Mahaplawa Blog - A Geographical blog space


මහපොළොව මත සිටින අය

Friday, December 30, 2011

ශ්‍රී ලංකාවේ ළදරු මරණවල ප්‍රාදේශීය වෙනස්කම්







න විද‍්‍යාවේ මුලිකාංග තුනකි. මෙයින් මර්ත්‍යතාවය යන්න ජන ජනසංඛ්‍යාවට එක්කරනු ලබන්නේ සෘණාත්මක ‍බලපෑමකි. මරණය පමා කළ හැකි වුව ද නොවැලැක්විය හැකි සාධකයක් වන අතර එය ජන සංඛ්‍යාවේ  ප්‍රමාණාත්මක බව හා ගුණාත්මක බව කෙරෙහි බලපානු ලබයි. කාලීන හා අවකාශීය වශයෙන් මර්ත්‍යතාවය වෙනස්වන අතර වයස් ව්‍යුහය සමඟ මර්ත්‍යතාවය එක්ව සසඳන විට වයස අවුරුදු එක‍ට අඩු දරුවන් මිය යාම ළදරු මරණ අනුපාතය වේ.

          
       ශ්‍රී ලංකාව පසුගිය අඩසියවස තුළ ළදරු මරණ අනුපාතය සෑහෙන තරම් ප්‍රගතිශිලි ලෙස අඩු කරගත් රාජ්‍යයකි. 2010 වසර වන විට ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ අඩු ම ළදරු මරණ අනුපාතය දක්වන රාජ්‍යය විය. නොමිලේ  වෛද්‍ය පහසුකම් හා ඖෂධ ලබා දෙන මෙරට පළාත් නවයක දිස්ත්‍රික්ක 25 ක් ඇත. මෙම සෑම  දිස්ත්‍රික්කයක ම දිස්ත්‍රික් රෝහලක් හා තවත් රෝහල් කිහිපයක් ම පිහිටා ඇත. ප්‍රධාන නගර වල තවත් රෝහල් හා පුද්ගලික රෝහල් ද දේශීය ආයුර්වේද රෝහල් ද පිහිටා ඇත. එ මෙන්ම ඔසුසල් (ෆාමසි) හා පුද්ගලික වෛද්‍ය සායන ද  ශ්‍රී ලංකාව තුළ ඉතාම සුලභ ය. සෑම ප්‍රදේශයක් ම භාර  පවුල් සෞඛ්‍ය සේවිකාවක් සිටින අතර ඇය තමා භාර ප්‍රදේශයේ සෑම ගර්භණීයක් ම  සෑම ළදරුවෙක් ම පිළිබඳ සොයා බැලීම‍ට  රාජකාරියෙන් බැඳි සිටී.
           මෙම තත්ත්වය මත ශ්‍රී ලංකාවේ ළදරු මරණ අනුපාතය ශීඝ්‍රයෙන් පහත වැටී තිබේ. නමුත් ශ්‍රී ලංකාවේ ළදරු මරණ අනුපාතයේ පවතින ප්‍රාදේශීය වෙනස්කම් ජාතික මට්ටම හා සමපාත නොවීම හා ජාතික මට්ටමට වඩා ඉහළ අගයක් ගැනීම ශ්‍රී ලංකාවේ ළදරු මරණ අනුපාතයට එල්ලවන විශාල අභියෝගයකි. මෙම පර්යේෂණය මඟින් ශ්‍රී ලංකාවේ ළදරු මරණ අනුපාතයේ ප්‍රාදේශීය වෙනස්කම් පිළිබඳව අධ්‍යයනය කරනු ලැබේ.
          ශ්‍රී ලංකාවේ ළදරු මරණ අනුපාතය පිළිබඳව යහපත් ප්‍රවණතාවයක් සමස්තයක් වශයෙන් දැකිය හැකි වුව ද අන්තර් ප්‍රාදේශීය විෂමතා රැසක් දැකිය හැකි වේ. ශ්‍රී ලංකා 2010 වසර මහ බැංකු වාර්තාවේ දැක්වෙන පරිදි  ලියාපදිංචි  වෛද්‍යවරු සහ සහකාර වෛද්‍යවරු 13026  දෙනෙකු ඒ වන විට සේවයේ නියුතුව සිට ඇත. බටහිර වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන රෝහල් 619 ක් ද රට පුරා ඇති බව එම වාර්තාව පෙන්වා දේ. වෛද්‍ය පහසුකම් ඉහත පරිදි ව්‍යාප්තව තිබුණ ද  සංවර්ධනය හා ළදරු මරණ අනුපාතය අතර ප්‍රතිලෝමානුපාතික සම්බන්ධයක් මේ රට තුළ පැහැදිලිව දැකිය හැකි තත්ත්වයකි.
