Mahaplawa Blog - A Geographical blog space


මහපොළොව මත සිටින අය

Thursday, October 3, 2013

ඇල්ෆඩ් වෙබර්ගේ කර්මාන්ත ස්ථානගත වීමේ න්‍යාය

 
ඇල්ෆර්ඩ් වෙබර් විසින් 1909 දී මෙය ඉදිරිපත් කරන ලදී. ඔහු ජර්මන් ජාතික‍යෙක් වන අතර න්‍යාය ඉදිරිපත් කරන ලද්දේ ජර්මන් බසිනි.
 
index

මෙයා තමයි ඇල්ෆර්ඩ් වෙබර්. අන්තර්ජාලේ දක්වලා තියෙන හැටියට නම් මෙයාගේ සහෝදරයෙක් තමයි මැක්ස් වෙබර් කියන්නේ.

            1929 දී කාර් ෆෙඩ්රික් විසින් එය ඉංග්‍රීසියට නඟන ලදී. එතෙක් ජර්මනියේ පමණක් පතලව තිබු ‍වෙබර්ගේ සංකල්පය ඉන්පසුව යුරෝපය පුරා ඉමහත් ප්‍රසිද්ධියට පත් විය. වෙබර් සිය න්‍යායෙන් ඉදිරිපත් කළේ කර්මාන්ත ස්ථාන ගත වීම සඳහා යොග්‍ය ස්ථන පිළිබඳවයි. අවකාශිය සාධක මත පදනම්ව කර්මාන්ත පිහිටුවන ප්‍රශස්ත ස්ථානය සොයා ගැනීම තුළින් නිශ්පාදන පිරිවැය අවම කර ලාභය උපරීම කර ගැනීම පිළිබඳව ඔහු වැඩි දුරටත් සිය සංකල්පයෙන් සාකච්ඡා කිරීමට උත්සාහා ගෙන තිබේ.
ඇල්ෆඩ් වෙබර් කර්මාන්ත පිළිබඳව විශේෂයෙන්ම එංගලන්තයේ කර්මාන්ත පිළිබඳව හා ඒවාය් ස්ථානගත වීම පිළිබඳ අධ්‍යයනය කළ අයෙක් විය. ඒ අනුව ඇල්ෆඩ් වෙබර් කර්මාන්ත වර්ගීකරණයක්ද ඉදිරිපත් කරන ලදී. වෙබර්ගේ කර්මාන්ත ස්ථානගතවීමේ න්‍යායට එම කර්මාන්ත වර්ගීකරණය බලපා ඇතැයි පැහැදිලිවම පෙනේ.
          ඇල්ෆඩ් වෙබර් අමුද්‍රව්‍ය මුල් කරගෙන කර්මාන්ත බෙදා දැක්වීමට උත්සාහගෙන ඇති බව ඔහුගේ කර්මාන්ත වර්ගීකරණය දෙස බෑලු විට පෙනේ. වෙබර් අමුද්‍රව්‍ය පදනම් කරගෙන කර්මාන්ත වර්ග 3ක් හඳුනාගෙන ඇත. ඒ අතර 
 
  • සර්වත්‍රවර්ති /සර්වත්‍රික අමුද්‍රව්‍ය පදනම් කරගත් කර්මාන්ත

එනම් පහසුවෙන් හමුවන අමුද්‍රව්‍ය පදනම් කරගත් කර්මාන්ත. උදාහරණයක් වශයෙන් ලංකාවේදි පහසුවෙන් සපයා ගත හැකි අමුද්‍රව්‍යයකි ජලය

 
  • නිශ්චිත ස්ථානයකට සීමා වු අමුද්‍රව්‍ය පදනම් කරගත් කර්මාන්ත.

සාමාන්‍යයෙන් බහුලව දක්නට ලැබෙන්නේ මේ වර්ගයේ අමුද්‍රව්‍යය යි. හුණුගල් යපස් වැනි ඒවා උදාහරණ වේ. මේවා වර්ග 02 කි. 
  • )   ශුද්ධ අමුද්‍රව්‍ය

ශුද්ධ අමුද්‍රව්‍ය වශයෙන් ගණන් ගැනෙන්නේ නිශ්පාදනය කරන නිමි ද්‍රව්‍යයට යොදා ගන්නා අමුද්‍රව්‍යයෙන් වැඩි කොටසක් හෝ සියල්ලම යොදවන ආකාරයේ අමුද්‍රව්‍යය. සම් ඇසුරෙන් සම් භාණ්ඩ නිශ්පාදනය කරන කර්මාන්තයක් ඊට උදාහණයක් ලෙසින් පෙන්වා දිය හැක. 
  • )   අශුද්ධ අමුද්‍රව්‍ය

අශුද්ධ අමුද්‍රව්‍ය වශයෙන් ගැනෙනුයේ නිමි ද්‍රව්‍ය සඳහා එය නිශ්පාදනය කිරීමට ගන්නා අමුද්‍රව්‍යයෙන් සුළු කොටසක් පමණක් දායක වන අමුද්‍රව්‍යයන්ට ය. යපස් වලින් යකඩ නිශ්පාදනය කිරීම උදාහරණයට පෙන්වා දිය හැක.යපස් සෑහෙන ප්‍රමාණයක් අහක යන නිසා.
 
