක් මත රැඳි දෙයක් එහෙමත් නැත්නම් යෝධයෙක්ගේ කර මත පිහිටි දෙයක් ලෙසින් නොයෙක් මනෝරම්‍ය කතාන්දර පුරාවෘත්ත වල සඳහන්ව ඇත. ගලින් ගල පෙරළා පදෙන් පදය ගලපා ගලපා ඉතිහාසය ගොඩනඟන්න දඟලන පුරාවිද්‍යාඥයින් විටෙක ඉතිහාසය සනාථ කරයි. තවත් වෙලාවකට ඉතිහාසය දැරෑ දේ අනාථ කරමින් නව මතවාද ගොඩ නඟයි. ‍ඓතිහාසික භුගෝල විද්‍යාව එක් අතකට ඇල්මැරුණු පැත්තකි. එසෙත් නැත්නම් භුගෝල විද්‍යාව තුළ ම කුඩම්මාගේ සැලකිලි ලබන තවත් අංශයකි. ඉතිහාසඥයා හෝ පුරාවිද්‍යාඥයා තරම් භූගෝලවිද්‍යාඥයා ඓතිහාසික භූගෝලය ගැන උනන්දු නැතැයි සිතේ. ‍ලෝකයේ වෙනත් රටක භූගෝල විද්‍යාඥයෝ ඒ අංශය ගැන උනන්දු වුවත් ලංකාවේ භූගෝල විද්‍යාඥයෝ නම් ඓතිහාසික භූගෝලවිද්‍යාව පිළිබඳ ආගන්තුක බැල්මක් හෙළයි.
කෙසේ හෝ  සියල්ල සමඟ ශිලාගෝලයේ අතීත කතා පිළිබඳ අදහස් ඇති වෙමින් නැති වෙමින් තිබේ. එයින් සමහරක් සත්‍ය යැයි පිළිගනු ලබන අතර තවත් ඒවා බැහැර කරනු ලබන අතර එසේ බැහැර කළ මත තවත් අය විසින් ආයෙත් සනාථ කරනු  ලැබේ. එතෙක් තිබු සත්‍යට වඩා අළුත් සත්‍යයක් දින දින බිහි වේ. දිනෙන් දින  සත්‍යයේ පදනම හෙල්ලෙන්නට හැකිය. සත්‍ය පිහිටා ඇත්තේ ඕනෑම විටෙක ඕනෑම තැනකදි අභියෝයට ලක්වන  වේදිකාවක් මත බැවින් සත්‍ය අභියොගාත්මක වේ.  එහෙත් යමක් සත්‍ය යැයි ලේබල් කල පමණනින් සත්‍ය වන්නෙත් නැති අතර සත්‍ය ගොඩනඟන්නේ ගොඩනැ‍ඟෙන්නේ කලයත් සමඟ  විද්‍යාව මතිනි. විද්‍යාව ගොඩනැගෙන්නේ මිනිසුන් අතිනි. එදිනෙදා මිනිස්සුන්ගේ චින්තාවලිය වෙනස් වෙද්දි සත්‍යයේ පදනමට දිනෙන් දින පහර එල්ල වෙන්නේ ඒ නිසා වෙනි. කාලයත් අවකාශයත් සමග සත්‍ය නිති පතා වෙනස් වේ. අද සත්‍ය වු දේ හෙට වෙනස් විමේ අවදානමක් සත්‍ය හැම විටම දරයි. එවන් ගමනක් මැදින් වසර දහස් ගනනක් තිස්සේ අප විශ්වාස කරන හා විශ්වාස නොකරන සමහර මත මේ දක්වා පැමිණි මඟ පුදුම එළවන සුළු යැයි මට හැ‍ඟේ.
හැමවිටම පොදු මතය සත්‍ය නොවේ... සත්‍ය වුවත් නොවුවත් යම් දැනුමක් ගොඩ නඟන්නට පදනම් වන දේ සදා පවතී. එහෙත් මානව ඉතිහාසයේ විවිධ යුගයන් පසු කරද්දි සිදුවන අකරතැබ්බ වලින් දැනුම යටපත් වීම වැලක්විය නොහැක. විශය තේමාවන්ට ලඝු නොවි කාලයක් යටපත් වන සමහර මත කාලයත් සමග අපට අමතකවම යයි. ඒ සියල්ල අරඹයා මා දන්නා සියළු දේත් කියවු සියළුදේත් අතීතයේ පොත පත ලියා වෙහෙසු දහසක් අතැගිලි වලටත් ඒවා කියවා නැවත කියු අයටත් උපහාර කරමින් තවත් නොදන්නා අයට කියවා සොයා බලා දැන ගනු පිණිස සරල සිංහල බසින් ලියා තබමි.


[1]  රිචඩ් ෆෙයිනමන් ගේ එම අදහස  මා උපුටා ගත්තේ ස්ටෙෆන් හැවාකින් ගේ ‘ද ග්‍රෑන්ඩ් ඩිසයින්’ නම් කෘතියේ අන්තර්ජාලයේ නොමිලේ ලබා දෙන  ඊ පොතේ 11 වන  පිටෙනි.

ඇරඹුම..

මහ පොළව
භූගෝල විද්‍යාත්මක තොරතුරු ගවේෂණයකි.



මේ මෙහි පලමු බ්ලොග් සටහනයි.

මේ බ්ලොග් ලිපි ගැන ඔබට හිතෙන දේ?

මහපොළොව ගැන දන්න අය ...