          ශ්‍රී ලංකාවේ සංවර්ධන කේන්ද්‍රය වන කොළඹ දිස්ත්‍රික්කයේ ළදරු මරණ අනුපාතය ජාතික මට්ටමට වඩා ඉහළ අගයක් ගනී. සමස්ත ශ්‍රී ලංකාවෙන් 1% ක භූමියක් කොළඹ දිස්ත්‍රික්කයට අයත් වන අතර රෙජිස්ට්‍රාර් ජෙනරාල්  දෙපාර්තමේන්තුවේ අප්‍රකාශිත දත්ත වලට අනුව 2008 වන විට ළදරු මරණ අනුපාතය ඉහළ ම  දිස්ත්‍රික්කය කොළඹ වේ.  ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය ඉහළ ම දිස්ත්‍රික්කය වන්නේ මොණරාගල දිස්ත්‍රික්කය යි. කාලයක පටන් ලංකාවේ අඩුම ළදරු මරණ අනුපාතය පෙන්වනු ලබන දිස්ත්‍රික්කයක් ලෙස මොණරාගල දිස්ත්‍රික්කය සැලකිය හැක. ශ්‍රී ලංකාවේ සංස්කෘතීක අගනගරයක් වන මහනුවර දිස්ත්‍රික්කයේ  2008 වසරේ ළදරු මරණ අනුපාතය 9.6 ක් වේ. මෙම දිස්ත්‍රික්කය ප්‍රවණතාවයක් ලෙස ඉහළ ළදරු මරණ අනුපාතයක් පෙන්වු දිස්ත්‍රික්කයකි. මඩකලපුව 2005 වසරේ වාර්තා කළ ළදරැ මරණ අනුපාතිකයේ අගය වන 46.8 ශ්‍රී ලංකාවේ 1990 න්  මෙපි‍ට වාර්තා වු ඉහළ ම අගය ලෙස සැලකිය හැක. මඩකලපුව දිස්ත්‍රික්කයේ 2007 වසරේ 25.1 ක් විය. එය ජාතික මට්ටමට වඩා  16.6 කින් වැඩි වීමකි. ඉතා වේගයෙන් උච්ඡාවචනය වන පොළොන්නරුවේ ළදරු මරණ අනුපාතය ශ්‍රී ලංකාවේ ඉහළ ළදරු මරණ අනුපාතයක් වාර්තා කරන තවත් දිස්ත්‍රික්කයකි. 2007 වසරේ 4.6 ක් වු මෙම දිස්ත්‍රික්කයේ ළදරු මරණ අනුපාතය 2008 වන විට 11.8 ක් ලෙස වාර්තා වී ඇත. මේ සඳහා හේතු වන්නේ වාර්ගික අස්ථාවර බව හේතු කොට ගෙන බිහිව ඇති සංක්‍රමණික ගර්භණි මාතාවන් පමණ ද යන්නත් මේ ප්‍රදේශයේ ළදරු මරණ අනුපාතය පිළිබඳ සත්‍ය තත්ත්වය කුමක් ද යන්න සොයා බැලීමට තරම් අගනා කරුණකි.
          නාගරිකරණය සමඟ ඇතිවන සේවා සංකේන්ද්‍ර වීම  සමඟ විය යුත්තේ ළදරු මරණ අනුපාතය අඩු වීම වුව ද  ශ්‍රී ලංකාවේ ළදරු මරණ අනුපාතයේ ඉහළ ම අගයන් වාර්තා කරනු ලබන්නේ නාගරික ජන සංඛ්‍යාව ය. රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව පෙන්වා දෙන ආකාරයට 2007 වසරේ සිදුව ඇති ළදරු මරණ වලින් 85.9 % ක් ම සිදුව ඇත්තේ නාගරික ජන සංඛ්‍යාව ආශ්‍රිතව ය.
          සහශ්‍ර සංවර්ධන අභියෝගයක් වන ළදරු මරණ අනුපාතය  පහත හෙළී ම සදහා ශ්‍රී ලංකා රජය හා සෞඛ්‍ය අමාත්‍යංශය හා එම කාර්යය මණ්ඩලය විශාල වෙහෙසක් දරණු ලැබේ.

Wednesday, October 5, 2011

ආර්ථික වර්ධනයේ මුලස්ථානය නගරය වේ. එසේම සමාජීය හා පාරිසරික ගැටළු ඇති කරන්නේද නගරයයි.