  • සැහැල්ලු සහ වැඩි වටිනාකමකින් යුක්ත අමුද්‍රව්‍ය පදනම් කරගත් කර්මාන්ත.

මෙයට වටිනාකමින් ඉහළ අමුද්‍රව්‍ය ලෙසින් සැලකෙන සිලිකා, ඉල්මනයිට් වැනි ඒවා අයත් ය. නිශ්පාදන ක්‍රියාවලියට තාක්ෂණය දායක වීම විශේෂ ලක්ෂණයක. විදුලිය නිශ්පාදනය, විද්‍යුත් කර්මාන්තය මෙන්ම රෑපවාහිනි පරිගණක ආදියත් ඊට අදාල මෙවලම් නිශ්පාදනයත් මීට අයත්.

 
        වෙබර් පසුව අමුද්‍රව්‍ය හා නිමි ද්‍රව්‍ය යන දෙකම පදනම් කරගෙන කර්මාන්ත නැවත කොටස් දෙකකට බෙදන ලදී.
  • බැර කර්මාන්ත

  •  ලුහු කර්මාන්ත

              ඇල්ෆඩ් වෙබර් සම්පත් විහිදිමේ ස්වභාවය හා ඒම සම්පත් අමුද්‍රව්‍ය ලෙස කර්මාන්ත වලට දායක වන ආකාරය පිළිබදව සලකා බලා ලාභය උපරීම කර ගෑනීමට නම් ප්‍රවාහනය කෙරේ ඇති පිරිවැය අවම කර ගත යුතු බව වටහා ගෙන අමුද්‍රව්‍ය මෙන්ම නිමි ද්‍රව්‍යයත් ප්‍රවාහනය කිරීමේදි විශේෂ වන සාධක දෙකක් වන 
                          (*)  බර                         
                          (*)  දුර


                                              යන සාධක දෙක ප්‍රශස්ත ලෙසින් කළමණාකරණය කිරීම මඟින් ලාබ ලැබිය හැකි බව පෙන්වා දෙන ලදී. මේ අනුව අමුද්‍රව්‍ය බරින් අඩුත් නිමි ද්‍රව්‍ය ඊට සාපෙක්ෂව බරින් වැඩි කර්මාන්ත ස්ථාන ගත වීමට වඩාත් සුදුසු වන්නේ වෙළදපොළට ඉතාම ආසන්නයේ බව වෙබර් පෙන්වා දී ඇත. එවැනි කර්මාන්ත යම් ආකරයට වෙළපොලෙන් ඈත්ව පිහිටන්නේ නම් ප්‍රවාහනයට අනවශ්‍ය වියදමක් දරන්න සිදුවන බව වෙබර් සිය අදහසින් ප්‍රකාශ කරනු ලැබේ.මෙහි සිරස් අක්ෂේ ප්‍රවාහන වියදම හා තිරස් අක්ෂරතු තිත මඟින් කර්මාන්ත පිහිටන ස්ථාන දක්වා ඇත.
 
clip_image002

         
            එසේම අමුද්‍රව්‍ය බරින් වැඩි මෙන්ම නිමි ද්‍රව්‍ය ඊට සාපෙක්ෂව බරින් අඩු විට එවැනි කර්මාන්තයක් ස්ථාන ගත විය යුත්තේ අමුද්‍රව්‍ය ලබා ගන්නා ස්ථානයෙනි. එවිට වැඩි බරැති අමුද්‍රව්‍ය ගෙන යා යුතු වන්නේ ටික දුරක් පමණි. ඒ නිසා ප්‍රවාහන වියදම ලාභයක් වශයෙන් ඉතිරි වේ. 