           

 ගරයක් ලෙස සාමාන්‍යයෙන් හඳුනාගන්නේ දියුණු කාර්මික හා නිර්මිත පරිසරයක් ඇති අධික ජන සංකේන්ද්‍රණයක් හෝ දෛනික සංචලතාවය අධිකව දක්නට ලැබෙන බොහෝවිට කෘෂිකාර්මික නොවන ආර්ථිකයක් ඇති සමාජ, ආර්ථික, සංස්කෘතික  වශයෙන් සංකිර්ණ සම්බන්ධතා දක්නට ලැබෙන ප‍්‍රදේශයකි.  නමුත් නගර හඳුනා ගැනීමට පොදු නිර්වචනයක් නොමැති  අතර  විවිධ රටවල් තම තමාට ආවේනික ආකාරයට නගර හඳුනා ගනී. සමහර රටවල් නගර හඳුනා ගැනීමට ජනසංඛ්‍යාව, පරිපාලන සීමා, ශ‍්‍රමිකයන්ගේ සේවා නියුක්තිය කෘෂිකාර්මික නොවන අංශයේ වීම ආදී නොයෙකුත් සාධක භාවිතා කරනු ලැබේ.


              http://earthhabitat.files.wordpress.com/2010/02/urbanization2.jpg


          විවිධ කටයුතු සඳහා දෛනිකව නගරයට පැමිණෙන්නන්ගේ අරමුණු  ද විවිධ වේ. ජන සඃඛ්‍යාව විවිධ අපේක්ෂාවන් ඉටු කිරීමට නගරය වෙත ඒමට සෑම විටම උත්සහා කරයි. මුල් කාලයේ  ලෝකයේ නගර වල දක්නට ලැබුණේ කෘෂිකාර්මික නිෂ්පාදනයන් හා ඒ ආශ‍්‍රීත වෙළද පොළකි. නමුත් කාර්මික විප්ලවය නිසා කාර්යය බහුල වන මිනිසා  තමා කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතු විට තමාගේ ආහාරය සකස් කිරීමේ වගකීම ග‍්‍රාමීය ගොවියාට නිරුත්සාහයෙන් පවරන ලදි. මේ නිසා කර්මික ආර්ථිකය එකල වර්ධනය වු නගර තුළ වැඩුනේ ආහාර පිළිබද ගැටළුවක් සහිතව නොවේ. නගරය, කාර්මිකරණය සමග අළුත්  විය. එසේ ම වර්ධනය විය නැතහොත් සකස් විය. මේ නිසා පරිණත ද  විය. මේ ආදි හේතු මතින් ලන්ඩනය 1810 දී ලොව ප‍්‍රථම මිලියන නගරය බවට පත් වේ.
             නගරයේ සෑම විටම ඒකරාශි වුයේ නිශ්පාදනයන්ගේ එකතුවකි. ඒ ඒ නිෂ්පාදනයන් මිලට ගැනීමට හෝ විකිණිමට අවශ්‍ය වු විට සියළු දෙනා නගරයට රැස් විය. මේ හේතුවෙන් එදා මෙන්ම අද ද නගරය ආර්ථිකයන් එකතු වන තැනක් ලෙස හදුනා ගත හැක. ධනවාදය මුල්කර ගත් ආර්ථික පද්ධතියක් ලොව ආර්ථිකයේ දිශානතිය සකස් කරන නිසා ලාභය/  හෝ මුදල එකතු වන තැනක් ලෙස නගරයට ලැබෙන මුල්‍යාධිකාරය මතින් ගොඩනැගෙන ආධිපත්‍ය විසින්,  නගරය ජනාවාස පද්ධතිය තුළ බලවත් බවට පත් කර ඇත. නිර්දය ලෙස ලාභ උපැයිමේ චේතනාව නිසා හෝ මුදලත් සමග හිමිවන බලය නිසා හෝ ධනවත් බව යනු තෘප්තියට පත්වන්නක් නොවේ.
            මෙසේ ලාබය ම අරමුණු කරගන්නා බැවින් සමාජ හා සස්කෘතික සිරිත් විරිත් වැනි රාමු තුළ එකරාශිවීම වෙළදපොළට බාධා ඇති කරයි. මේ හේතුවෙන් නගරය තුළ වර්ධනය වු සමාජ / සංස්කෘතික ප‍්‍රතිවිරෝධයක් දැකිය හැක. සමාජ අපචාර, ගණිකා වතෘතිය, ළමා අපයෝජන, මත්ද්‍රව්‍ය ඇබ්බැහිය, මංකොල්කෑම්, අපරාධ, වංචා, දුෂණ, ආදී නොයෙකුත් විෂමාචාරයන් දක්නට ලැබේ.
             නිර්මිත පරිසරයක් ගොඩනැගිම සදහා නගරයක් පළමුවෙන්ම පරසරයට හානි කරනු ලබයි. ඉදිකරන ලද පරිසරය නිසා උද්ගත වන ගැටළු අතර තාප දුපත් නිර්මාණය වීම, ගෝලීය උණුසුම ඉහළ යෑම, නගරය ආශ‍්‍රීත පරිසරය දුෂණය වීම, නගරය ආශ‍්‍රීත වායු ගෝලයේ සංයුතිය වෙනස් වීම, ජලය දුෂණය වීම දැකිය හැක.
කාර්මික විප්ලවයෙන් පසු ගත වු සෑම වසරකම වායු ගෝලීය CO2  ප‍්‍රමාණය දිනෙන් දින ඉහළ යන ලදී. දැනට වායු ගෝලයේ පවත්නා වායුගෝලිය CO2 ප‍්‍රමාණය වායුගෝලිය එකක මිලියන 1 කට CO2 ඒකක 394 ක් පමණ වේ. 


 http://earthhabitat.wordpress.com/2010/02/25/urbanization/

          කාර්මික විප්ලවයට පෙර කාලයේ එනම්  වර්ෂ 1750 -1800 කාලයේ මේ අගය 280 ක් විය. පසුගිය ශතවර්ශය තුළ ඉතා සිග‍්‍රයෙන් වර්ධනය වී ඇත්තේ කාර්මිකරණය නාගරිකරණය ආදි ක‍්‍රියාවලි වල බලපෑම හේතුවෙනි. මිනිස් ඉතිහාසයේ වැඩිම CO2 ප‍්‍රමාණයක් නිකුත් කර ඇත්තේ 2010 වසරේ වන අතර එය මෙටි‍්‍රක් ටොන් බිලියන 36.8 ක් වේ.
            මේනිසා ඉතාම පැහැදිලිව සමාජීය හා පාරිසරික ගැටළු ඇති කරන්නේ ද නගරය බව මින් තහවුරු වේ.

Wednesday, August 24, 2011

පෘථිවිය ජීවීන්ගෙන් ගහණ ග්‍රහ ලොවක් වන අතර මිනිසුන් වන අපගේ  වාස භුමියයි. පෘථිවිය සුර්යයා හැර ගණින විට 3 වැනි තැන ස්ථාන ගත වී ඇත.හිරු ප්‍රධාන කොට ගත් සෞර ග්‍රහ මණ්ඩලයේ විශාලත්වය අනුව 5 වැනි තැන ගනි.මෙය සුර්යයා ගේ සිට කිලෝ මීටර 149,503,000, ක් ඈතින් පිහිටා ඇති අතර වසර මිලියන 4600 ක් පමණ වයස්ගත වු ග්‍රහ ලෝකයකි.මේ බව විද්වතුන් අනාවරණය කර ගෙන ඇත්තේ පෘථිවියේ පාෂාණ වල වයස ගණනය කිරිමෙන් අනතුරුවය. පෘථිවිය සුර්යා වටා ගමන් කරනුයේ "ඉලිප්සාකාර" හැඩයක් සහිත  ගමන්  මාර්ගයකය.මේ නිසා කලකදි සුර්යාට ලංව ද කලක දි සුර්යාගෙන් ඈත්ව ද පෘථිවිය ගමන් කරනු ලැබේ.පෘථිවියෙ හැඩය පිළිබඳ විවිද මත තිබේ.