clip_image002[5]
                    කර්මාන්තයකට එක් අමුද්‍රව්‍යයක් පමණක් නොව අමුද්‍රව්‍ය රාශියක් අවශ්‍ය වේ. අමුද්‍රව්‍ය දෙකක් අවශ්‍ය වේ යැයි සලකන කර්මාන්ත කිහිපයක් ඒවායේ අමුද්‍රව්‍ය හා නිමි ද්‍රව්‍යයන්ගේ බරද ගෙන යා යුතු දුරද සලකා පහත පරිදි ස්ථාන ගත කොට ඇත.



clip_image001[5]

  • කොළ පැහැයෙන් දක්වා ඇති කර්මාන්තය ගත් විට එහි අමුද්‍රව්‍ය අංක 1 හි බර අමුද්‍රව්‍ය අංක 2ට වඩා වැඩිය. ඒ මෙන්ම නිමි ද්‍රව්‍යයේ බර අමුද්‍රව්‍යයන්ට වඩා අඩුය. මේ හේතු නිසා එය ස්ථාන ගත වී ඇත්තේ බරින් වැඩි අමුද්‍රව්‍ය අඩු දුරක් ගෙන යා යුතු ස්ථානයකය.
 
  • දම් පැහැයෙන් දක්වා ඇති කර්මාන්තය සැලකු විට එහි අමු ද්‍රව්‍ය අංක 2 අමු ද්‍රව්‍ය 1ට සාපෙක්ෂව බරින් වැඩි වී ඇති අතර නිමි ද්‍රව්‍ය අමු ද්‍රව්‍යයට සාපෙක්ෂව බරින් අඩු වි ඇත. ඒ නිසා එයත් වැඩි බරට සංවේදි වෙමින් ස්ථාන ගත වී ඇත.
 
  • ·කහ පැහැති කර්මාන්තයේදි අමුද්‍රව්‍ය ඉතා සැහැල්ලු අතර ඒවා වැඩි දුරක් ගෙන ඇවිත් බරින් වැඩි නිමි ද්‍රව්‍යයන් වෙළදොපොළ අආසන්නයේ නිර්මාණය කරමින් වැඩි ලාබ ලබා ගනී.
 
          පහත දැක්වෙන ගණිත ගැටළුව විසඳිමට උත්සාහා කරන්න. රතු කඩ ඉරි සහ කළු කඩ ඉරි වලින් දක්වා ඇත්තේ මාර්ග දෙකකි. රතු පැහැති මාර්ග අංක 1 ලෙසත් කළු පැහැති කඩ ඉරි මාර්ගය මාර්ග අංක 2 ලෙසත් සලකන්න. 


clip_image001[7]



 ද්‍රව්‍ය (යම් නිශ්චිත ප්‍රමාණයක් නිශ්පාදනය සඳහා අවශ්‍ය) ප්‍රවාහන ගාස්තු
පලතුරු 20/=
ජලය 10/=
බීම 50/=


බීම (Y ප්‍රමාණයක් නිශ්පාදනය සඳහා)යන වියදම සලකා කර්මාන්තය ස්ථාන ගත විය යුතු හොදම තැන නම් කරන්න.
විසඳුම : පළමු මාර්ගය (රතු)
(20*10) + (10*10)
200 +100
300/= 
 
විසඳුම: දෙවන මාර්ගය (කළු)
(20*5) + (10*5) + (50*5)
100 + 50 + 250
                                                    400/ =


පහතින් දැක්වෙන්නෙත් එවැනිම ගණිත ගැටළුවකි. එය විසඳිමට උත්සාහා කර නිශ්පාදනය සඳහා වඩාත් ලාබ දායි වන්නේ නගරයට ලඟ පිහිටුමද දුර පිහිටුමද කියා ප්‍රකාශ කළ හැක.

ද්‍රව්‍ය ප්‍රවාහන ගාස්තු
යපස් 50/=
ගල් අඟුරු 45/=
යකඩ 30/=




clip_image001[9]


විසඳුම : පළමු මාර්ගය (රතු)
(50*10) + (45*10)
500 +450
                                                    950/=
විසඳුම: දෙවන මාර්ග (කළු)
(50*5) + (45*5) + (30*5)
250 + 225+ 150
                                                  625/ = 
 
                වෙබර් සිය මතය ඉදිරිපත් කිරීමේදි මුලික උපන්‍යාසයන් කිහිපයක් මත පදනම්ව ඇත. මේ නිසා න්‍යාය යථාර්ථයෙන් බැහැරවන ඇතමෙක් ප්‍රකාශ කරන අතර සමහරෙක් ප්‍රකාශ කරන්නේ ඒ එක එක උපකල්පනා බිදෙන විට න්‍යායේ ඇති උපයෝගීතාවය නවමු ආකරයකින් භාවිතා කළ හැකි වීමත් වර නැ‍ඟෙන ප්‍රශ්න තුළින් නව දේ විමර්ශනය කළ හැකි බවත් ය. විවිධත්වයෙන් පිරි ලොවකට ගැලපෙන පොදු සාමාන්‍යකරණය වු රාමු නොමැති බවත් එසේ පක්ෂපාති අය පෙන්වා දෙති. එම උපකල්පන මෙසේ ය.
  • සම්පත් ව්‍යාප්තව පවතින්නේ අසම ආකාරයට වේ. ඒවා කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය විශේෂ ස්ථාන වල හෝ ඊටම ආවේනික ස්ථාන වල ස්ථාන ගත වී ඇත.