මහපොළොව ගැන කියන්නට ඇති දේ




පෘථිවියේ හැඩය තීරණය කීරිමෙහි ලා බෙහෙවින් බලපාන ලද එහි ශිලා ගෝලය පිළිබඳ අදහස් මුල් කාලීන ග්‍රීක මත හා සම්බන්ධ වන බව පොදුවේ පිළිගැනුනත් ඒ මතයන් ඊට වඩා දිගු ඉතිහාසයකට රැගෙන යන්නක් බව ‘සූසැට ශිල්ප’ අතරේ ඇති “භූම්මාජාල”, “භූමි විජය” නම් විෂය නාමයන් ගෙන් අදහස් වේ. එහි දැක්වෙන ආකාරයට එම විශය මඟින් අධ්‍යයනය කොට ඇත්තේ පොළව මතුපිට සිට රියන් හැටක් ඉහළටත් පහළටත් ය. අතීත රාජධානි පිහිටුවීම සඳහාත් නව රාජධානියක් තොරා ගැනීමේදි සැලකිය යුතු භූගෝලීය කරුණු ගැනත් එවකට රජ දරුවන්ට උගන්වනු වස් මෙම විශයන් ඇතිවන්නට ඇතැයි සිතිය හැක.  රජවරුන්ට මේ දැනුම ලබා දෙන්නට ඇත්තේ ඒ පිළිබඳ උගත් විද්වතුන් විසින් වනු ඇත. යුද කටයුතු සඳහා මර්මස්ථාන හඳුනා ගන්නට ඒවා ආරක්ෂා කරනු පිණිසත් යුද සැලසුම් සකස් කිරීම පිණිසත් වැව් අමුණු නිර්මාණය කරන්නටත් රජවරැන්ට භූම්මාජාල හා භූමිවිජය විශයන් උගන්වන්නට ඇත. එකළ කුමාරයන් හා ශිල්ප හදාල අය අතර පතළ මේ විෂය තොරතුරු කෙබඳුද යන්න පිළිබඳ සරල උපකල්පනයකට වඩා යමක් ගොඩනඟා ගත නොහැක්කේ ඉන්දියානු ආගමික හා ලෝකොත්තර චින්තන සම්ප්‍රදායන් විසින් පටවන ලද දේවාරුඪයන් විසින් අතීතය දෙවි දේවතාවුන්ට හා යක්ෂ ප්‍රේතයන්ට ලියා දී ඇති බැවිණි. බමුණු මතවාද නිසා  ඒවන් විශයන් පිළිබඳ ලියවුණු තොරතුරු, ඉතිහාසය අපට නාම මාත්‍රික සඳහනක් කරනු විනා ඉතුරු කරනු ලැබු දායාද නොමැත්තේය. ගිනිබත් වු ඉතිහාසයක් ගැන ගතු කියන අප විසින් නැති කරගත් හා අපට අහිමි කරන ලද උරුමය මෙතෙකැයි කියා කියන්නට බැරි තරම් වටිනේ වුවද අපට ඉතිරිව ඇති දේ අල්පය. ඒ අල්ප බව කොතෙක්ද කියා කියන්නේ නම් අපට විශය නාම හා භූගෝලිය වශයෙන් සැලකිලිමත් වී ගොඩ නැඟු රාජධානි වැව් අමුණු  පමණක් ඉතිරි කොට දැනුම මිය ගොස් ඇත. හෙල දැනුම ගිනිබත් වුයේ ඉන්දියානුවන්ගේ ආගමනයන් වුවද ඉන්දියාවේ ඔවුන්ගේ දැනුම ඉස්ලාම්වරුන්ගෙ ගිනි හුළෙන් ආරක්ෂා කරගන්නට ඔවුන් සමත්ව තිබේ. ඊනියා ජාතිවාදයක් විසින් දිවයින කලඹන අකාලික සමයක ගල් පිළිම දෙනොදාහක් මැද හුදකලාව කඩා වැටෙද්දි බොල් පිළිම වලට සුවඳ දුම් අල්ලා සත්කාර කරන අපේ වර්ථමානය පිළිබඳ සා දුකින් පෙළෙන අතලොස්සක් අතර රැදි ජාතියේ ලේ සුවඳ පරයා නැ‍ඟෙන මිනිස් වර්ගයේ උත්තම හැඟිම විසින් ගිය හකුර ගැන නාඩා තියෙන හකුර වෙනුවෙන් කරනු ලබන නිහඩ සටන නොවන්නට අප ලේ මසින් මොළ පිරැණු මුත් බුද්ධියෙන් හෝ උගත්කමින් හීන උන්ගේ ආධීපත්‍ය හමුවේ වැළලි ගොස් බොහෝ කල් ය. මිනිස් වර්ගයේ ම පවට අප ඉපැද ඇත්තේ බුද්ධිමතුන්ගේ හීනයාන සමයක ය. 
දැනට ඇති මුලාශ්‍ර සලකද්දි ඉපැරණි භාරතීය චින්තනය වනාහි මුළුමනින් ම මැකී ඇත්තක් නොවේ. ඔවුන්ගේ පැරණි අධ්‍යයන් ලියැවි ඇත්තේ සංස්කෘත පාලි වැනි බසින් විමත් ඒවා ශ්ලෝක ලෙසින් ලියැවි තිබිමත් නිසා භාවිතය තරමක් අපහසු වේ. එමෙන් ම ඒ පිළීබඳ පරිවර්ථනයන් පවා දුර්ලභය. එහෙත් සැලකිය යුතු තරමේ ඉතා විශාල තොරතුරු ගොන්නක් අන්තර්ජාලයේ දි ඉංග්‍රීසියට පරිවර්ථනය කර තිබෙනවා දැකිය හැක. ආර්යභාටා වැනි දාර්ශනිකයන් විසින් ලියා ඇති තොරතුරු ඒ අනුව විග්‍රහ කළ බැලිය හැකි අතර ඉපරණි භාරතීය දාර්ශනිකයන් බෙහෝ විට තොරතුරු ගවේශනය කර ඇත්තේ ලෝකයේ සිරස් අතට බව එවැන්නන්ගේ අධ්‍යයන දෙස බැලු බැල්මට පෙනේ. ඒ අනුව භාරතීය චින්තනයේ පොදු බවට අනුව උඩින්ම දිව්‍ය ලෝකය පිහිටා ඇති අතර පොළව යටින් අභ්‍යයන්තරයේම අපාය පිහිටා ඇත. දිව්‍ය ලෝකයත් අපායත් අතර මැද පොළව උඩ මනුස්ස ලෝකය පිහිටා ඇත. මේ ‘ත්‍රිලෝක සංකල්පය’ භාරතීය විද්‍යා චින්තනයේ කළු කුහරයකි. එය නොවන්නට භාරතය වනාහි ග්‍රීක- රෝම ආදීන්ට කිට්ටු විය නොහැකි අමරපුරයක් වන්නට නිසැක වශයෙන් ම ඉඩ තිබුණු බව පෙනී යයි. පශ්චාත් අධිරාජ්‍යවාදයත් ගෝලියකරණය ආදි වු නම් දහසකුත් ‍පවරාගෙන ලෝකයේ කෙරෙන බුද්ධිය හා දැනුමේ ධ්‍රැවයන් ආක්‍රමණය කර අයිතිය පවරා ගැනීමේ ක්‍රියාවලියෙන් නුතන ඉන්දියාවට ගැළවී ගත නුහුණු බව මාගේ හැඟිමයි. දැනුම නම් එය රැදි මොළයේ මරණයත් සමඟ පොළවට පස් වී පාංශු ක්‍රියාවලියේ සක්‍රීයත්වයට දායක නොවි ‍කවර හෝ ජාතියක වර්ගයක උන්නතියට පිහිට වන එක සතුටකි. එහෙත් යලි අඳුරු යුගයක යටපත් නොවනු පිණිස ගොනා පොල් පැළේට හැරෙද්දි කෙල්ල ගෙට ගත යුතු බවට මා කල්පනා කරමි. මේ දේව වාදය යටින් ඇති විද්‍යාත්මක තොරතුරු ලෝකය තවමත් සලකා බලා නැති වීම කණගාටු දායකය. ආර්යභාටා වැනි අය ග්‍රහ ලෝකයක් ලෙස පෘථිවිය ගැනත් එහි වට ප්‍රමාණය ගැනත් සෞර ග්‍රහ මණ්ඩයේ හැසිරීම ගැනත් තොරතුරු දක්වා තිබේ. ඍග් වේදයේ සුර්යා හා ධුමකේතු පිළිබඳ තොරතුරු දක්වා තිබේ. අපේ යටපත් වු ඉතිහාසය මෙන් නොව ආසියාවේ ඉතිහාසය ඇති ඉන්දියානු කේන්ද්‍රය තවමත් වැනසී නැත. මේ කරුණු වසා ග්‍රීක -රොමාදීන්ගේ වන්දිභට්ටයන් ලෙස වමාරන භක්ති ගීත වැනි ගුත්තිල ගීතිකා ගැන කණගාටු දායකය. ග්‍රීක රෝම යුරෝපා ආදි චින්තනයන් ලෝකය අධ්‍යයනය කර ඇත්තේ තිරස් අතටය. මේ නිසා ඔවුන් දේශ ගවේෂණයෙන් අනාවරණය කරගත් තොරතුරු බෙහෝ වෙති.
දිවයිනක් යනු සාගරයෙන් වටවන්නක් හෙයින් ඒ දිවයිනේ ධිවරයින් අනිවාර්යෙන් විසිය යුත් ය. අපේ රටේ සාමුද්‍රික බෑඳිම ගැන ඇත්තේ ඉතාම දුර්වල සාක්ෂිය. මුතු පිණිස කිමිදුණු අය ඒ සඳහා භාවිතා කළ තාක්ෂණයන් ගැනත් අතීත ධිවරයා ගැනත් අපට තොරතුරු නැත. නුදුරේ වු ඉන්දියාව හා අපේ වු නාවික සම්බන්ධතා කෙබඳුද අපේ රජවරුන්ගේ නාවික බලය කෙසේද යන්න පිළිබඳ අපට තොරතුරු නැත. දිවයිනේ අභ්‍යයන්තරය විජය විසින් වීයෙන් අස්වද්දන්නට පෙර අප කෑවේ මොනවාදැයි සිතා බලන්නට වටිනා කරුණකි. අතීත ලක්වැසියෝ දඩයමෙන්ම රැකුණෝ ද ඒ දඩයම සාගරයට නොයෙදුනේ ද? කපු ගෙතු කුවේනි මස් බුදින මන්තරකාරියක් පමණි ද? එහෙව් මන්තරකාරියක් රවටා ගන්නට විජය කොතරම් ශූර කපටියෙක් විය යුතු ද? අඩුම තරමේ හත් සීයයක් රැවටුණු කතට ඔහු මුලා නොවුයේ ඇයි? ඔහු ශුර බුද්ධියක් අත්තෙක්ද?  