                   වෙබර් මෙසේ උපකල්පනයක් ඉදිරිපත් කරන්නේ සමානව සම්පත් ව්‍යාප්ත වී තිබුණොත් කර්මාන්තයක් ඉදිකිරීම හා සම්පත් ස්ථාන ගත වීම පිළිබඳ කිසිදා ගැටළුවක් ඇති නොවන නිසායි. වෙබර් සිය කර්මාන්ත වර්ගිකර‍ණයේදි විශේෂිත ස්ථාන වලට සීමා වු අමුද්‍රව්‍ය යනුවෙන් සඳහන් කරන අමුද්‍රව්‍ය ඔහුගේ න්‍යායේදි මේ අනුව විශේෂයෙන් අවධානය යොමු කර තිබෙනවා. 
 
  • භූමිය තැනිතලාය. නැතහොත් සමතලාය. එය ස්ථාවරය.

                 සැබෑ භුමිය වෙබර්ගේ උපකල්පන සේ තැනිතලා සහගත වන්නේ නැත. නමුත් එසේ වෙබර් සිය උපකල්පනයන් මඟින් භුමිය යන සාධ‍කයේ විෂමතාවය බාධකයක් ලෙස නොගනී. එවිට සම්පුර්ණ අවධානය බර සහ දුර වෙත යොමු කළ හැකි ය. එසේ නැති නම් වෙබර්ට සිය න්‍යාය රළු භූමි සදහා වෙබර් න්‍යාය , පහසු භූමි සඳහා වෙබර් න්‍යාය ආදි වශයෙන් න්‍යායයන් රාශියක් සකස් කිරීමට සිදුවනු ඇත. ප්‍රායෝගිකව එය අපහසු නිසා ඔහු සිය අදහස ඉදිරිපත් කිරීමට භුමිය යන සාධකය පාලනය කිරිමට උපකල්පනයක් යොදා ගනී. එහෙත් සැබෑ ලොවේ මේ න්‍යාය පරික්ෂා කරන්නෙකුට භුමිය තැනි තලා නොවන විට වෙබර්ගේ න්‍යායේ දක්නට ලැබෙන වෙනස් කම් පැහැදිලි කළ හැක. විවිධ භු විෂමතා යටතේ වෙබර්ගේ න්‍යාය වෙනස් වන ආකාරය පරික්ෂා කළ හැක.
  • ශ්‍රමය ස්ථාවරව ගලයි. ඒවා ස්ථාවර ස්ථාන වල යෙදවේ. ශ්‍රමය සඳහා ගෙවන වටිනාකම සමානයි. ශ්‍රමය චලනය කළ නොහැක.

                 ශ්‍රමය යන සාධකය ඕනෑම ක්‍රමයක කර්මාන්තයක් සඳහා අත්‍යාවශ්‍යම සාධක වලින් එකකි. නමුත් වෙබර් පෙන්වා දෙන ආකාරයට
  •  සමජාතිය මානව හා සමජාතිය පාරිසරික තත්ත්වයක් පවතී. සමජාතිය දේශපාලනයක් පවතී.

  • සෑම ව්‍යවසායෙකුටම නිශ්පාදනය සඳහා යන පිරිවැය අවම කර ලාභය උපරීම කරගැනීමට අවශ්‍ය වේ.

  •  පුර්ණ තරඟාකාරි වෙළපොළක් පවතී.

  • ඉඩම්වලට යන වියදම් හා කර්මාන්ත ශාලාවේ ව්‍යුහය උපකරණ හා ප්‍රාග්ධනය ප්‍රදේශය අනුව වෙනස් නොවේ.

  • මෙම පැතැලි ව්‍යුහය තුළ පවතින්නේ සමජාතිය ප්‍රවාහන ක්‍රමයකි.