ඒ තරම් ශුරයෙක්  අර සා සල්ලාල වී රටින් පිටුවහල් වන තුරු උඩුදුවන ප්‍රශ්නයක හිමිකාරයෙක් වේ ද? සේරටම වඩා මිදි තිත්තයි කියා කියු නරියා (නරියා කපටි සතෙකි) කියු කතාව ඇත්තද? අප සිතිය යුතුය... විටෙක රාජ පක්ෂපාති ලියවිල්ලක් වු හා අනිවාර්යෙන් ම එහි ආරම්භය දැක්වීමේදි පසු කතාවක් වු මහාවංශය කියන ‍සියල්ල ඇත්තද?
මහාවංශයෙන් ඉතිහාසය නො-කිරන්නේ නම් අප කුවේනියත් විජයත් හැර දමාපියා ලංකාවේ පාෂාණි භූත අතීතය සොයන පුරාවිද්‍යාඥයන් දෙසට හැරුණු විට දක්නට ලැබෙන කුරුවිට එක්නැලිගොඩ බටදොඹලෙන ආදි තැන්වල විසු හොමෝ සේපියන්ස් සේපියන්ස් බලන්ගොඩ නම් මානව විශේෂය විසුවේ රට අභ්‍යන්තරයේ පමණිද? හොමෝ සේපියන්ස් ලා ලොව පුරා පැතිරුණු සංක්‍රමණික සංචාරකයෙකි. හේ ලංකාව වැනි දිවයිනකට පැමිණෙන්නේ ම හනුමාගේ පාලම දිගේ ඇවිද ගෙන නොවේ. ඔහු ආයේ ජල තලය තරණය කරගෙන නම් අපේ නාවික ඉතිහාසය හොමෝ සේපියන්ස්ලා මෙරටට ආ දිනය දක්වා ම පැරණි විය යුතු නැතිද? එවන් නාවික ඉතිහාසයක් තිබුනා නම් අපේ රටේ සාගර ගවේෂණ පිළිබඳ කතාවලියක් ලියවිය යුතුය. අඩුම තරමේ අරාබිකරයේ උන් ‘සිම්බෑඩ්’ මෙන් මුහුදු ගිය වීරයන්ගේ වැනි කතා අපට සාහිත්‍ය විසින් දායාද කළ යුතු ය. කුමක් හෝ හේතුවකට හෝ අහේතුවකට අපේ ඉතිහාසය මහා දරුණු කඩ තුරාවකින් වැසි ඇතැයි ඔබට මේ අනුව නොසි‍තෙන්නේ ද? ලංකාවේ භූ විද්‍යාත්මක ඉතිහාසය ඉගෙන ගන්නා සමයේදිත් මට ඒ බව සිතිණි.
ලංකාවේ ඉතිහාසයේ ඇති අඳුරු කාලපරිච්ඡේදය පිළිබඳ විපරම් කරන්නට බැරි කම කණගාටුවක් ලෙස දැනෙන්නේ භූ විද්‍යාඥයන්ට පමණක් නොවේ. ඉතිහාසය මායාවෙන් ද පුරාවිද්‍යාව ගල් ගෙඩිවලින්ද වැසි ඇත. ඒ නිසා අපට පරිහරණය කරන්නට වෙන්නේ මෙතෙක් ඉතුරුව ඇති ග්‍රීක රෝම ආදි වු බටහිර ඉතිහාසයේ කරුණුය. ඒ අනුව දැනට දන්නා ඉතිහාසය කියන පරිදි  ශිලා ගෝලය ගැන ඉපැරණි තොරතුරු හමුවන්නේ ග්‍රීකයන් අතරිනි.
පද්ධතියකට එක ඉතිහාසයක් නොමැති අතර  එයට ඉතිහාසයන් රාශියක් තිබිය හැකි වේ යැයි රිචඩ් ෆෙයින්මන්[1]  කියා තිබේ. මේ පෘථිවියේ හැඩය ගැන අදහසත් එසේ දහසක් ද්වාරයන් ඇති තැනෙකි. එය ඉතිහාස කතා රාශියකින් සමන්විත ය. පෘථිවිය කැස්බෑවෙක්ගේ පිට උඩ තියෙන දෙයක්, කාන්තාව‍කගේ (පොළෝ මහි කතගේ/ මිහිකතගේ) ඇඟිල්ලක් මත රැඳි දෙයක් එහෙමත් නැත්නම් යෝධයෙක්ගේ කර මත පිහිටි දෙයක් ලෙසින් නොයෙක් මනෝරම්‍ය කතාන්දර