                          වෙබර් මේ ටික කියලා ඉවර වෙලා තවත් සංකල්ප දෙකක් ගැන කියා තිබෙනවා. ඒ තමා 
                           (*) සමප්‍රවාහන රේඛා ( Isotime)
                      (*) සම වියදම් රේඛා ( Isodapanes)
 
20130912_153928
          
                         වෙබර් සම වියදම් රේඛා ‍යොදා ගත්තේ අමුද්‍රව්‍යයක් නිශ්පාදනාගාරය වෙත ගෙන යෑමේ ක්‍රියාවලියේ දි කෙරෙන ප්‍රවාහන වියදම් පැහැදිලි කිරීම සඳහායි. නිශ්පාදනය සඳහා අමුද්‍රව්‍ය ගෙන යාමේදි ඒ සඳහා වියදමක් දරන්න සිදු වන බැවින් කර්මාන්ත ස්ථාන ගත විය යුත්තේ ඒවා ස්ථාන ගත විය හැකි ලාභදායීම ස්ථානයේ ය. එහෙත් යථා ලෝකයේදි හැම විටම එසේ භූමිය පරිහරණය කළ නොහැක. තෝරා ගන්නා ලද තැනක මහපාරක් පොදු ස්ථානයක් හෝ වැවක් ආදි වෙනත් භුමි ලක්ෂණයක් හෝ භුමි පරිභොග්යක් පැවතිය හැකියි. ඒ නිසා වෙබර් මේ මඟින් සමාන වියදමක් දා එම නිශ්පාදනය කළ හැකි වෙනත් ස්ථාන දක්වා තිබේ. ඉහත කටු සටහනේ එකම ඉලක්කම දක්වා ඇති ස්ථාන වල එවැනි සම විදයමක් දරා නිශ්පාදනය කළ හැකි තැන් රාශියක්ම පෙන්වා දී ඇත.
 
 
                    සම ප්‍රවාහන රේඛා යනු අමුද්‍රව්‍යයක් නිශ්පාදනාගාරයේ සිට වෙළදපොළ දක්වා ප්‍රවාහනය කිරීමේ ක්‍රියාවලියේදි ‍සිදුවන ප්‍රවාහන වියදම් පිළිබඳව පැහැදිලි කිරීමටයි. ඒවා වෙළඳ පොළේ සිට නිශ්පාදන ස්ථාන කරා ව්‍යාප්ත වන ඒවා වේ.  එමඟින් ප්‍රවාහනය සඳහා යන වියදම පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම අරමුණු විය. එය ඉතා සංකිර්ණය. අවබෝධය අපහසුය. එහෙත් කල්පනාවෙන් බැලු විට වටහා ගැනීම අපහසු නෙවේ.
එයින් කියවෙන්නේ කළු පැහැති වක්‍ර වලින් නිමි ද්‍රව්‍යයක් වෙළඳ පොළ කරා ගෙන යාමට යන කල්පිත වියදමකි. එය නිමි ද්‍රව්‍ය බරින් වැඩි අවස්ථාවක් සඳහා නිර්මාණය කොට ඇත. ඉතාම සරලව දක්වන්නේ නම් ඒ ඒ කළු වක්‍ර වල වියදම, නිශ්පාදන වියදම හා එක් කිරීමෙන් නිශ්පාදනයේ සම්පුර්ණ පිරිවැය සොයා ගැනීමට හැකියි.
 
20130912_153945 

           වෙබර් තව තව දේ කියා තිබෙනවා. ශ්‍රමය ගැන එහෙම. එවායේ ස්ථාන ගතවීම. අමුද්‍රව්‍ය වැඩි වෙන කොට මේවා වෙනස් හැටි. ඒවා මේ සොයන අයට ඉඩ දෙමු පොත පතින් හොයා ගන්න අවස්ථාවක් දෙන්න. මේ අපේ පුංචන්ට පැංචියන්ට ලියන ලිපි නේ. 

සෑහෙන කාලෙකින් ලිව්වේ. ආයේ දිගටම ලියන්නයි බලාපොරොත්තුව. යලිත් නොකඩවා ලිපි ලියනවා. ඉතිං මේ ලිපිය සකස් කරන්නේ සංවර්ධන අධ්‍යයනය විශයට හා ආර්ථීක භුගෝලය හෝ ආර්ථික භුමි පරිභොගය පිළිබඳ න්‍යායන්/ ආකෘතින්/ හෝ සංකල්ප සොයනා අය වෙනුවෙන්ය. මේ තොරතුරු සිංහලෙන් නම් තියෙන පොත පත පවා අල්පයි. ඒ නිසා යි ලිව්වේ. සුබ දවසක් ඔබට!

මේ බ්ලොග් ලිපි ගැන ඔබට හිතෙන දේ?

මහපොළොව ගැන දන්න අය ...