පුරාවෘත්ත වල සඳහන්ව ඇත. ගලින් ගල පෙරළා පදෙන් පදය ගලපා ගලපා ඉතිහාසය ගොඩනඟන්න දඟලන පුරාවිද්‍යාඥයින් විටෙක ඉතිහාසය සනාථ කරයි. තවත් වෙලාවකට ඉතිහාසය දැරෑ දේ අනාථ කරමින් නව මතවාද ගොඩ නඟයි. ‍ඓතිහාසික භුගෝල විද්‍යාව එක් අතකට ඇල්මැරුණු පැත්තකි. එසෙත් නැත්නම් භුගෝල විද්‍යාව තුළ ම කුඩම්මාගේ සැලකිලි ලබන තවත් අංශයකි. ඉතිහාසඥයා හෝ පුරාවිද්‍යාඥයා තරම් භූගෝලවිද්‍යාඥයා ඓතිහාසික භූගෝලය ගැන උනන්දු නැතැයි සිතේ. ‍ලෝකයේ වෙනත් රටක භූගෝල විද්‍යාඥයෝ ඒ අංශය ගැන උනන්දු වුවත් ලංකාවේ භූගෝල විද්‍යාඥයෝ නම් ඓතිහාසික භූගෝලවිද්‍යාව පිළිබඳ ආගන්තුක බැල්මක් හෙළයි.
කෙසේ හෝ  සියල්ල සමඟ ශිලාගෝලයේ අතීත කතා පිළිබඳ අදහස් ඇති වෙමින් නැති වෙමින් තිබේ. එයින් සමහරක් සත්‍ය යැයි පිළිගනු ලබන අතර තවත් ඒවා බැහැර කරනු ලබන අතර එසේ බැහැර කළ මත තවත් අය විසින් ආයෙත් සනාථ කරනු  ලැබේ. එතෙක් තිබු සත්‍යට වඩා අළුත් සත්‍යයක් දින දින බිහි වේ. දිනෙන් දින  සත්‍යයේ පදනම හෙල්ලෙන්නට හැකිය. සත්‍ය පිහිටා ඇත්තේ ඕනෑම විටෙක ඕනෑම තැනකදි අභියෝයට ලක්වන  වේදිකාවක් මත බැවින් සත්‍ය අභියොගාත්මක වේ.  එහෙත් යමක් සත්‍ය යැයි ලේබල් කල පමණනින් සත්‍ය වන්නෙත් නැති අතර සත්‍ය ගොඩනඟන්නේ ගොඩනැ‍ඟෙන්නේ කලයත් සමඟ  විද්‍යාව මතිනි. විද්‍යාව ගොඩනැගෙන්නේ මිනිසුන් අතිනි. එදිනෙදා මිනිස්සුන්ගේ චින්තාවලිය වෙනස් වෙද්දි සත්‍යයේ පදනමට දිනෙන් දින පහර එල්ල වෙන්නේ ඒ නිසා වෙනි. කාලයත් අවකාශයත් සමග සත්‍ය නිති පතා වෙනස් වේ. අද සත්‍ය වු දේ හෙට වෙනස් විමේ අවදානමක් සත්‍ය හැම විටම දරයි. එවන් ගමනක් මැදින් වසර දහස් ගනනක් තිස්සේ අප විශ්වාස කරන හා විශ්වාස නොකරන සමහර මත මේ දක්වා පැමිණි මඟ පුදුම එළවන සුළු යැයි මට හැ‍ඟේ.
හැමවිටම පොදු මතය සත්‍ය නොවේ... සත්‍ය වුවත් නොවුවත් යම් දැනුමක් ගොඩ නඟන්නට පදනම් වන දේ සදා පවතී. එහෙත් මානව ඉතිහාසයේ විවිධ යුගයන් පසු කරද්දි සිදුවන අකරතැබ්බ වලින් දැනුම යටපත් වීම වැලක්විය නොහැක. විශය තේමාවන්ට ලඝු නොවි කාලයක් යටපත් වන සමහර මත කාලයත් සමග අපට අමතකවම යයි. ඒ සියල්ල අරඹයා මා දන්නා සියළු දේත් කියවු සියළුදේත් අතීතයේ පොත පත ලියා වෙහෙසු දහසක් අතැගිලි වලටත් ඒවා කියවා නැවත කියු අයටත් උපහාර කරමින් තවත් නොදන්නා අයට කියවා සොයා බලා දැන ගනු පිණිස සරල සිංහල බසින් ලියා තබමි.


[1]  රිචඩ් ෆෙයිනමන් ගේ එම අදහස  මා උපුටා ගත්තේ ස්ටෙෆන් හැවාකින් ගේ ‘ද ග්‍රෑන්ඩ් ඩිසයින්’ නම් කෘතියේ අන්තර්ජාලයේ නොමිලේ ලබා දෙන  ඊ පොතේ 11 වන  පිටෙනි.

ඇරඹුම..

මහ පොළව
භූගෝල විද්‍යාත්මක තොරතුරු ගවේෂණයකි.



මේ මෙහි පලමු බ්ලොග් සටහනයි.

මේ බ්ලොග් ලිපි ගැන ඔබට හිතෙන දේ?

මහපොළොව ගැන දන්න අය ...